මලක් වගේ සුන්දර වෙන්න මල්වලින් සත්කාර කරන්න

0
183

කාන්තාවක් වශයෙන් තම රූපය සහ බාහිර පෙනුම පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය හැකිනම් එය ඔබගේ පෞරුෂත්වය වර්ධනය කර ගැනීමටද වැදගත් වේවි. එසේ නම් මෙවර Her අතිරේකය තුළින් අප ඔබ වෙතට ගෙන එන්නේද ඔබගේ රූපය තව තවත් ඔපමට්ටම් කොට වැඩි දියුණුකොට පෙන්විය හැකි රූපලාවණ්‍ය සත්කාරයන් කිහිපයක් පිළිබඳවයි. මෙවර රූපලාවණ්‍ය සත්කාරයන් සිදු කර ගැනීමට අප භාවිත කරනු ලබන්නේ ස්වාභාවික මල් වර්ගයි. ඒ අයුරින් පහසුවෙන් සොයාගත හැකි නෙළුම් මල් භාවිතයෙන් කරගත හැකි සත්කාරයන් මොනවා දැයි දැන් අපි පහතින් කියවා බලමු.

1. Full Body Skin Lightening Pack

අවශ්‍ය ද්‍රව්‍යය

  • – තෙත ගතිය ඉවත් කරගත්

  නෙළුම් මලක් හෝ

  කිහිපයක්

  • – මුල් තනා මිට්ටි පවුඩර්

  ස්වල්පයක්

  • – නැවුම් කිරි ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය

පළමුවෙන්ම නෙළුම් මලේ පෙති ටික ගලවා ගන්න. එයට නැවුම් කිරි ස්වල්පයක් එකතු කොට හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. ඉන් පසුව පිරිසුදු භාජනයක් ගෙන එයට බ්ලෙන්ඩර් කරගත් නෙළුම් මල් ටිකට මුල්තානා මිට්ටි පවුඩර් ටික එකතු කරන්න. තමන්ගේ සිරුරට අවශ්‍ය ප්‍රමාණයට අනුව මෙම නෙළුම් මල්වල පෙති ප්‍රමාණය සහ නැවුම් කිරි මෙන්ම මුල්තානා මිට්ටි පවුඩර් එකතු කරගත යුතුයි. ඉන්පසුව සියල්ල හොඳින් මිශ්‍ර කොට පේස්ට් එකක් ආකාරයට ආලේප කළ හැකි පදමට සකසා ගන්න.

භාවිත කරන ආකාරය

සුදුසු ෆේස් වොෂ් එකක් සහ ක්ලෙන්සර් එකක් භාවිත කොට සම හොඳින් පිරිසුදු කර ගන්න. ඉන් අනතුරුව ඔබ කැමැති නම් සම ස්ක්‍රබ් කිරීමට හැකියි. අවසානයට මුළු සිරුරටම Pack එකක් ආකාරයට සුදුසු බුරුසුවක් මඟින් ආලේප කරන්න. විනාඩි 25 – 30ත් පමණ තබා සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරය සතියට දින 3ක් වත් අවම වශයෙන් භාවිත කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැකිය.

2. Dry Skin Treatment

අවශ්‍ය දේවල්

  • – නෙළුම් මලේ මැද තිබෙන

  රේණු සහිත කහ පැහැති

  කොටස පමණක් ගන්න.

  • – රත් හඳුන් කුඩු

  තේ හැඳි 2ක්

  • – නැවුම් කිරි තේ හැඳි 3ක්
  • – මී පැණි තේ හැඳි 2ක්

සාදා ගන්නා ආකාරය

නෙළුම් මලේ රේණු සහිත කොටස වෙන් කොට එය හොඳින් හිරු එළියේ තබා වියළා ගන්න. ඉන් පසුව බ්ලෙන්ඩර් කොට පවුඩර් කර ගන්න. එම පවුඩර් එකට රත් හඳුන් තේ හැඳි 2ක් එකතු කරන්න. දැන් නැවුම් කිරි සහ මී පැණි එකතු කොට පේස්ට් එකක් ආකාරයට පදමට සාදා ගන්න.

භාවිත කරන ආකාරය

සිරුරේ සම අධිකව වියලී, ඉරිතළා තිබෙන ස්ථානවල මෙම පැක් එක අනිවාර්යයෙන්ම ආලේප කළ යුතුයි. විශේෂයෙන්ම දෙපාවල විලුඹ ප්‍රදේශයේ, දෑත්වල, පිට ප්‍රදේශයේ මෙය ආලේප කිරීම උචිතයි. ආලේප කොට විනාඩි 30ක් පමණ තබා සාමාන්‍ය ජලයෙන් සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරය සතියට තුන් වතාවක් භාවිත කළ යුතුයි.

3. හිසකෙස් වැවීම ඉක්මන්

   කරන/හිසකෙස් අකලට

   හැළීම පාලනය කරන

   සත්කාරයක්

අවශ්‍ය ද්‍රව්‍ය -නෙළුම් මල් පෙති සහ

  නෙළුම් මල් රේණු

  ස්වල්පයක්

  • – ජලය ස්වල්පයක්
  • – පොල් තෙල් තේ හැඳි 1ක්
  • – විටමින් E කරල් 2ක්

සාදා ගන්නා ආකාරය

පළමුව නෙළුම් පෙති ටික ගලවා ගන්න. දැන් භාජනයක් ළිප තබා එයට නෙළුම් පෙති ටික සහ රේණු ටික දමා එයට ජලය අ¾ඬු කෝප්පයක ප්‍රමාණයක්ද එකතු කරන්න. විනාඩි 10ක් පමණ මඳ ගින්නේ රත් කරන්න. ළිප තිබියදීම පොල් තෙල් තේ හැන්දක් සහ විටමන් E කරල් 2ක්ද කඩා එයටම එකතු කරන්න. ඉන්පසුව සියල්ල හොඳින් හැඳි ගාන්න. දැන් මෙය ළිපෙන් ඉවතට ගෙන පිරිසුදු භාජනයකට පෙරා තෙල් ටික පමණක් ඉවත් කර ගන්න.

ස්නානය කිරීමට පැයකට පෙර බුරුසුවක් ආකරයෙන් හිස්කබලට සහ හිසකෙස්වල මුල සිට අගටම ආලේප කරන්න. ඉන් පසුව ඇඟිලි තුඩු ආධාරයෙන් හිසකෙස් සහ හිස්කබල හොඳින් විනාඩි කිහිපයක් මසාජ් කරන්න. පැයක් පමණ හිසෙහි තබා මෘදු ෂැම්පු එකක් භාවිත කොට සෝදා ඉවත් කරන්න.

4. වියපත් වූ සමකට (Anti aging skin) සුදුසු සත්කාරය

අවශ්‍ය දේවල්

  • – නෙළුම් පෙති සහ

  නෙළුම් රේණු

  • – නැවුම් කිරි ස්වල්පයක්
  • – ඔලිව් තෙල් තේ හැඳි 1ක්

සාදා ගන්නා ආකාරය

නෙළුම් මලෙහි පෙති සහ රේණු ටික වෙන්කර ගන්න. නැවුම් කිරි සමඟ මිශ්‍ර කොට බ්ලෙන්ඩර් කර ගන්න. එයටම ඔලිව් තෙල්ද එකතු කරන්න. ඉන් පසුව පේස්ට් එකක් ආකාරයට සාදා ගන්න. එහිදී ඔබට පදමට පැක් එක සාදා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට නැවත නැවුම් කිරි එකතු කොට පැක් එක සාදා ගන්න.

භාවිත කරන ආකාරය

පිරිසුදු කරගත් සම මත සුදුසු බුරුසුවක් ආධාරයෙන් මෙම පැක් එක ආලේප කරන්න. මුහුණට මෙන්ම මුළු සිරුරටම මෙය ආලේප කළ හැකියි.

මෙම සත්කාරය දිනපතා රාත්‍රියට ආලේප කළ යුතුයි. විනාඩි 30ක් පමණ සම මත තබා සෝදා ඉවත් කරන්න.

මෙම සියලුම සත්කාරයන් ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරන නිසා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නම් දිගුකාලීනව භාවිත කළ යුතුය.

දිනූෂා මනෝරි නිශ්ශංක

අප්සරා තිලකරත්න

ප්‍රවීණ රූපලාවණ්‍ය

ශිල්පිනි

සැලෝන් අප්සරා

කෝට්ටේ, රාජගිරිය