භයානක පිළිකා තෑගි කරන Whitening Cream

Date:

ලප කැළැල්වලින් තොර සුන්දර, පැහැපත් සමකට හිමිකම් කීම කාන්තාවන් විධියට අපි කවුරුත් කැමතියි. එම සිහිනය යථාර්ථයක් කර ගැනීම සඳහා ඉක්මනින් සම සුදු කරන විවිධ විස රසායන ද්‍රව්‍ය අඩංගු ක්‍රීම් වර්ග ආලේප කිරීමට බොහෝදෙනෙක් පෙලඹී සිටිති. එය සැබැවින්ම කනගාටුවට කරුණකි. බොහෝවිට තාරුණ්‍යයේ පසුවන නව යොවුන් දියණියන් මේ සඳහා වැඩිපුර ඇබ්බැහි වී ඇති බවත් නොරහසකි. ඔබත් අන්තර්ජාලය තුළ අලෙවි කරන එවැනි ක්‍රීම් වර්ග ආලේප කරන අයෙක්ද? එසේ නම් මෙම ලිපිය වෙන් වෙන්නේ ඔබ සඳහායි.

ශ්‍රී  ලංකාවාසි අපි සැමටම ඇත්තේ දුඹුරු පැහැයට හුරු සමකි. අපගේ සම දුඹුරු පැහැ වීමට ප්‍රධානතම හේතුව වන්නේ සමෙහි අඩංගු වන මෙලනින් වර්ණකයයි.  ලංකාව යනු සමකය ආසන්නයේ පිහිටා ඇති රටක් වන නිසා අන් රටවලට සාපේක්ෂව අප රටට හිරු එළිය ඝෘජුවම පතිත වේ. එහෙයින් ලංකාවාසී අපගේ සම හිරු එළියට ඝෘජුවම නිරාවරණය වේ. එසේ පතිත වන හිරු කිරණ තුළ පවතින අහිතකර බලපෑම් රැසකි. විශේෂයෙන්ම උදෑසන 10.00 – සවස 3.00 අතර පතිත වන හිරුඑළිය තුළ අහිතකර බලපෑම් රැසක් අඩංගුය. එසේ පතිතවන හිරු එළියෙන් සමට වන හානිය අවම කිරීමට ස්වාභාවිකව අපට ලැබී ඇති දායාදය වන්නේ මෙලනින්ය. එසේ නම් සමෙහි අඩංගු වන මෙලනින් වර්ණකය අප හට කෙතරම් වැදගත්ද යන්න දැන් ඔබට හොඳින්ම වැටහෙනවා ඇත. ලෝකයේ අන් රටවලට සාපේක්ෂව හිරු කිරණ වැඩි වශයෙන් පතිත වන ශ්‍රී  ලාංකේය අපි අපේ සම වැඩි වශයෙන් ආරක්ෂා කරගත යුත්තේ එනිසාය.

සමට වර්ණය සපයන මෙලනින් නිපදවන්නේ මෙලොනොසයිට් _ (melanocyte) නම් සෛල මඟිනි. මෙම මෙලොනොසයිට් නමින් හඳුන්වන සෛල ඇත්තේ සම තුළය. සාමාන්‍යයෙන් සෑම පුද්ගලයකුගේම සම මත ඇති මොලොනො සෛල ප්‍රමාණයක එක හා සමාන වන නමුත් සම මත මෙලෙනින් නිපදවන ප්‍රමාණය එකිනෙකාට වෙනස් වේ. එයට, ජානවල බලපෑම, පාරිසරික බලපෑම වැනි විවිධ කාරණා හේතු විය හැකියි.

බොහෝ විට තරුණ කාන්තාවන්, නව යොවුන් දරුවන් වැනි කාන්තා පාර්ශ්වය ශ්‍රී ලාංකේය අපේ සමේ පැහැයෙන් සෑහීමට පත් නොවෙති. ඔවුන්ගේ එකම අභිප්‍රාය තමාට උපතින්ම ලැබී ඇති සමේ පැහැය වෙනස් කොට සුදු පැහැති සමක් ලබා ගැනීමය. ඒ අයුරින් තමන්ට උරුම වූ සමේ පැහැය වෙනස් කර ගත හැකි ප්‍රධාන ක්‍රම කිහිපයකි.

1. සම පැහැපත් කරන ආලේපන ගැල්වීම.

2. ග්ලූටතයෝන් වැනි ශරීරයට අහිතකර සංයෝග එන්නත් කිරීම.

3. රසායනික ප්‍රතිකර්ම මඟින් සම මතුපිට තිබෙන උඩ සම ඉවත් කිරීම.

4. ලේසර් ප්‍රතිකාර

5. සම පැහැපත් කරන නොයෙකුත් පෙති වර්ග සහ ඔෟෂධ භාවිත කිරීම.

එවැනි ආලේපන වර්ග මඟින් සිදුවන්නේ සම මත සිදුවන මෙලනින් වර්ණය නිෂ්පාදනය අඩාල කිරීමයි. ලේසර් ප්‍රතිකර්ම හා රසායනික ප්‍රතිකර්ම මඟින් සිදුවන්නේද මෙලනින් වර්ණකය නිපදවීම අඩාල කිරීම සහ සමේ මතුපිට පිහිටා ඇති උඩු සෛල ටික ඉවත් කිරීමයි. සමෙහි උඩ කොටස ඉවත් වූ විට සම ආරක්ෂා කරන ආරක්ෂක වළල්ල ඉවත්වීම සිදුවේ. එහෙයින් අවට පරිසරයේ තිබෙන විසබීජ, අපද්‍රව්‍ය සමට පහසුවෙන් ඇතුළු වේ. තවද සමෙහි මෙලනින් වර්ණය අවම වීම හේතුවෙන් හිරු එළියට සම ඝෘජුවම නිරාවරණය වීමත් හිරු කිරණවල අඩංගු විස කිරණ ආදිය පවා ඉතා පහසුවෙන් සමට ඇතුළු වේ.

මෙමඟින් සම මත පිළිකා තත්ත්වයන් වැනි නොයෙකුත් රෝග තත්ත්වයන් පවා ඇති විය හැකියි.

මෙහිදී අද අප ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරනුයේ ඉතාම කෙටි කලකින්  සම සුදුපැහැ ගන්වන ආලේපන වර්ග පිළිබඳවය.

රසායනික ප්‍රතිකාරවල සහ සම සුදු කරන ක්‍රීම් වර්ගවල ප්‍රධාන වශයෙන්ම අඩංගුවන රසායනික  ද්‍රව්‍යය

1.  ස්ටේරොයිඩ් (Steroids)

මෙය සමේ රෝග සඳහා යොදා ගන්නා ඔෟෂධයක් ලෙස භාවිත වන සංයෝගයකි. මෙහි අතුරු ඵලයක් ලෙස සම සුදු වේ. මෙමඟින් ඇතිවන තවත් අතුරු ප්‍රතිඵල රැසකි. එනම්,

–  සම තුනී වීම (සම අභ්‍යන්තරයේ ඇති නහර පවා පැහැදිලිව පෙනෙන ආකාරයට සම තුනී සහ සුදු කරයි)

– සම ඉක්මනින් රැලි වැටීම

–  සම ඇදීම මඟින් සමේ ඉරි තැළීම් ඇති කළ හැකියි. (ස්ට්‍රෙච් මාර්ක්)

– සම මත අනවශ්‍ය ලෙස රෝම වර්ධනය වීම

– සමෙහි තිබෙන ආසාදන වර්ග වැඩි කිරීමත් අලුතින් නව ආසාදන ඇති කිරීමත් සිදුවේ.

  • – Steroids අඩංගු ආලේප දිගු කාලීනව සම මත ආලේප කළ පසු ඉහත සඳහන් අහිතකර බලපෑම් ඇතිවිය හැකියි. එමෙන්ම දිගු කාලීනව භාවිතය නිසා එම සංයෝගය රුධිර නාලවලට අවශෝෂණය වී ශරීරය පුරා පැතිරීම සිදු විය හැකියි. මුළු සිරුරේම පරිවෘත්තීය ක්‍රියාවලිය අඩාල වීමට මෙය හේතුවිය හැකිය.

Steroids ශරීරය තුළ පැතිරීම මඟින් ඇති විය හැකි අහිතකර බලපෑම්

දියවැඩියාව, අධිරුධිර පීඩනය, ස්ථූලතාවය වැනි රෝග රැසක් ඇතිවීම

2. බැරලෝහ (රසදිය සහ ඊයම්)

සම සුදු කරන ක්‍රීම්වර්ගවලට බහුලව රසදිය භාවිත වේ. රසදිය අධි මාත්‍රාවෙන් දිගුකාලීන භාවිතය තුළ, රසදිය රුධිර පද්ධතියට අවශෝෂණය වී සිරුරේ විවිධ ඉන්ද්‍රියන් තුළ තැන්පත් වේ. එමඟින් සමට සහ මුළු සිරුරටම අහිතකර බලපෑම් දෙයාකාරව සිදුවේ.

සමට සිදුවන බලපෑම

  • – සමේ පිළිකා ඇතිවීම, විවිධ අසාත්මිකතා ඇතිවීම, සම කැසීම, සමෙහි දැවිල්ල, සම අවපැහැ වීම කළු ලප ඇති වීම, සම අධිකව වියළීමත් කුඩු වශයෙන් සම ගැලවී යෑම, නියපොතු හානි සිදුවීම, හිසකෙස් ගැලවී යෑම.

–  සිරුරට විය හැකි හානිය

  • කාන්තාවන් මඳසරු භාවයට හා වඳ භාවයට පත් කිරීම.
  • – මෙවැනි දේ භාවිත කරන මවකට උපදින බිලිඳුන්ගේ මානසික විකෘතිතා ඇතිවීම හා බුද්ධි වර්ධනය අඩාල වීම.

–  ස්නායු ආබාධ, වකුගඩු රෝග, අක්මාව, පෙණහලු, මුතාශ්‍රය, වකගුඩු, බඩවැල් ආශ්‍රිතව පිළිකා ඇතිවීම.

– ශ්‍රව්‍ය දෘෂ්‍ය ආබාධ හා මානසික ව්‍යාකූලතා ඇතිවීම.

මෙවැනි අතුරුඵල බොහෝ විට නැවත යථා තත්ත්වයට පත්කළ නොහැකි වීම මෙහි ඇති භයානකම තත්ත්වයි.

3. ග්ලූටතයෝන්

ලෝකයේ කිසිදු රටක සම සුදු කරන ආලේප, එන්නත්වලට ග්ලූටතයෝන් අඩංගු කිරීමට අනුමැතිය ලබාදී නොමැත. එමෙන්ම මෙම සංයෝගය සම සුදු කිරීමේ ආලේපනවලට සුදුසු බවටද කිසිවකු විද්‍යාත්මකව ඔප්පු කොටද නැත.

ග්ලූටතයෝන් සංයෝගය ස්වභාවයෙන්ම අපේ ශරීරයේ අඩංගු වන සංයෝගයකි. සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් කිරීමට ඒවා උපකාරි වේ. එය බාහිරින් සම මත දිගු කාලයක් ආලේප කළහොත්, ඒවා සිරුර තුළට අවශෝෂණය වී සිරුරේ පැවතිය යුතු ග්ලූටතයෝන් ප්‍රතිශතය වැඩි වේ. එයින් සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය පවා අඩාල විය හැකියි.

මෙමඟින් සමේ පිළිකා වර්ග ඇති වීමත් සහ තවමත් සොයා ගෙන නොමැති ලෙඩ රෝගද රැසක් ඇති විය හැකියි.

4. හඩේ‍රාක්විනෝන් (Hydroquinone)

මෙය සමේ ඇති වන රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස භාවිත වන ඔෟෂධයකි. වෛද්‍ය උපදෙස්වලින් තොරව දිගු කාලීනව භාවිත කිරීම නිසා Exogenous Ochronosis නම් රෝගය ඇති වේ. එම රෝගය මඟින් සිදුවන්නේ නිල් පැහැයට හුරු අළු පැහැයක් සම මත ඇති වීමයි.

පොදුවේ සම පැහැපත් කරන ආලේපනවලින් ඇති විය හැකි අහිතකර බලපෑම්

සම අවපැහැ ගැන්වීම, සම අධික ලෙස වියළීම, සම පිලිස්සීම,  රතු වීම හා ඉදිමීම,  තුවාල හා බිබිළි දැමීම,  විවිධ ආසාදනයන් ඇතිවීම, හිරු එළියට තිබෙන සංවේදී බව වැඩි වීම (හිරු එළියට නිරාවරණය වූ විට සම ඉක්මනින් රතු වීම වැනි තත්ත්වයන්)

සම ඉක්මනින් වියපත් වීම, සම යනු නිතර නිතර සෛල අලුත්වන ඉන්ද්‍රියකි. සම සුදු කරන ආලේපනයකින් සම සුදු කරගත්තද, සම නිතර අලුත් වන හෙයින් එම ආලේපනයේ ප්‍රතිඵල කෙටිකාලීන වේ. එනිසා මෙවැනි ආලේපන දිගින් දිගටම ආලේප කිරීමට සිදු වේ. එවිට තමාට ලැබෙන අතුරු ඵලද වැඩි වේ. එනිසා සම සුදු කර ගන්නවාට වඩා නිරෝගී පැහැපත්, ලප කැළැල් රහිත සමක් පවත්වාගෙන යෑම අපගේ පෞරුෂත්වයට වැදගත් වේ. ඒ සඳහා

සමබර ආහාරවේලක් ලබා ගැනීම, වැඩිපුර ජලය පානය කිරීම, සුවදායි නින්දක් ලබා ගැනීම, හිරු එළියෙන් වන හානිය අවම කිරීමට සන් ක්‍රීම් එකක් ආලේප කිරීම (දහවල් කාලයට අලේප කළ හැකියි)

වියළි සමක් තිබේ නම් හොඳ මොයිචරයිසින් ක්‍රීම් එකක් භාවිත කිරීම.

සමට ගැළපෙන ක්ලෙන්සර් එකක් භාවිත කිරීම වැනි ක්‍රම අනුගමනය කළ හැකියි.

වෙළෙඳපොළෙන් ක්‍රීම් එකක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු,

– නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය

  • – නිෂ්පාදිත ආයතන නාමය හා නිෂ්පාදිත රට, වෙබ් අඩවියේ නම හෝ ඊමේල් ලිපිනය.

–  ලංකාවට ගෙන්වන නිෂ්පාදනයක් නම්, ආයතන නාමය, ලියාපදිංචි අංකය, ගෙන්වා බෙදාහරින්නන්ගේ දුරකථන අංක හෝ ඊමේල් ලිපින (බොහෝ විට මේ තොරතුරු සඳහා ව්‍යාජ තොරතුරු ඇතුළත් කොට තිබිය හැකියි), ප්‍රමිති සහතිකය

– නිෂ්පාදනයේ අඩංගු ද්‍රව්‍ය නාමාවලිය (ඉහත සඳහන් විස රසායනිකයන් අඩංගු වේ නම් මිලදී නොගත යුතුයි)

– කාණ්ඩ අංකය (bar code එක) අඩංගු දැයි සොයා බැලිය යුතුය.

දිනූෂා මනෝරි නිශ්ශංක

Share post:

ජනප්‍රිය

එවැනි තවත් පුවත්
එවැනි තවත් පුවත්

හම්බන්තොට වරායේ නාවික කටයුතු බලය තියෙන්නේ අපිට

හම්බන්තොට වරායද ඇතුළු ශ්‍රී ලංකාවේ පිහිටා ඇති සියලුම නාවික...

රට සල්ලි බැංකු ගිණුම්වල තැන්පත් කරන්න මසක කාලයක්

අමිල අබේරත්න විදේශ විනිමය මුදල් වශයෙන් සන්තකයේ තබාගෙන සිටින ශ්‍රී ...

IMF ණය ගැන මහබැංකු අධිපති කියන කතාව

අමිල අබේරත්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ණය ලබාගැනීම සම්බන්ධයෙන් වන...

CIDය අත්අඩංගුවට ගත් මර්වින් අධිකරණයෙන් මුදාහරී

හංසි නානායක්කාර වසර පහළොවකට පෙර රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වූ ...