චන්ද්‍රා සොබා ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා

0
190

මීට දින කිහිපයකට ඉහත දී එළි දැක්වුණු “චන්ද්‍රා සොබා” ගීතය බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් විකාශය වනවා. එම ගීතයට හඬ මුසු කරන්නේ ඔබ හොඳින් දන්නා දෙරණ ඩ්‍රීම්ස්ටාර් හරහා බිහිවුණු ගායිකාවක් වන අංජලී මෙත්සරායි. කුඩා කාලයේදීම අංජලී ප්‍රේක්ෂකයා හට සමීප වූයේ “හෝ ගානා පොකුණ” චිත්‍රපටයේ අන්ධ දියණියගේ චරිතය හරහාය. එම චරිතයට සම්මාන පවා ලබා ගනිමින් ප්‍රේක්ෂක සිත් දිනා ගන්නට ඇයට හැකි විය.

ඇය නැවත දෙරණ නාළිකාවේ විකාශය වූ දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 4 තරගාවලියේ දක්ෂතම තරුව බවට පත් වෙමින්ද පසුගිය දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරගාවලියේ අවසාන තරගාවලියට සුදුසුකම් ලබමින්ද ප්‍රේක්ෂක ආකර්ෂණය නොඅඩුව ලබා ගත්තාය. අද Her කතා බහ සිදුවන්නේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක් සහ ගායිකාවක් වන අංජලී මෙත්සරා සමඟයි.

– මේ දිනවල කොහොමද වැඩකටයුතු?

මගේ නවතම ගීතය පසුගියදා ප්‍රේක්ෂකයන් වෙත ලබා දුන්නා. බොහෝ ප්‍රතිචාර සමඟ එය ප්‍රේක්ෂකයන් වැලඳගෙන තිබෙනවා. ඒ වගේම දෙරණ fm සමඟ එකතු වී මගේ තවත් ගීත කිහිපයක් එළි දක්වන්නට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම මම මේ වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටිනවා. ඒ නිසා අධ්‍යාපනයට තමයි වැඩි නැඹුරුවක් ලබාදී තිබෙන්නේ.

– සංගීත වැඩකටයුතු සමඟ අධ්‍යාපන වැඩකටයුතු සමබරව කරගෙන යෑම පහසුයිද?

මම මුලින්ම ගණිත විෂය ධාරාවෙන් තමයි උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටියේ. නමුත් සංගීතය සමඟ අධ්‍යාපන වැඩකටයුතු පහසුවෙන් කරගෙන යෑමට නොහැකි නිසා කලා විෂය ධාරාවට මාරු වෙන්නට සිදුවුණා. ඒ නිසා අධ්‍යාපනය සමඟ සංගීතය කරගෙන යෑම පහසුයි.

– අංජලී කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නේ කුඩා කාලයේදීමයි. ඒ අත්දැකීම පිළිබඳ මතක් කරමු.

කලා ක්ෂේත්‍රයට පැමිණෙන්නට පෙර මම දෙරණ නාළිකාවෙහි ‘ලිට්ල් ස්ටාර්’ තරගාවලියේ (4 වැනි වටයේ) දක්ෂතම තරුව බවට පත්වුණා. ඒ 2011 වර්ෂයේදී. ඉන්පසුව තමයි 2012 වර්ෂයේ ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයට සම්බන්ධ වුණේ. චිත්‍රපටය විකාශය වුණේ රූගත කිරීම් සිදුකර වසර කිහිපයකින්. එවිට මම තරමක් වයසින් වැඩිමහල්. නැවත චිත්‍රපටවලට ආරාධනා ලැබුණත් අධ්‍යාපන වැඩකටයුතු නිසා ඒ කිසිවක් භාර ගත්තේ නැහැ.

– දෙරණ ඩ්‍රීම්ස්ටාර් කියන්නේ අංජලීගේ ජීවිතයේ එක්තරා සන්ධිස්ථානයක්. ඒ පිළිබඳවත් කතා කළ යුතුමයි නේද?

මේ තරගයේදී අනෙක් ඩ්‍රීම්ස්ටාර් තරගවටවලදී වගේ අපිට ලොකු කැපකිරීමක් කරන්න වුණේ නැහැ. හේතුව අපි කොරෝනා වසංගතයට මැදිවෙලයි සිටියේ. ඒ නිසා දෙරණ නාළිකාව අපව රඳවා තබාගෙන තමයි තරගයේ වැඩකටයුතු සියල්ලක්ම සිදුකළේ. එම පහසුකම් සැපයූ නිසා නිතරම ගෙදර යන්න එන්න වුණේ නැහැ. නැවතිලා වැඩකටයුතු ටික කරගන්නට හැකිවුණා. ඒ සිදුකළ කැපකිරීම නිසා තමයි දෙරණ ඩ්‍රීම්ස්ටාර් අවසන් තරග වටය දක්වා මම පැමිණියේ.

– නැවත රංගනයට සම්බන්ධ වීමට අදහසක් නැද්ද?

අදහසක් තිබෙනවා සහ මම රංගනයට ගොඩක් කැමැතියි. කෙටි චිත්‍රපටයකට මට ආරාධනා ලැබුණා. ඒත් අධ්‍යාපන කටයුතු නිසා මට එම ආරාධනාව භාරගන්නට බැරිවුණා. අධ්‍යාපන වැඩකටයුතු ඉවර කරලා ඉදිරියේදී මම නැවත රංගනයට සම්බන්ධ වේවි.

– ඩ්‍රීම්ස්ටාර් තරගාවලියේ විනිශ්චය මණ්ඩලයෙන් ලැබුණු ප්‍රතිචාර ඔබේ සංගීත ජීවිතයට කොතරම් ඉවහල් වුණාද?

ඒ ගැන නම් කතා කළ යුතුමයි. අපි අපේ දක්ෂතා වේදිකාව මත ඉදිරිපත් කරලා නැවත බලන විට සිතෙනවා අපිට තව කරන්න තිබුණා යනුවෙන්. ඒත් අපේ විනිශ්චය මණ්ඩලයේ සිටි පිරිස අපිට කිසිම වෙලාවක සෘණාත්මකව සිතන්න දුන්නේ නැහැ. වචනයෙන් පවා ඔවුන් බලන්නේ අපිව දිරිමත් කරන්න. අඩුපාඩුවක් වුණත් අපිට පෙන්වලා දෙන්නේ අපි මානසිකව නොවැටෙන විධියටයි.

– “හෝ ගානා පොකුණ” චිත්‍රපටයේ සුන්දර මතක පිළිබඳ මතකය නැවත අලුත් කළොත්?

චිත්‍රපටයක රඟපාන්නට ලැබෙනවා කියන්නේ ඇත්තටම හොඳ අවස්ථාවක්. මරු අත්දැකීමක්. මම කිසිම වෙලාවක බලාපොරොත්තු නොවුණු ආරාධනයක් තමයි රංගනය. “හෝ ගානා පොකුණ” චිත්‍රපටය රඟපාන කාලයේ අපිට ලොකු අත්දැකීමක් තිබුණේ නැහැ. එහි මම සමඟ තවත් ළමයින් දහ අට දෙනෙක් රඟපෑවා. ළමයින් පිරිසක් සිටිය නිසා එය තවත් රසවත් වුණා. අදටත් ඒ යහළුවන් මා සමඟ එකතුයි.  “හෝ ගානා පොකුණ” කියන්නේ අදටත් ජීවිතයේ ලබපු ලස්සන අත්දැකීමක්.

දමෑතකදී ඔබගේ කුලුඳුල් ගීතය එළිදැක්වුණා. ඒ පිළිබඳවත් විස්තර කියමු.

ඔව්. ඒ මගේ පළමුවැනි ගීතය. එය නම් කළේ “චන්ද්‍රා සොබා” යනුවෙන්. එෆ්.එම්. දෙරණ මඟින් ඩ්‍රීම්ස්ටාර් අවසන් වටයට පැමිණි තරගකරුවන් හට ත්‍යාගයක් ලෙසින් ගීත කිහිපයක් නිෂ්පාදනය කර දුන්නා. කොරෝනා තත්ත්වය සමඟ ගීතය එළිදැක්වීම තරමක් පමා වුණා. බොහෝ දෙනෙක් ඇහුවා ඇයි තවම ගීතයක් කිරීමට ප්‍රමාද යනුවෙන්. ගීතය එළිදැක්වූ පසු බලාපොරොත්තු නොවුණු ලෙස බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. චන්ද්‍රා සොබා ගීතය රචනා කළේ ශෙහාන් ගලහිටියාව. සංගීතය සැපයුවේ දූලීක කෝදාගොඩ අයියා. රූප රචනය කළේ සංදේශ් බණ්ඩාර අයියා. ඉදිරියේදීත් ගීත කිහිපයක්ම කරන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා. අපි බලමු ඉදිරියේදී.

– සංගීතය පිළිබඳ ඔබ සිදුකරන හැදෑරීම් පිළිබඳව කතා කළොත්?

මම සංගීතය පිළිබඳ හැදෑරීමක් සිදුකළේ පාසල් යන කාලයේ පමණයි. හය, හත, අට, නවය ශේ‍ර්ණිවලදී සංගීතය හැදෑරුවත් එයින් පසු මට සංගීතය හදාරන්නට ලැබුණේ නැහැ. මම දෙරණ ඩ්‍රිම්ස්ටාර් තරගාවලියේදීවත් කිසිවකු ළඟ පුහුණු කිරීමක් සිදුකළේ නැහැ. ඉදිරියේදී සංගීතය පිළිබඳ හදාරන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා.

– අංජලීගේ වැඩකටයුතුවලට නිවෙසින් ලැබෙන සහයෝගය පිළිබඳ කතා කළ යුතුමයි නේද?

නිවෙසින් ලැබෙන සහයෝගය පිළිබඳව නම් අනිවාර්යයෙන්ම කතා කළ යුතුමයි. මගේ සෑම වැඩකදීම ගෙදර අය මගේ පිටුපසින්ම සිටිනවා. සෑම වැඩකටම මාව රැගෙන යනවා. කිසිම විටෙක මට තහංචි දමන්නේ නැහැ. මම කැමැති දෙයක් මට කිරීමට නිදහස ලබා දී තිබෙනවා. මම කොහේ ගියත් අම්මා තමයි මගේ පිටුපසින් පැමිණෙන්නේ.  එයාලගේ ආදරය තමයි මට ලැබෙන ලොකුම ශක්තිය.

සචිනි බස්නායක

ඡායාරූප : දසුන් නිලංජන