ගෙදරදීම බයෝ ගෑස් හදන හරිම ක්‍රමය

0
77

අද ගොඩක් දෙනකුට තිබෙන බරපතළ ප්‍රශ්නයක් තමයි ගෑස් ප්‍රශ්නය කියන්නේ. ගෑස් නොමැතිව කී දාහක් නම් අද පෝලිම්වල, පාරවල් ගාණේ රස්තියාදු වෙනවා ඇත්ද. ඇත්තටම ගෑස් ප්‍රශ්නය එහෙම නැතිනම් බලශක්ති අර්බුදය කියන්නේ ලෝකයම මුහුණපාමින් තිබෙන බරපතළ ප්‍රශ්නයක්.

ලංකාවට කලින්ම මේ තත්ත්වයට මුහුණදීමට සිදුව ඇත්තේ වසර 74ක් රට පාලනය කළ දේශපාලනයට පින් සිදු වන්නටය. කෙසේ නමුත් ගෑස් ප්‍රශ්නය විසඳුණා හෝ නොවිසඳුණා, අද මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ lp ගෑස් වෙනුවට නිවසේදීම බයෝ ගෑස් සාදා ගන්නා ආකාරය ගැන දැනුවත් කිරීමටය. මෙම බයෝ ගෑස් මඟින් අපට උයා පිහා ගැනීමට අමතරව බව භෝග වගා කරනවා නම් එයට අවශ්‍ය දියර පොහොරද ලබා ගැනීමට හැකිය.

අවශ්‍ය ද්‍රව්‍ය:-

–  ප්ලාස්ටික් බැරල් තුනක්. (මෙම ප්ලාස්ටික් බැරල් තුන අවශ්‍ය වන්නේ අපද්‍රව්‍ය  එකතු කිරීමට සහ ගෑස් එකතු කර ගැනීමටය. ගෑස් එකතු කර ගැනීමට තෝරා ගන්නා බැරල් දෙක එකක් ප්‍රමාණයෙන් විශාල සහ ප්‍රමාණයෙන් කුඩා වශයෙන් තෝරා ගන්න.)

– එල්බෝ සහ සොකට්

– ප්‍රමාණයෙන් විශාල (අඟල් හතර) සහ කුඩා pvc බට

  • – කරාමයක්
  • – සිලිකන් ගම්

Epo putty (මෙය විශේෂිත ගම් වර්ගයකි. මෙමඟින් ගෑස් පිටතට කාන්දු නොවන පරිදි සෑම සිදුරක්ම ආවරණය කිරීමට හැකිය)

සාදාගන්න ආකාරය:-

පළමුව ඔබ තෝරා ගත් කසළ එකතු කරන බැරලයේ කටට මඳක් පහළින් වන්නට (අඟල් හතරක්) පමණ සිදුරක් විද කුඩා pvc නළය එයට සවිකරගන්න. මෙම නමඥ නළයට අවශ්‍ය නම් කරාමයක් සවි කරගත හැකිය. එමෙන්ම අඟල් හතරේ pvc නළය එක් පසෙකින් ආනතිව කපා, එම කැපූ කොටස බැරලය ඇතුළට දමා හොඳට සවි කරගන්න. මෙම සෑම සවිකර ගැනීමකදීම කිසිදු හිස්තැනක් නොතබා සිලිකන් ගම්වලින් හෝ epo putty Epo putty මඟින් අලවා ගැනීම ගැන සැලකිලිමත් වන්න. මොකද එසේ නොවුණහොත් ඉන් දුර්ගන්ධයක් හෝ එකතු වන ජීව වායුව පිටතට කාන්දු වීමට හැකිය.

දෙවැනුව වශයෙන් ඔබ කළ යුත්තේ ගෑස් පිරෙන බැරලය සාදා ගැනීමයි. ඒ සඳහා ප්‍රමාණයෙන් විශාල බැරලයට එල්බෝ  කෑලි සහ සොකට් යොදා කසළ බඳුනේ නිපදවෙන වායුව ලබා ගත හැකි පරිදි pvc නළ සවිකරන්න. එය පහත රූපසටහන පරිදි සිදු කරගත හැකිය. ඉන්පසු ප්‍රමාණයෙන් විශාල බැරලයට ජලය පුරවා, ප්‍රමාණයෙන් කුඩා ප්ලාස්ටික් බැරලයේ කට පහතට සිටින ලෙස ඇතුළු කරන්න. කසළ බඳුනේ නිපදවෙන ජීව වායුව එකතු වන්නේ මේ බැරලයටය.

මුනින් අතට හැරවූ බැරලයෙන් වායුව එළියට ගත හැකි පරිදි pvc නළ සවිකරගන්න. මම පෙර සඳහන් කර පරිදිම කසල බඳුනෙන් දියර පොහොර ලබා ගැනීමටත් හැකියි. ඒ සඳහා ඔබට සවි කළ කරාමය භාවිත කළ හැකියි. මෙහිදී කරාමයක් අත්‍යවශ්‍ය නොවේ, ඔබේ අවශ්‍යතාව අනුව එය ඉටු කරගත හැකිය. ඔබ බයෝ ගෑස් පද්ධතිය ගොඩනඟන විට සිදුරු විද ගැනීමට සහ දේවල් කපා ගැනීමට ග්‍රිල් එකක් හෝ ඇක්සෝ තලයක් භාවිත කළ හැකියි.

ඉන්පසුව කසළ බඳුනේ පිටවන වායුව සහ ගෑස් එකතු වන බැරලයේ නළ පද්ධතිය එකට සවිකර ගන්න. එය පහත රූපසටහනට අනුව සිදුකරගත හැකිය. ඇතැමුන් මෙම බැරලය පිපිරී යා හැකි බව පැවැසුවත් නිසි ක්‍රමවේදයට අනුව සකස් කර ගැනීමෙන් එවැනි දෙයක් සිදු නොවේ. මෙය අපට ගෙදරදීම සාදා ගත හැකි නිසා සහ අවම සම්පත් භාවිතයෙන් සකස් කරගත හැකි නිසා ඔබට ගෑස් සඳහා දරන වියදමත් අවම කරගත හැකිවනවා සේම දියර පොහොරත් ලබා ගැනීමට හැකි වෙනවා.

දුමිදු ලංකා බණ්ඩාර