ආර්ථික දිළිඳුතාවට වඩා මානසික දිළිඳුතාව භයානකයි

0
56

වර්තමාන ශ්‍රී  ලාංකිකයන් මේ වන විට ශීඝ්‍රයෙන් මානසික දිළිඳුතාවට පත්වෙමින් පවතියි. දුර්මුඛ වුණු ආර්ථිකයක් තුළ සමාජ සහ දේශපාලන වාතාවරණය ස්ථාවර නොවන විට, එවන් රටක මිනිසුන් ක්‍රමයෙන් මානසික දිළිඳුතාවකට ඇදී යෑම සාමාන්‍ය දෙයකි. පුද්ගලයකු දිළින්දකු වීම, දුප්පතකු වීම වෙනස්කර ගත හැකි තත්ත්වයක් වුවත් මානසික දිළිඳුතාවකින් පෙළෙනවා නම් එවැනි පුද්ගලයකුට එයින් මිදීම විශාල අභියෝගයකි.

දිළිඳුකම සහ ධනවත්කම අපට අර්ථකථනය කළ හැකි වන්නේ මුදල්වලින්ම පමණක් නොවේ. උදාහරණයක් ලෙස දැනුමින් පොහොසත් අය, ආකල්පවලින් පොහොසත් අය, බලයෙන් පොහොසත් අය, අද සමාජය තුළ අපමණ ඇත. එමෙන්ම මුල් කාලයේදී කිසිවක් නොමැතිව පසු කාලයේ ඉහත කුසලතා පරිපූර්ණ කරගත් පිරිස් අද සමාජයේ බොහෝ ඇත. එහෙත් මානසික දිළිඳුතාව නිතරම තමන් තුළ නඩත්තු කරන, පෝෂණය, කරන කෙනකුට මානසික වත්කම් සහිත පුද්ගලයකු වීමට කවමදාවත් හැකියාවක් නැත.

මේ වන විට අපි සෘණාත්මක ආර්ථික හා දේශපාලන පරිසර තත්ත්වයන් ඔස්සේ ගමන් කරමින් සිටිමු. මෙම තත්ත්ව ඔස්සේ මානසික දිළිඳුතාව අප තුළත් වර්ධනය වන අවස්ථා බොහෝය. මේ නිසා මේ දිනවල ඔබගේ සිතුවිලි පිළිබඳ විමසිලිමත් වීම, ඔබගේ ක්‍රියාවන් පිළිබඳ විමසිලිමත් වීම බොහෝ සෙයින් වටිනු ලැබේ. අද දවසේ ඔබ සිතන්නේ කුමක්ද? එය හෙට දවසේ ඔබගේ ප්‍රතිඵල සාර්ථක වීමට බලපානු ලබන අතර අද අපි කතා කරනු ලබන මානසික දිළිඳුභාවය යනුද එවැනිම කාරණයකි. මානසික දිළිඳුභාවය වර්ධනය වීමට ප්‍රධාන වශයෙන් සාධක පහක් බලපාන අතර එම සාධක පහ වළක්වා ගැනීම සඳහා ගතයුතු පියවර පිළිබඳ මෙම ලිපිය මඟින් විමසා බලමු.

අභිලාෂයන්ගේ දුර්වල වීම.

අප මෙම ලෝකයට පැමිණෙන්නේ දැනුමින් සන්නද්ධ වී නොවේ. මේ සෑම දෙයක්ම අප මෙම ලෝකයට පැමිණි පසු ගොඩනඟා ගත් දේවල්ය. ඇතැම් අය තමන් පිළිබඳ විශ්වාසය තබාගෙන තමා පිළිබඳ ඉලක්ක තබාගෙන ධනාත්මක සිතිවිලි තුළින් මනස පෝෂණය කොටගෙන තිබේ. ඇල්බට් අයින්ස්ටයින්ගේ ගුරුවරිය කුඩා කාලයේදී අනාවැකි පළකර තිබුණේ ඔහු මෝඩයකු වන බවයි. එහෙත් ඇල්බට් අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය හරහා තම බුද්ධිය ලොවටම හෙළි කළේය. මානසික දිළිඳුතාව සහිත මිනිසුන් කිසිම විටෙක විශාල අරමුණු නඩත්තු කරන්නේ නැත. ඔවුන් කුඩා මාළු ටැංකියක සෑදෙන මාළුවකු වැනිය. එම මාළුවා සෑම විටම හැදී වැඩෙනුයේ තමාගේ වපසරියට අනුවය. පරිසරය අනුව එම මාළුවාගේ ශරීර ප්‍රමාණය වෙනස්වනු ලැබේ.

තමාගේ අවට පරිසරය සෘණාත්මක වීම මානසික දිළිඳුතාවට ප්‍රධාන වශයෙන් බලපායි.

අද වර්තමානයේ පවතින ආහාර අර්බුදය, භාණ්ඩ හිඟය, ගෑස් ප්‍රශ්නය, තෙල් ප්‍රශ්නය, මුදල් ප්‍රශ්න සියලුම දේවල් මිනිසුන්ගේ මානසික දුර්වලතාවන්ට බලපා තිබෙන ප්‍රධාන ගැටලු වේ. මෙවැනි වාතාවරණයක් තුළ ජීවත්වන මිනිසුන් සෘණාත්මක තත්ත්වයන්ට ඉබේම තල්ලු වී යයි. ඔබ වටා ගෙතී තිබෙන සෘණාත්මක පරිසරය ඔබේ අභිලාෂයන් වෙත ගමන් කිරීමට බාධාවක් වනවා යැයි ඔබට සිතෙනවා නම් එවිට ඔබ ක්‍රමයෙන් මානසික දිළිඳුතාවට පත්වන බව තේරුම් ගත යුතුය. එම නිසා මානසික දිළිඳුතාව දුරැලීමේදී ඔබ මතක තබාගත යුතු වැදගත් කරුණක් වන්නේ අභිලාෂයන් වියැකී යන පුද්ගලයකු නොවීමටයි. එය මානසික දිළිඳුතාවයේ ප්‍රමුඛ ලක්ෂණයකි.

සර්ව අශුභවාදී බව සහ ස්වයං අනුකම්පාවකින් යුක්ත වීම.

මානසික දිළිඳුභාවයකට ලක්වන බොහෝ මිනිසුන් තමා පිළිබඳ දැඩි අනුකම්පාවකින් පසුවේ. “මටම ඇයි මෙහෙම දෙයක් වන්නේ” යනුවෙන් කල්පනා කරයි. අශුභවාදී ලෙස සෑම දෙයක්ම දකියි. යම්කිසි අශුභවාදී වාතාවරණයක් නිර්මාණය වෙමින් පවතින විටම ඔවුන් සිතන්නේ මෙයින් මිදීමට තමාට අපහසු බවයි. නමුත් මානසික ධනවත් භාවයෙන් යුතු පුද්ගලයා තමාව දකින්නේ මනසින් ශක්තිමත් පුද්ගලයකු ලෙසය.  උදාහරණයක් ලෙස 1999 වර්ෂයේ රථන් ටාටා තමාගේ ටාටා කාර් ව්‍යාපාරය අර්බුදයකට පත්වෙද්දී Ford සමාමේ නිර්මාතෘ වන බිල් ෆෝඩ් මුණගැසී උදවු ඉල්ලුවේය.  නමුත් බිල් ෆෝඩ් විසින් එය එක හෙළා ප්‍රතික්ෂේප කළේය. රථන්  ටාටා නැවත ඉන්දියාවට පැමිණියේ තමා පිළිබඳ ආත්ම අනුකම්පාවකින් නොවේ. බිල් ෆෝඩ්ගේ  හමුවීමෙන් පසු ඔහු තීරණය කරනු ලැබුවේ කෙසේ හෝ ටාටා කාර් ව්‍යාපාරය ඉහළට ගන්නා බවයි.

සෑම විටම තමාට යමක් කළ හැකි බව ඔහු විශ්වාස කළේය. 2008 වර්ෂයේ ඇමරිකාව ආර්ථික පීඩනයන්ට ලක්වූ අවස්ථාවේ බිල් ෆෝඩ් හට තමා යටතේ තිබුණු Jaguar සහ Land Rover සමාගම් ද්විත්වය විකුණා දමන්නට සිදුවිය. එය මිලදී ගැනීමට ඉදිරියට පැමිණෙන ව්‍යාපාරිකයා වන්නේ රථන් ටාටා ය. අදටත් Jaguar සහ Land Rover සමාගම් දෙක පවතින්නේ ටාටා සමූහ ව්‍යාපාරය යටතේය.  ඔහු එදා තමා කෙරෙහි ආත්මානුකම්පාවෙන් යුක්ත වූවා නම් අශුභවාදී වූවා නම් ඔහුට අද මෙම ජයග්‍රහණය ලබා ගැනීමට පහසු වන්නේ නැත. තමා කෙරෙහි අශුභවාදී වන අය මානසික දිළිඳුතාවට පත්වනවා පමණක් නොව ඔවුන් ජීවිතයේ ධනයෙන්, දැනුමින්, ආකල්පවලින්, බලයෙන්, ධනවත් ජීවිතයක් වෙත යොමුවීමට තිබෙන අවස්ථා අවම කර ගනියි. එම නිසා හැකිතාක් එවැනි අවස්ථාවලින් අෑත්වීමට කටයුතු කරන්න.

දියුණු වී සිටින මිනිසුන් කෙරෙහි බරපතළ ඊර්ෂ්‍යාවකින් යුතු වීම.

අපි සැවෝම ධනවත් මිනිසුන් නොවෙමු. අපි ධනය රැස් කර ගනිමින් ඉදිරියට යන මිනිසුන් වෙමු. ලෝකයේ ඕනෑම තැනක සිටින ධනවත් පුද්ගලයන් කුඩා තැන්වලින් තම ගමන ආරම්භ කළ පුද්ගලයන්ය අද අප සමාජයේ තිබෙන්නේ සංසන්දනය කිරීමකි. මෙලෙස සංසන්දනය කරනු ලබන පුද්ගලයන් අපට කාණ්ඩ දෙකකට බෙදා දැක්විය හැකිය.

සෑම විටම තමාට වඩා ප්‍රබල කෙනකු පිටුපස හඹාගෙන යෑම. (ඔහු ධනවත් වූ ආකාරය පිළිබඳ සොයා බලා ඔහු වෙන්නට උත්සාහ කිරීම)

දෙවැනි කාණ්ඩය වන්නේ අනෙකා කෙරෙහි ඊර්ෂ්‍යාවකින් පෙළෙමින් ඔහුව හඹාගෙන යෑමට උත්සාහ කිරීමයි.

ඔබ මෙසේ සිතන්න. මේ මොහොතෙහි ඔබ තුළ යම්කිසි මුදලක් හෝ යම් කිසි දැනුමක් නැති බව. එය ඔබට ලබාගත හැකි වන්නේ යම් කිසි කාලපරිච්ඡේදයක් තුළ යම් කිසි කැපකිරීමක් කළහොත් පමණි. දැනටමත් ඔබට එම මුදල හෝ දැනුම ලබාගත හැකි බව පෙනෙන්නට තිබියදීත් ඔබ අනෙකාට ඊර්ෂ්‍යා කළ යුතු නැත. ඊර්ෂ්‍යාව ගොඩනැඟෙනු ලබන්නේ තමා ළඟ නොමැති දෙයක් තව කෙනකු ළඟ තිබෙනවා දුටු විටය. එසේ ඊර්ෂ්‍යාවක් තමා තුළ තිබෙනවා නම් තමා මානසික දිළිඳුතාවකට ඇදී යන බව තේරුම් ගත යුතුය.

මානසිකව දුර්වලතාවන්ට පත්වුණු පුද්ගලයන් සැම විටම තීන්දු ගනු ලබන්නේ බියකිනි.

මානසික දිළින්දන් සෑම විටම තීරණ ගනු ලබන්නේ බියකිනි. යම් මොහොතක තමාට කිසිවක් කර ගැනීමට නොහැකි වේ යැයි දැනෙන බිය, තමා අසාර්ථක වේ යැයි දැනෙන බිය සෑම විටම ඔවුන් තුළ පවතියි. රටෙහි තිබෙන වාතාවරණය සමඟ ඔබ නිතරම ධනාත්මක දේවල් සිතීමට  පුරුදු විය යුතුය. නොබියව තීරණ ගැනීමට පුරුදු විය යුතුය.

අප මෙම මොහොතේ මේ අභියෝග ජයග්‍රහණය කළ යුතුය. මානසික දිළිඳුතාවයෙන් පෙළෙන පුද්ගලයන්ගේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ගැටලුවලට මුහුණදීමට ඇති බියයි. නිතරම දෙගිඩියාවෙන් පෙළීමද මානසික දිළිඳුතාවයේ ප්‍රධාන ලක්ෂණයකි. සෑම විටම ආත්ම විශ්වාසය පලවා හැර බය විසින් ඔවුන්ව හසුරුවනු ලබයි. එම නිසා මෙම මානසික දිළිඳුභාවයෙන් ගැලවීම අප සතු අත්‍යවශ්‍ය සාධකයකි.

තමා සතුව තිබෙන දේට වඩා තමා සතුව නොතිබෙන දේ පිළිබඳව අවධානය යොමු කිරිම.

ලොව ධනවත්ම පුද්ගලයන් පිළිබඳ කතා කිරීමේදී ඔවුන් යම්කිසි තැනකට පැමිණ තිබෙන්නේ ඔවුන් සතු කුසලතා මනා ලෙස සැලසුම් කරගත් නිසාය. ඔවුන් තමා ළඟ නොතිබෙන දේට වඩා තමාට තිබෙන දේ පිළිබඳව යමක් කරන්නේ කෙසේද යනුවෙන් සිතා බලා වැඩකටයුතු කර ඇත. මෙම මොහොතෙහි රටෙහි ආර්ථිකය දුර්මුඛ වීමත් සමඟ අපට කිරීමට හැකි සහ අපට කිරීමට නොහැකි දේවල් ඇත. දුර්මුඛ වුණු ආර්ථික රටාව තුළ අපට කිරීමට හැකි දේවල් කතා කළත් ඇතැම් අය එයට සිනාසෙති.  ඉන්ධන මිල ඉහළ යන කාල වකවානුවක අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යන සමයක සුදුසුම දේ වන්නේ නිවෙසෙහි ඔබගේ පරිභෝජනය සඳහා එළවළු පලතුරු වගා කිරීමයි. වෙළෙඳපොළෙහි භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම අපට වළකාලිය නොහැකිය. සුදුසුම දෙය වන්නේ අපට හැකි දෙයක් වගා කිරීමයි. එයින් ප්‍රයෝජන ලැබෙන්නේද අපටමය. අපට නොමැති දේවල් පිළිබඳ සිත සිතා සිටියහොත් අපට කෑමට පවා කිසිම දෙයක් ඉතුරුවන්නේ නැත.

උදාහරණයක් ලෙස ජේ.කේ. රෝලිං යන ලොව ධනවත්ම සාහිත්‍යවේදනිය තම ජීවිතයේ බොහෝ අර්බුද මැදින් ඉදිරියට පැමිණි කෙනෙකි.  ඇය දිළිඳු මනෝභාවයක් තිබුණු කෙනෙකි.  නමුත් එක්තරා අවස්ථාවකදී ඇය ඇයගේ මානසික දිළිඳුභාවය අතහැර ගනු ලබයි. ඇය ලියූ හැරී පෝටර් ග්‍රන්ථය ගෙන පුද්ගලයන් ‍ෙදාළොස් දෙනකු වෙත ගියත් එම ‍ෙදාළොස්දෙනාම ඇයව ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඇය දහතුන්වැනි පුද්ගලයා වෙත ගිය පසු ඇයගේ හැරී පෝටර් ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමට ඔහු කැමැත්ත පළකරනු ලබයි.

අවසානයේ හැරී පෝටර් ග්‍රන්ථයේ පිටපත් මිලියන අනූවකට වැඩි ප්‍රමාණයක් විකිණෙනු ලබයි. ඇය ධනවතියක් බවට පත්වන වපසරිය සාදාගනු ලබන්නේ තමාට නැති දේවල් පිළිබඳ කල්පනා නොකර තමාට හැකි සියලු දේ සිදුකළ නිසාය. එම නිසා තමා සතුව නොමැති දේවල් පිළිබඳ සිතා කිසි විටෙක මානසික දිළිඳුතාවන්ට පත් නොවන්න.

Rich Dad Poor Dad ග්‍රන්ථය රචනා කළ  Robert T. Kiyosaki අපූරු කතාවක් පවසනු ලැබුවේය. එම කතාව සෑම අතින්ම ශ්‍රී ලාංකිකයන්ට මේ මොහොතේ ගැළපෙනු ලබයි. ඔහු පවසනු ලබන්නේ “වඩාත් වැදගත් වන්නේ ඔබගේ ශක්තිය ඉහළ නැංවීම විනා ඔබගේ සිහින විනාශ කිරීම නොවේ” යනුවෙනි. සෘණාත්මක පරිසරයක් තමාගේ වටා ගොඩනැඟෙන විට මිනිසුන්ගේ ආකල්ප කුඩා වනු ලබයි. නමුත් ඔබ විසින් කළයුතු වන්නේ දුෂ්කර මොහොතේදී වඩාත් ශක්ති සම්පන්න වෙමින් තමාගේ වේගය වැඩිකර ගැනීමයි.

සචිනි බස්නායක

භාතිය අර්ථනායක

අභිප්‍රේරක

පුද්ගල හැකියා

සංවර්ධන පුහුණුකරු