“පෝලිම්වල ඉන්න එපා: ඉන්ධන නැව එන දවසක් කියන්න බැහැ”

0
182

පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් රැගත් නෞකා මෙම සතිය මුලදී සහ ලබන සතියේදී පැමිණෙන බව තහවුරු කළ සැපයුම්කරුවන් බැංකු සහ සැපයුම් හේතු මත නියමිත වේලාවට පැමිණිය නොහැකි වීම පිළිබඳව දන්වා ඇතැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මීළඟ ඉන්ධන නෞකාව පැමිණ එහි ගොඩබෑමේ කටයුතු සිදු වන තෙක් පවතින තොග පොදු ප්‍රවාහනය, විදුලිබල උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වයක් දී බෙදා හරිනු ලබන බව ය.

එමෙන් ම, ඩීසල් සහ පෙට්‍රල් තොග ලබන සතිය පුරාවට සීමිත ස්ථාන වෙත බෙදා හරින අතර ඉන්ධන සඳහා පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව කංචන විජසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ වන විට ඉන්ධන නෞකාව පැමිණීමේ දිනයක් තහවුරු කිරීමට නොහැකි වී ඇති අතර මීළඟ බොරතෙල් නෞකාව පැමිණෙන තෙක් පිරිපහදු මෙහෙයුම් ද තාවකාලිකව නවතා දමන බව අමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසීය.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (ජූනි 25) දහවල් සිට දහවල් සිට ඉන්ධන ඇණවුම් ලබා දීම සම්පූර්ණයෙන් නතර කර ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා මහතා සඳහන් කළේ, ඉන්ධන ප්‍රවාහන කටයුතු සඳහා කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්ත වෙත ගිය ද ඉන්ධන ලබා දීම නතර කර ඇති බව ය.

ඒ අනුව, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් පමණක් නිකුත් කර ඇති අතර ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ඊයේ දහවල් සිට ඇණවුම් ලබා දීම නතර කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, අද (ජූනි 26) දිනය නිවාඩු දිනයක් බැවින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු නොවන බව ය.

“ඊයේ පෙරවරුවේ ඉන්ධන පිරවුම්හල වෙත ගිය ඉන්ධන හැර ආයේ ලබන සඳුදා වෙනතුරු කිසි ම ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන ලැබෙන එකක් නැහැ.”