තෙල් අර්බුදය වවාගෙන කයි

2
1465

රට තුළ පවතින උග්‍ර ඉන්ධන අර්බුදය හමුවේ සංවිධානාත්මක ඉන්ධන ජාවාරමක් ක්‍රියාත්මක වීම හේතුවෙන් අසීමිත ඉන්ධන පරිභෝජනයක් නිර්මාණය වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ඉහළ පෙළේ නිලධාරීහු පවසති.

ඉන්ධන අර්බුදය මෙරට තුළ නිර්මාණය වීමට පෙර රට තුළ සාමාන්‍ය දෛනික පෙට්‍රල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 3500ක්, ඩීසල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 6500ක්, භූමිතෙල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 700ක් සේම කර්මාන්ත ශාලා සඳහා අවශ්‍ය දැවිතෙල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 400ක අගයක් සඳහන් වුව ද මෙසේ නිර්මාණය වූ අධිපරිභෝජන සංස්කෘතිය තුළ එය තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති තත්ත්වයක් පෙන්නුම් කරන බව ද තෙල් සංස්ථා ඉහළ පෙළේ නිලධාරීහු අවධාරණය කරති.

මෙම ඉන්ධන මාෆියාව හේතුවෙන් එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු සඳහා ඉන්ධන ලබා ගන්න විවිධ වෘත්තිකයන්, ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස්, රෝගීන් බැලීමට එදිනෙදා රෝහල් කරා යන තැනැත්තන් ආදී අය දැඩි අපහසුතාවන්ට පත්ව සිටින බව ඔවුහු පෙන්වා දෙති.

මෙම ඉන්ධන මාෆියාව උග්‍ර වී ඇත්තේ බොහෝ ත්‍රිරෝද රථ, කාර්, වෑන්,ලොරි ආදිය ඉන්ධන එකතු කිරීමේ ක්‍රියාවක නිරත වී සිටීම බව ද වාර්තා වේ.

විශේෂයෙන්, මේ වනවිට වෙළෙඳපොළේ පවා ටැංකියෙන් ඉන්ධන පිටතට ගන්නා බට වර්ග හිඟයක් ද පවතින්නේ මේ වතාවරණය මෙසේ තිබීම නිසා ය.

බොහෝ කාර් රථවල ඉන්ධන ටැංකියෙන් ඇද ගැනීමට නොහැකි නිසා එලෙස තෙල් ඇදීම සඳහා ම විශේෂ පුහුණුවක් සහිත පිරිස් ඉන්ධනහල් ආශ්‍රිතව කරක් ගසමින් රුපියල් 500 වැනි මුදලට සිය සේවා කාර් රථ හිමියන්ට ලබා දෙන බවට ද තොරතුරු වාර්තා වේ.

ඉන්ධන ටැංකි සුද්ද කිරීම සඳහා ගන්නා නළ ද රුපියල් 1000 ඉක්මවා ඇති බව ත් විවිධ ප්‍රමාණයේ කෑන්, බූලි මිලද අසීමිත ලෙස ඉහළ ගොස් ඇති බව ද සඳහන් වේ. මේ තාක් දුරට මෙම ඉන්ධන එක්රැස් කිරීමේ ජාවාරම ඔඩුදුවා ඇති අතර මෙම ජාවාරම්කරුවන් වැඩි මුදලට ඉන්ධන අලෙවි කිරීමේ ජාවාරම්වල ද නිරත වන බවත් ඇතැමුන් පෙට්‍රිල් හා ඩීසල් ලීටරයක් රුපියල් 1000කට ආසන්න මිලකට අලෙවි කරන බව ත් වාර්තා වේ.

මෙම මාෆියාවේ තවත් පැතිකඩක් ලෙස පෙනී යන්නේ ඉන්ධනහල් ආශ්‍රිතව පාතාල ක්‍රියාකාරකම් වැඩි වීමයි.

මේ වනවිටත් මහනුවර, පානදුර ඇතුළු ප්‍රදේශ රැසකින් මෙවැනි පාතාල ක්‍රියාකාරකම් වාර්තා වී ඇති අතර තෙල් සංස්ථා බලධාරීන් වෙත තොරතුරු ලැබී ඇත්තේ, ඉන්ධනහල් හිමිකරුවන් මෙම පාතාල ක්‍රියාකාරකම් දැනගෙන නිහඬව සිටින බව ය. ඒ ඔවුන්ගේ ඉන්ධන හල් ආරක්ෂාව ගැන සිතා ය.

ඉන්ධනහල් ආශ්‍රිතව ගැටුම් නිර්මාණය වී ඇති පසුබිමක ප්‍රදේශයේ චණ්ඩි හා පාතාලයට ඉන්ධනහලේ කටයුතු ඇතැම් ඉන්ධන හල් හිමිකරුවන් පාලනය කිරීමට දෙන බවත් එහිදී එම මැරවරයන් ක්‍රියාත්මක වී ඔවුන්ගේ හිතවත් අයට සහ මිල මුදලට පෝලිම් පන්නා තෙල් සපයන බවත් වාර්තා වී ඇත. මේ තත්ත්වය ආරක්ෂක අංශවලින් හෝ පාලනය නොකරන බවත් ඉන්ධනහලට යොදවා ඇති ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන් ද සිය දැන හැඳුනුම්කම් මත හා උපදෙස් නියෝග මත පෝලිම් පන්නා තෙල් ලබා දීම්ද නන් දෙසින් වාර්තා වේ. මේ නිසා පැය ගණන්, දින ගණන් පෝලිම්වල සිටින ජනතාවට අවසානයේ හිස් අතින් නිවෙසට ඒමට ද සිදුව ඇත. මෙවැනි මාෆියා මර්දනය කිරීම සඳහා පොලිසිය යොදවා ඇත.

මේ ජාවාරමේ එක් භයානක පැතිකඩක් වන්නේ වැඩි මිලට තෙල් විකුණන ජාවාරම්කරුවන් තෙල්වලට විවිධ දෑ කලවම් කොට ලීටර් ගණන් වැඩි කිරීම ය. මේ නිසා අනාගතයේදී මෙවැනි ජාවාරම්වලින් තෙල් ගන්නා වාහන කාර්මික ‍දෝෂයන්ට ලක් වීමේ අවදානමක් ද ඇත.

2 COMMENTS

  1. මාදම්පේ පැරනි නගරයේ ඇති IOC පිරවුම් හලේ පෙට්‍රල් පොලිමේ සිටියදී එක් කාන්තාවක් තෙල් පැමීනීමත් සමගම පිරවුම් හලට පැමින දවස් ගනන් පොලිමේ සිටි මිනිසුන් සිටියත් බලෙන් පිරවුම් හල ඇතුලටම ගොස් ඇයගේ යතුරු පැදි 2 ක 3කටම ඉන්දල ලබාගැනීමට කටයුතු කලහ පසුව එයට විරුද්ධව කතා කල අයට ඇය චන්ඩි කම් පෙන්නමින් කුනුහරපෙන් බැන වදිමින් ඇයගෙ ක්‍රියාව එලෙසම කර නැවත නැවත පැමින එයම කිරිම නිසා මා ඇය ගැන තවත් අයෙක් ගෙන් විමසූ විට ඔහු මා හට පැවසූවේ . ඇය නමින් සුදීපා ඔය කාන්තාව පෙට්‍රල් රැස් කර බෝතලය 750ML රුපියල් 1000කටත් ලීටරය 1000ML රුපියල් 1200කටත් විකුනන බවයි.

Comments are closed.