ලොකු බලාපොරොත්තු තියාගෙන මේ ගමන යන්න බෑ

0
73

ඔහු කලා ක්ෂේත්‍රය තුළ සිටින අති දක්ෂ ප්‍රවීණ කලාකරුවෙක්. චරිතාංග නළුවකු වශයෙන් ඔහු තුළ ඇති කලා කුසලතාව පිළිබඳව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. මෙවර “හදගැස්ම” කතාබහට එක්වන ඔහු නමින් ජේ‍යෂ්ඨ කලාවේදී ඇන්ටන් කුරේ. පසුගිය දිනෙක පැවැත්වූ රයිගම් සම්මාන උළෙලේදී හොඳම සහාය නළුවා වශයෙන් නිර්දේශ වීමට පවා ඔහුට හැකිවිය. එහෙයින් හදගැස්ම අපිත් ඔහු සමඟ සම්මුඛ වන්නට අමතක කළේ නැහැ.

මේ දවස්වල වැඩකටයුතු මොනවාද?

සංඛ වීරසිංහ මහතාගේ “බැමිණිතියා සාය” ටෙලි නාට්‍යයත්, බුද්ධික ලොකුකැටිය මහතාගේ අදිසි ටෙලි නාට්‍ය දෙරණ නාළිකාවේත්, ජාතික රූපවාහිනි නාළිකාවේ විකාශනය වූ සුපුන් රත්නායක මහතාගේ “තුම්පනේ” ටෙලි නාට්‍යයෙ පසුගියදා විකාශනය අවසන් වුණා.

ඔබ පසුගිය දිනකදී ජනප්‍රිය ටෙලි සම්මාන උළෙලකදී ටෙලි නාට්‍ය රංගනය උදෙසා ප්‍රධාන පෙළේ සම්මානයකට නිර්දේශ වුණා නේද?

ඔව්. තිස්ස විජේකෝන් මහතාගේ “අසංවර වැස්සක්” ටෙලි නාට්‍යයේ විදුහල්පතිතුමාගේ චරිතය වෙනුවෙන් පසුගිය රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම සහාය නළුවාට නිර්දේශ වුණා.

ඔබ කලාවට සම්බන්ධ වූ ආකාරය කෙටියෙන් මතක් කළොත්?

1986දී මායාදුන්න බණ්ඩාර මහතාගේ “ඕලෙවල් 86” කියන නිර්මාණය හරහා තමයි වේදිකාවට අවතීර්ණ වුණේ. එතැනින් ආරම්භ කළ ගමන තුළ වේදිකාව තුළ නාට්‍ය 20කට අධික සංඛ්‍යාවකට සම්බන්ධ වුණා. ඒ මායාදුන්න බණ්ඩාර, පසන් කොඩිකාර ආදී මහත්වරුන්ගේ නිර්මාණ හරහා. ඉන් පසුව ටෙලි නාට්‍යය කලාවටත් සම්බන්ධ වුණා. බිමුනි නිමල් රාජපක්ෂ මහතාගේ “සිත් පහන්” නම් ඒකාංගික ටෙලි නාට්‍ය හරහා. එය වෙසක් නාට්‍යයක්. මේ වනවිට ටෙලි නාට්‍ය 100කට ආසන්න ප්‍රමාණයකටත්, චිත්‍රපට 10කට ආසන්න ප්‍රමාණයකටත් සම්බන්ධ වුණා.

ඔබ විශ්‍රාමික රාජ්‍ය සේවකයෙක් නේද?

ඔව්. කුරුණෑගල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියකු විධියට වැඩ කොට දැනට විශ්‍රාමිකයි. පාසල් වේදිකාවට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. ඉන්පසුව සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ නාට්‍යකරණය හා රංගකලා පාඨමාලාවට සම්බන්ධ වුණා. ඉන් අනතුරුව මායාදුන්න බණ්ඩාර මහතාගේ වේදිකා නාට්‍යයකින් තමයි කලාවට අවතීර්ණ වුණේ. දැන් අවුරුදු 35කට ආසන්න කාලයක සිට කලාවේ නියැළී ඉන්නවා. 

කලා නිර්මාණවලට සම්බන්ධ වීමේදී ඔබ තෝරා බේරා ගැනීමක් සමඟ වැඩ කරන අයෙක්ද?

එසේ විශේෂ තෝරා බේරාගැනීමක් නම් නැහැ. මගේ කුමන හෝ වාසනාවකට මට ලැබුණු සෑම චරිතයක්ම එකකින් එකක් වෙනස් චරිතයි. එනිසා විශේෂයෙන් තෝරා බේරා ගැනීමක් සිදු කළ යුතු නැහැ. මට ලැබෙන සෑම චරිතයක්ම මම අගේ කොට සලකනවා සහ ඒ සඳහා උපරිම සාධාරණය ඉටු කරන්නට උත්සාහ ගන්නවා.

කලාව තුළදි ඔබ ලද සම්මාන පිළිබඳ මතක් කළොත්?

වේදිකාව තුළදී නම් වයඹ  පළාත් රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා වශයෙන් සය වතාවක් සම්මානයට පාත්‍ර වුණා. කෙටි නාට්‍ය ඉදිරිපත් කිරීම වෙනුවෙනුත් සම්මාන කිහිපයක්ම ඒ අතර දිනා ගැනීමට මට හැකි වුණා. ජාතික තලයේදී විජය කුමාරතුංග අනුස්මරණ සම්මාන උළෙලටද නාට්‍යයක් ඉදිරිපත් කොට එයින්ද රංගනයෙන් දෙවැනි ස්ථානය ලබා ගැනීමට හැකි වුණා.

මෙතෙක් ආ ගමන් මඟ පිළිබඳව ඔබ තෘප්තිමත්ද?

අනිවාර්යයෙන්ම තෘප්තිමත්. මේ අවුරුදු 30 ගණන පුරාවට විවිධාකාරයේ චරිතයන් සඳහා හොඳම අධ්‍යක්ෂවරුන් යටතේ රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා.

රංගනයේදී ඔබට සරිලන නිසි වටිනාකමක් ලැබෙනවා කියා ඔබ සිතනවාද?

මගේ වටිනාකම මට ලැබෙනවා කියලා මම සිතනවා. මහ ලොකු දේවල් පිළිබඳව බලාපොරොත්තු තබාගෙන අපට මේ ගමන යන්නට බැහැ. එනිසා අදාළ නිර්මාණයට සාධාරණයක් ඉෂ්ට කරන ගමන් අපේ වටිනාකමටත් සාධාරණයක් ඉෂ්ටවන ආකාරයේ නිර්මාණ මේ වන තෙක් මට ලැබී තිබෙනවා.

කලාවේ නව පරපුර සමඟ ගනුදෙනු කිරීම පහසුද?

කලා කේෂ්ත්‍රය තුළ පසුබෑමක් පසුගිය කාලවලදී දැකගන්න ලැබුණා. නමුත් අද වනවිට මේ ක්ෂේත්‍රයට නව පරපුර තරුණ නියෝජනය කරන දක්ෂ නිර්මාණකරුවන් රැසක් පැමිණ තිබෙනවා. විවිධ ඉසව් ඔස්සේ විවිධ මානයන් ස්පර්ශ කරමින් ඔවුන් නිර්මාණකරණයේ නියැළී සිටිනවා. එය සතුටට කරුණක්. අඳුන්ගිර, සකර්ම වැනි සම්මානලාභී එවැනි නිර්මාණ රැසකට මට දායක වෙන්නට හැකි වුණා. ඒත් සමඟ ඉතින් අනාගතයේදී මේ කේෂ්ත්‍රයට සුබවාදී කාලයක් උදාවේවි යැයි අපට බලාපොරොත්තු තබා ගත හැකියි.

 වේදිකාව සමඟ ඇති අත්දැකීම් සම්බන්ධව කතා කළොත්?

ඇත්තටම අපි වේදිකාව තුළ හුස්ම ගත්ත මිනිස්සු. අදත් එවැනි දක්ෂ තරුණ රංගන ශිල්පීන් පිරිසක් මේ වනවිට ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයටත් අවතීර්ණ වී සිටිනවා. එවැනි දක්ෂතා සපිරි තාරුණ්‍යයේ 90%ක්ම වේදිකාව තුළින් කලාවට පිවිසි අයයි.

තාත්වික රංගනය සහ චරිතාංග නළුවකු බවට පත්වීමට වේදිකාව තුළින් අති විශාල පන්නරයක් ලැබෙනවා නේද?

ඔව්. අනිවාර්යයෙන්ම. රංගන ශිල්පීන් වශයෙන් අපගේ ජීවිතයේ හුස්ම රැඳී පවතින්නේ වේදිකාව සමඟයි. ඕනෑම අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු සමඟ ඔවුන් බලාපොරොත්තු වන ඔවුන් සතුටු වන ආකාරයේ රංගනය කළ හැක්කේ වේදිකාවෙන් පැමිණි නිසයි. වේදිකාවෙන් ලැබුණු අත්දැකීම් සහ වේදිකාවෙන් ලද දැනුම මේ ආදී සියල්ලක්ම එයට හේතු වුණා.

කලාව පසුතැවීම් වූ අවස්ථා නැද්ද?

කලාව වෙනුවෙන් සහ රංගනය වෙනුවෙන් මට මීට වඩා වැඩි යමක් කරන්නට තිබුණා කියන හැඟීම නම් මා තුළ තිබෙනවා. නමුත් මගේ පදිංචිය කුරුණෑගල සහ මගේ රැකියාවත් සමඟ මේ අයුරින් හෝ රංගනයේ යෙදීමට හැකිවීම ගැන සතුටුයි.

මේ කලා ගමන තුළදී ඉදිරියේදී හෝ සම්බන්ධ වීමට ආසාවෙන් සිටින විශේෂ චරිතයක් තිබෙනවාද?

කතෝලික පූජකවරයකුගේ චරිතයකට මා  මිය යෑමට පෙර සම්බන්ධ වීමට බොහොම ආසාවෙන් ඉන්නවා.

ටෙලි නාට්‍ය කලාවේ අනාගතය සුබවාදි වේවි කියා ඔබ හිතනවාද?

අලුත් නිර්මාණකරුවන් ඇතුළු දක්ෂතා සපිරි බොහෝමයක් දෙනා අතින් බිහිවන නව නිර්මාණ කිහිපයක්ම ඉදිරියට එන්න තිබෙනවා. එවැනි බොහෝමයක් නිර්මාණ විවිධ පැතිකඩ ස්පර්ශ කරමින් බොහොම සරු ආකාරයට රසවින්දනයෙන් ඉහළ, සුන්දර ඒවා බව කීවොත් නිවැරදියි. අපේ ජනකතා ආශ්‍රිතව සහ ගැමි පරිසරය පසුබිම් කොටගෙන බිහිවූ එවැනි  නිර්මාණ කිහිපයකටම මමත් සම්බන්ධ වුණා. ඉදිරියේදී අපේ ටෙලි නාට්‍යය ප්‍රමුඛ කලා ක්‍ෂේත්‍රයට සුබවාදී කාලයක් උදාවේවි යැයි මා විශ්වාස කරනවා.

පසුගිය කාලයේදී වේදිකා නිර්මාණවලට සම්බන්ධ වූයේ අඩුවෙන්ද?

 අවුරුදු පතා පැවැත්වෙන වයඹ පළාත් රාජ්‍ය නාට්‍යය උළෙලට 2019 වසරේදී මම නාට්‍යයක් ඉදිරිපත් කළා. එයිනුත් සම්මානයට පාත්‍ර වීමට මට අවස්ථාව ලැබුණා.  මගේ ජීවිතය තුරාවට සහ රංගනයට සම්බන්ධ වීමට හැකියාව තිබෙන තුරු රංගනය සමඟ සම්බන්ධ වීම තමයි මගේ බලාපොරොත්තුව.

පවුලේ විස්තරත් මතක් කරමු?

මම විවාහකයි. බිරිය රංජනී අබේසිංහ. මට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. පුතා පැතුම් කුරේ සංගීතඥයෙක්. ඔහු ටෙලි නාට්‍ය කිහිපයකටම සංගීත අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුණා. ලේලිය මධූෂා. ඇය වැඩ කරන්නේ උප තැපැල් කාර්යාලයක. දුව චතුරිකා කුරේ. ඇය පශු වෛද්‍ය නිලධාරිනියක්. බෑනා සජිත් මාධව. ඔහුත් පශු වෛද්‍ය නිලධාරිවරයෙක්. යෙනුල් සහ නෙතුල කියා මුනුපුරන් දෙදෙනකුත් මට ඉන්නවා.

ස්තූතිවන්ත වන්නටත් පිරිසක් ඇති?

බිමුනි නිමල් රාජපක්ෂ මහතාට රංගන ශිල්පි වසන්ත කුමාරසිරි මහතා, සරත් ධර්මසිරි මහතාට, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා, තිස්ස විජේකෝන් මහතා, නිමල් ජයවීර, ජනක සුරන්ජිත්, දැනට ජීවතුන් අතර නොමැති අනුර මාධව ජයසේකර, සමන් කුමාර ලියනගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මට මේ ගමන එන්නට විශාල සහයෝගයක් ලබා දුන්නා.

දිනූෂා මනෝරි නිශ්ශංක