පුරාණ භාරතයේ ඉසිවරයන් අනුමත කළ ස්නාන රාජ චූර්ණය හදා ගන්නේ මෙහෙමයි

0
44

“සුවඳ සබන් කිව්වට සුවඳ තියෙන්නේ සබන් කෑල්ල වටේ හරිය විතරයි. දෙපාරක් ගානකොට කොයිකත් එකයි. නානකොට ගාන්න පුළුවන් සුවඳ දෙන ආලේපයක් නැද්ද ඩොක්ටර්…” බොහොමයක් කාන්තාවෝ අහනවා. ඇයි නැත්තේ… ආයුර්වේදයේ ඔය  හැම දෙයක්ම තියෙනවා. සුවඳ සබන් වර්ගවල සුවඳ අඩු වැඩි වෙන කතාව කොයි හැටි වෙතත් සබන් දැන් හරි ගණන්. සුවඳ සබන් ගාලා නාලා ඇඟපත සුවඳ කරගන්න හිතනවාට වඩා ශරීරයේ පිරිසුදු කර ගැනීම වැදගත් වෙනවා. ඒ සඳහා සබන් වර්ගයක් භාවිත කරන්න. දහදිය සමඟ මුසුවී ශරීරයට ඇලුණු කුණු, දුහුවිලි, තෙල් කොටස් දුම් ආදිය සෝදා ගැනීමට වෙළෙඳ ප්‍රචාරයන්ට මුළා නොවී ඕනෑම සබන් වර්ගයක් භාවිත කරන්න. මනාසේ ස්නානයෙන් ශරීරයේ දුර්ගන්ධය මෙන්ම ගතේ වෙහෙසකාරී බවද නැති කරගත හැකියි.

තෙත මාත්තු කරගත් ශරීරයේ කොලොන් වර්ගයක් හෝ ඩියුඩ්රන්ට් වර්ගයක් ගල්වන්න. කොලොන් වර්ගයක් භාවිත කිරීමේදී එය අත්ලට හලාගෙන නළලතේ උඩ පෙදෙසේ,  කන පහළ සහ හිස පිටුපස ප්‍රදේශයේත්, කිහිලි දෙකෙහි සහ පපුව ප්‍රදේශයේත්, ඉකිළි ආශි්‍රතවත් තවරා ගන්න. ඩියුඩ්රන්ට් වර්ගයක් භාවිත කිරීමේදී කිහිලි දෙකට හා පපුව ප්‍රදේශයට පමණක් ස්ප්‍රේ කරගන්න. මෘදු සුවඳවත් සුවදායක සැහැල්ලුවක් ලබාගත හැකි වනු ඇත.

ඉස්සර කාලේ කොලොන් වර්ග, ඩියුඩ්රන්ට් වර්ග තිබුණේ නැහැ. නමුත් ආයුර්වේදය ඉතාමත්ම පොහොසත්ව පැවතුණා. ආයුර්වේද රූපලාවණ්‍ය ඉතා ක්‍රමවත්ව තිබුණා. මිනිස්සු නිරන්තරයෙන් ආයුර්වේදයේ පිහිට ලබාගත්තා.  මිනිසුන් වශයෙන් අප සැමගේ ප්‍රධාන බලාපොරොත්තුව මොකක්ද? දුකක් කරදරයක් නොවී දීර්ඝායු විඳගැනීමයි. වෙනත් විදිහකට කිව්වොත් සැපට, සනීපයට, ලස්සනට බොහෝ කාලයක් ජීවත් වීමයි. ඉතින් ආයුර්වේදය මේ සියල්ල සඳහා අපට පිහිට වෙනවා.

ආයුර්වේදයේ කියන්නේ ආයුෂ පිළිබඳව ඉගෙන ගන්නා විද්‍යාවයි. එය හැදෑරීමෙන්, ප්‍රගුණ කිරීමෙන් හා ඒ අනුව ජීවිතය සකස් කර ගැනීමෙන් නිරෝගීමත් හා සැපවත් ලෙස දිගාසිරි ලබාගත හැකියි.

ඕනෑම සබන් වර්ගයක් ගාලා නාන අතරේදී ඇඟ සුවඳ කරන්නට පුරාණ ඉන්දියාවේ භාවිත කළ ආයුර්වේද ස්නාන රාජ චූර්ණය ඔබට නිවෙසේදීම සාදාගත හැකියි. ශරීරය පිරිසුදු කරගත් පසු ස්නාන රාජ චූර්ණය ඇල්වතුරින් ශරීරය පුරාවට ඇතුල්ලා ගන්න. පසුව ඇල් දියෙන් සෝදා හරින්න. ඇඟ වියළුණු පසුව එම චූර්ණයෙන් ශරීරයට දුම් අල්වා ගන්න. සති දෙකක් මේ අන්දමට කිරීමෙන් පසු වෙනස වටහා ගන්න.

ස්නාන රාජ චූර්ණය:

සුදු හඳුන්, කහ, ඉරමුසු, කොල්ලන් කොළ, කුරුඳු පොතු, එනසාල්, සැවැන්දරා මුල්, කලාදුරු, වෙට්ටිවේර්, නාමල් රේණු, රුක්මල් පැණි, ‍ෙදාඩම් ලෙලි, දෙහි ලෙලි, අගිල්, හිඟුරු පියලි, කස්තුරි මංජල්, මදුරුතලා කොළ කළඳ බැගින් ගෙන එම බරට සමාන ලෙස කොකුම් පොතු කුඩු කර ගන්න.

වෛද්‍ය සජානි වාසනා ප්‍රනාන්දු

BAMS (Hons) University of Kelaniya

ධන්වන්තරි ආයුර්වේදය _ බිම්බාරාම පාර,

පිළියන්දල

0718659179