පව්කාරයන්ගේ අඳුරු පාරාදීසය ‘නිරය’

0
482

ඩෑන් බ්‍රවුන්ගේ ‘Inferno’ කියවපු කෙනෙක් ඉන්නව නම් එයාට මම කතා කරන්න යන දේ පිළිබඳ හොඳ අදහසක් තිබෙනවා වෙන්න පුළුවන්. බ්‍රවුන්ට මේ නවකතාව ලියන්න ආභාසය ලැබිලා තිබෙන්නේ දාන්තේ ඇලහියර්ගේ ඩිවයිනා කොමේඩියා එහෙමත් නැත්නම් ‘Divine Comedy’ කියන පොතෙන්. ඒක 1308 ඉඳන් 1320 වෙනකල් වසර ගණනාවක් මහන්සිවෙලා ලියපු ආඛ්‍යාන කාව්‍යයක්. වොයිනික්ගේ ඇටමැස්සාට පදනම් වෙලා තිබෙන්නෙත් මේ පොත මත. ගුස්ටව් ඩෝව් මේක හිතාගන්නවත් බැරි තරමට මහා පුදුම සහගත විධියට චිත්‍රයට නැඟුවා. ඒක කියවන්න කියලා ආරාධනා කරන ගමන්ම අපි අද කතා කරන්න යන මාතෘකාව දෙසට හැරෙමු. පාපකාරීන්ගේ පාරාදීසයක් මොනවගේ වෙයිද? ඇත්තටම පාරාදීසය කියන එක උරුම වෙන්නේ භාග්‍යවන්‍තයන්ට. පව්කාරයන්ට අයිති හේදීසය. නිරය ඉංගී්‍රසියෙන් ‘Hell’ කියලා හඳුන්වනවා. හැබැයි ඒ කිතුනු දහමට අනුව.

මේක ඊට වඩා පුළුල්ව විහිදී ගිය සංකල්පයක්. ලෝකේ හැම සංස්කෘතියකම, ආගමකම වගේම විවිධ ජන වර්ග අතරත් නිරය කියන්නේ බරපතළ සංකල්පයක්. නිරය කියන එක බැබිලෝනය, දුගතිය, අපාය, ෂෙයෝලය, හේදීසය, ඉන්ෆර්නෝව යන නාමකායන්වලින් හඳුන්වනවා. පුනරුත්පත්තිය සහිත ආගම්වල බොහෝ විට නිරය නිරූපණය වන්නේ අවතාරමය අතරමැද කාල පරිච්ඡේදයක් ලෙසයි. එය එක් අයුරකින් වෙනත් මානයකි. එය පෘථිවියට යටින් පිහිටා ඇති ස්තරයක් බව තමයි කියන්නෙ. හැබැයි 1562දී නෙදර්ලන්ත පුනරුද යුගයේ චිත්‍ර ශිල්පියෙක් වෙන පීටර් බෘෘගල්ගේ ‘The Fall of the Rebel Angels’ කියන සිතුවමේ පාතාලය අඳින්නෙ අනිත් පැත්තට. ඒ කියන්නේ පාතාලය තිබෙන්නේ අහසෙ. ඔන්න ප්‍රශ්නයක්. කොහොමත් මේ සංකල්පය ඉතා ගැටලුකාරීයි.

බොදු සාහිත්‍යයෙහි එන ප්‍රේත වස්තු වර්ණනාව මේ සංකල්පයට බෙහෙවින් සමානයි. එහි අනෙක් පස විමාන වස්තු වර්ණනාවයි. මෙම විමාන වස්තු පාලි හා ප්‍රේත වස්තු පාලි අයත් වන්නේ ඛුද්දක නිකායටයි. විමාන වස්තුවේ සඳහන් වන්නේ මිනිස් ලොවෙහිදී පින්කම් කොට දෙව්ලොව ඉපිද දිව්‍ය සම්පත් අනුභව කරන පිරිස ගැනයි. ප්‍රේත වස්තුවෙහි තිබෙන්නේ ප්‍රේත ලෝකයෙහි ඉපිද අනන්ත දුක්ඛිත ජීවිත ගෙවන්නා වූ අවාසනාවන්තයන් පිරිසක් ගැනයි. ඒ සියල්ල සිදු වන්නේ තම තමන්ගේ කර්මානුරූපය අනුව.

ප්‍රේත වස්තුවෙන් කියැවෙන්නේ ප්‍රේත ලෝකයෙහි තොරතුරුය. මනුෂ්‍යයන් දූෂිත සිතින් යුතුව සිත, කය, වචනයෙන් පව් කරන ලදුව එකී පාපයන්ගෙන් නිර්මිත වූ දුක්ඛිත ජීවිතය ගැන අනුවේදනීය තොරුතුරු රැසක් ඉන් ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඔවුන් ඉතා දුක් සහිත ලෙස සෙම්, සොටු, ලේ, සැරව ආදිය අනුභව කරමින් ස්වකීය සාපිපාසාව නිවාගන්නට වෙහෙසෙන අයුරු හද කම්පා කරවනවා. එමෙන්ම එය කියවීමෙන් අකුසල කර්මයන් කෙරෙහි බලවත් බියක් මෙන්ම පිළිකුලක් ඇති වීම නිතැතින්ම සිදුවෙනවා. මෙහි සතර අපාය යනුවෙන් කොටසක් තියෙනවා. එය නිරය අපා දුක, අසුර අපා දුක, තිරිසන් අපා දුක, ප්‍රේත අපා දුක යනුවෙන් කොටස් හතරක් වෙයි. මේ බුදු දහමෙහි එන නිරය පිළිබඳ යම් අදහසකි.

හෙල් යන පදය කුහරය (Hole) සහ පහත් ස්ථානය (Hollow) ලෙසද හැඳින්වේ. එය සැඟවීමට යන අරුත දෙන ඇන්ග්ලෝ සැක්සන් හෙලාන් හෝ බෙහීලියන් යන අදහස හා යාවෙනවා. මෙම පදය ලතින් සහ ග්‍රීක භාෂාවල ප්‍රාථමික මූල භාෂාවලද සඳහන් වෙනවා. මෙසේ වාග්විද්‍යාත්මකව ව්‍යුත්පන්නයෙන් නිරය යන්නෙන් දැක්වෙන්නේ අඳුරු සහ සැඟවුණු ස්ථානයකි. පුරාණ නෝර්ස් මිථ්‍යා කතාවල හෙල් (Hell) යනු පාතාල ලෝකයේ සිටින අයහපත් දේවතාවියයි. වල්හල්ලාවට ඇතුළු විය හැක්කේ සටනින් ජයගන්නා අයට පමණි. ඉතිරි අයගෙන් පිරිසක් පාතාල ලෝකයේ හෙල් වෙත යැවෙනවා. නෝර්ස් මිථ්‍යාවට අනුවද හෙල් යනු දඬුවම් ලබා දෙන තැනකි.

අප්‍රිකානු මිථ්‍යාවන්ට අනුව නිරය හඳුන්වන ආකාරය පිළිබඳව අපි මඳක් විමසමු. ස්වහීලී මිථ්‍යා කතාවල නිරය කුසිමු කියලා හැඳින්වෙනවා. නැඟෙනහිර අප්‍රිකානු වෙරළ තීරයේ මුස්ලිම් වෙළෙන්දන්ගේ බලපෑම නිසා 7වැනි සහ 8වැනි සියවසේදී මේ පිළිබඳ විශ්වාසය වර්ධනය වෙලා තිබෙනවා. එය ඉතා සීතල තැනක් විධියට තමයි ඔවුන් පරිකල්පනය කරන්නේ. දාන්තේගේ දිව්‍ය ප්‍රහසනයට අනුවත් නිරයේ පහත්ම කොටස සීතල අයිස් කුට්ටියක්. ඉතලියානු චිත්‍ර ශිල්පී බොච්ටිසෙල්ලි (Sandro Botticelli) මේක ලස්සන්ට සිත්තමට නඟනවා. ආයි අපි එමු අප්‍රිකානු මිථ්‍යාවන්ට. සෙරර් ආගම ස්වර්ගය සහ නිරය පිළිබඳ සාමාන්‍ය සංකල්පය ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ට අනුව ප්‍රතික්ෂේප වීම සහ ඉබාගාතේ යන ආත්මයක් වීම යනු කෙනකුට යම් ආකාරයක අපායකි.

මළවුන්ගේ ආත්මයන් යානිව් (ආත්මයන්ගේ පූජනීය වාසස්ථානයකි) වෙත ගමන් කළ යුතු වෙනවා. මේ අවසාන ගමන යන්න පුළුවන් වන්නේ තම මුතුන් මිත්තන් පිළිගත් සහ සේරර් ධර්මයන්ට අනුකූලව මිහිමත තම ජීවිතය ගත කළ අයට පමණයි. මේ ගමන යා නොහැකි අය අතරමං වී ඉබාගාතේ යන ආත්මයන් බවට පත්වන බව ඔවුන් කියනවා. නමුත් ඔවුන් අපායේ දැවී යන්නේ නැති බවත් විශ්වාසයකි. යොරුබා පුරාවෘත්තයට අනුව නිරයේ ගින්නක් නැත. දුෂ්ට මිනිසුන් (එනම් සොරකම, මායා කර්මය, මිනීමැරුම් හෝ කෘෘරත්වයට වැරදිකරුවන් වූ පිරිස) ඔරුන් ආපාඩි නම් තැනක සිරවේ. යහපත් මිනිසුන් මුතුන් මිත්තන්ගේ රාජධානිය වන ඔරුන් බබා එනි තුළ (පියවරුන්ගේ ස්වර්ගයෙහි) සදාකාලිකවම ජීවත් වේ.

පුරාණ ඊජිප්තු මධ්‍ය රාජධානියේ ඔසිරිස් ලබ්ධියේ (Cult) නැඟීමත් සමඟ “ආගමික ප්‍රජාතන්ත්‍රවාදය” බිහි වුණා. ඒ අනුව ඔහුගේ ආගමේ අනුගාමිකයන්ට සදාකාලික ජීවන අපේක්ෂාව ලබා දුන් බව තමයි කියවෙන්නේ. සදාචාරය යම් පුද්ගලයකුගේ යෝග්‍යතාව තීරණය කිරීමේ ප්‍රමුඛ සාධකය බව ඔසිරිස් ලබ්ධියෙදි පිළිගත්තා. යම් පුද්ගලයෙක් මියයන විට දිව්‍ය විනිශ්චයකරුවන් හතළිස් දෙදෙනකුගෙන් යුතු විනිශ්චය සභාවක විනිශ්චයට මුහුණ දිය යුතු බව කියවෙනවා. ඔවුන් සත්‍යය සහ නිවැරදි ජීවිතය නියෝජනය කරන මාට් (Maat) දේවතාවියගේ ශික්ෂා පදවලට අනුකූලව ජීවිතයක් ගත කළේ නම්, එම පුද්ගලයා ස්වර්ගීය බට කෙත්වලට (Reed fields) පිළිගන්නා බව විශ්වාස කරනවා. එමෙන්ම එම පුද්ගලයා වරදකරුවෙක් බව ඔප්පු වුවහොත් “මළවුන් ගිල දමන්නා” වන අම්මිට් (Ammit) වෙත විසිකර, ගිනි විලට දමන බවද කියනවා.

ගිල දමන්නා වන අම්මිට් අල්ලා ගන්නා පුද්ගලයා පළමුව භයානක දඬුවමකට යටත් කරන අතර පසුව විනාශ කරන බවද කියවෙනවා. මෙම දඬුවම් නිරූපණය මුල් ක්‍රිස්තියානු සහ කොප්ටික් ග්‍රන්ථ හරහා නිරයේ අපාය පිළිබඳ මධ්‍යකාලීන කිතුනු ආභාසයට බලපෑවා යැයි කියන්න පුලුවන්. ඊජිප්තු පුරාවෘත්තවල හදවත කිරා බැලීම විනාශයට තුඩු දිය හැකි කරුණක් ලෙස සැලකෙනවා. ‘The Tale of Khaemwese’ හි ඒ ගැන මෙහෙම විස්තර කරනවා. ඒ කතාවෙ කියවෙන විධියට පුණ්‍ය කර්මයන්ගෙන් තොරව දිවි ගෙවූ ධනවත් පුද්ගලයෙක් මියගිය විට විඳවන වධහිංසාව සහ මියගිය දුප්පත් මිනිසකුගේ ආශීර්වාදලත් තත්ත්වය එක සමාන වෙනවා.

මේ කතාවට අනුව ඊජිප්තු දර්ශනයෙහි දේව බලපෑම ඉතා අසාධාරණ බවක් තමයි පෙන්වා දෙන්නේ. අවසන් විනිශ්චයේදී දිව්‍ය සමාව සෑම විටම පුරාණ ඊජිප්තුවරුන් සඳහා කේන්ද්‍රීය සැලකිල්ලක් වුණා. ඒ කතාවට අනුව නිරගත වීම දේව කැමැත්ත මතම තීරණය වන බවක් පෙනුණත් එයට ජීවිතය ගතකළ විධියේ කිසිදු සම්බන්ධයක් නැති බව තමයි කියවෙන්නේ. මේක ටිකක් අඳුරු යුගයේදී පල්ලියේ ක්‍රියා කලාපයන්ටත් සමානයි. පල්ලියේ පියවරුන් මුදල මත ඕනෑම ආත්මයක් පාරිශුද්ධකරණය කිරීම මේ සමඟ යාවෙනවා. නිරය පිළිබඳ ඊජිප්තු සංකල්පය පුරාණ පොත් හයක් මත රඳා පවතිනවා. The Book of Two Ways (රොසෙටාඋගෙ ද්විත්ව මාර්ගය),The Book of Amdua (පාතාලයේ සැඟවුණු කුටි පිළිබඳ පොත), The Book of Gates (ද්වාර පොත), The Book of the Dead (මළවුන්ගේ පොත), The Book of the Earth (පෘථිවියේ පොත), The Book of Caverns (ගුහා පොත) ඒ පොත් හයයි.

පුරාණ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේත් නිරය පිළිබඳව විශ්වාසයක් තිබුණු බවට සාධක ලැබෙනවා. සුමේරියානුවන්ගේ මරණින් මතු ජීවිතය අ¾දුරු ගුහාවක් වූ අතර එය පොළව යට පිහිටි ගැඹුරු තැනෙකි. එහි වැසියන් “පෘථිවි ජීවයේ සෙවණැලි මෙන් දිස්වෙන බවද විශ්වාස කෙරේ” දාන්තේ ඇලහියර් දිව්‍ය ප්‍රහසනයේදී ඉන්ෆර්නෝ නම් කොටසෙහි මළවුන් හ¾දුවන්නේද ‘Shades’ යනුවෙනි. මෙම අඳුරු තැන කුර්, ලෙස හඳුන්වන අතර එරෙෂ්කිගල් දෙවඟන පාලනය කරන බවත් විශ්වාස කරනවා.

කුර් හි ආත්මයන් වියළි දූවිලි හැර අන් කිසිවක් අනුභව නොකරන බව විශ්වාස කරනවා. මියගිය අයගේ පවුලේ සාමාජිකයන් චාරිත්‍රානුකූලව මැටි බටයක් හරහා මියගිය පුද්ගලයාගේ සොහොනට ලිබේෂන් (මධු දියර, දියර පූජා) වත් කරන්නේ මළවුන්ට පානය කිරීමට හැකිය යන විශ්වාසය තිබෙන නිසායි. මේ අවමංගල්‍ය චාරිත්‍රවල සාක්ෂි මඟින් පෙනී යන්නේ එරෙෂ්කිගල්ගේ බාල සොහොයුරිය වන ඉනානා දේවතාවියට මරණින් මතු ජීවිතයේදී ඇයගේ බැතිමතුන්ට විශේෂ අනුග්‍රහයක් පිරිනැමීමට බලය ඇති බවයි. උෟර්හි තුන්වැනි රාජවංශ සමයේදී, පුද්ගලයකුගේ මරණින් මතු ජීවිතය ඔහුව හෝ ඇයව මිහිදන් කරන ආකාරය මත රඳා පවතිනු ඇතැයි විශ්වාස කරනවා. සුඛෝපභෝගීව භූමදානය කළ අයට හොඳින් කුර්හි වාසය කළ හැකි අතර, ඉතා අල්ප පහසුකම් යටතේ භූමදානය ලබා දුන් අයට දුකින් වාසය කරනට සිදුවන බව විශ්වාස කරනවා. අදටත් අප්‍රිකා මහද්වීපයේ රටවල් මේ අති සුඛෝපභෝගී භූමදානයන් සිදුකරනවා.

කුර් වෙත පිවිසෙන ‍ෙදාරටුව අෑත පෙරදිග සැග්‍රොස් කඳුකරයේ පිහිටා ඇති බව ඔවුන්ගේ  විශ්වාසයයි. එහි ‍ෙදාරටු හතක් ඇති අතර, ඒ හරහා ආත්මය යෑම මුලින්ම සිදුවේ. එහි ‍ෙදාරටු පාලකයා නෙටි නම් දෙවි කෙනෙකි. පාතාලයේදී ඔහුගේ මූලික අරමුණ අවාසනාවන්ත මිනිසුන් කුර් වෙත ඇදගෙන යෑම බව කියනවා. ආකේඩියානු යුගයේදී, පාතාල ලෝකයේ පාලකයා ලෙස එරෙෂ්කිගල්ගේ භූමිකාව මරණයේ දෙවියා වන Nergal (කියවන්න මංජුල වෙඩිවර්ධනගේ ශුද්ධ වූ ජුදාස් කෙටි කතාව) වෙත පැවරී ඇති බවද සඳහන් වෙනවා. ආකේඩියානුවන් නර්ගල්ව එරෙෂ්කිගල්ගේ ස්වාමිපුරුෂයා කර ගනිමින් පාතාල ලෝකයේ මෙම ද්විත්ව පාලනය සමථයකට පත් කිරීමට උත්සාහ කළ බවත් පොතපතේ සඳහන් වෙනවා.

යුරෝපානු ආදිවාසී ජනයාගේ විශ්වාසයන්ට අනුව බ්‍රෙටන් මිථ්‍යා කතාවල නිරය ඇනොන් ලෙසද, සෙල්ටික් මිථ්‍යා කතාවල උෆර්න් ලෙසද, ස්ලාවික් මිථ්‍යා කතාවල පෙක්ලෝ ලෙසද, නොර්ස් මිථ්‍යාවේදී නස්ට්‍රොන්ඩ් ලෙසද හඳුන්වනවා. ජපානයේදී මෙය ජොගෝකු ලෙසද හ¾දුන්වනවා. මෙහි සම්පූර්ණ විස්තරය 1960 ආපු නොබුඕ නකගාවාගේ ජිගෝකු එහෙමත් නැත්නම් The Sinners of Hell චිත්‍රපටයේ හොඳට පෙන්වනවා.

පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරයෙත් මේ පාතාලය කියල හඳුන්වන්නේ ටාටරස්වලට කිට්ටු තැනක්. ඒක නම් ටිකක් බරපතළව කතා කරන්න ඕන මාතෘකාවක්. ග්‍රීක කතා අනුව මේක අයිති හේඩිස්ට. හේඩිස් එන්නත් කලින් ඉඳන්ම තමයි මේක පැවතිලා තිබෙනවා කියන්නේ. ටාටරස් කියන්නේ ලෝකයේ පහළ ආවරණය. ඉහළ ආවරණය වුණේ අහස. ගේයා සහ යුරේනස් ලෝකය පාලනය කරන දවසේ ඉඳන්ම මේක පැවතුණා. මුල් කාලවල මේක හැඳින්නුවේ එරෙබස් කියලා. හෙල් යන්න හේඩ්ස් නමින් බිඳී ආවාද යන්නත් ඉතා ප්‍රශ්නකාරීයි. මේකෙ ගංගා පහක් ගලනවා ඒ ගංගා බයිබලයේ එන යුප්‍රටීස්, ටයිග්‍රීස්, පෙෂොන්, ගීෂොන් වගේ ලස්සන ගංගා වගේ නම් නෙමෙයි. කොකීටස් හෙවත් කඳුළු ගඟ, ප්ලිගෙතොන් හෙවත් අග්නි ගඟ, ඇචිරොන් හෙවත් වේදනාවේ ගඟ, ස්ටයික් නම් වෛරයේ ගඟ, ලීත් හෙවත් අමතක වීමේ ගඟ තමයි මේ පංච ගංගාවන් විධියට සැලකෙන්නේ.

ඒවගේම ග්‍රීකයන්ට අනුව ඒක කොටස් තුනකට බෙදල තියෙනවා. දඬුවම් කිරීමේ අවධිය, ඇස්ෆොඩෙල් යාය, එලීසියම ඒ කොටස් තුනයි. මෙහි ප්‍රධාන සේවකයා, වෙන්නේ ටනාටෝස්. අනිත් කෙනා චැරොන්. චැරොන් තමයි මරණින් පසු ආත්මය පාතාලයට රැගෙන එන තොටියා. ග්‍රීකයන් පාතාලය ගැන දරුණුවටම විශ්වාස කරපු පිරිසක්. අපි බලමු ඉන්පස්සේ බිහිවුණු යුගය නිරය ගැන විශ්වාස කළේ කොහොමද කියලා.

දේවානුභාවයෙන් ලියවුණු ලියමන් ඉංගී්‍රසියෙන් හැඳින්වෙන්නේ බයිබල් නමිනි. එය ග්‍රීක BYBLON යන වදනින් බිඳී ආවකි. යුදෙව්වන්ගේ බයිබලය යුදෙව් ලියවිල්ලයි. ග්‍රීකයන්ගේ බයිබලය හිපිතියස් හා හෝමර්ගේ ලියැවිලියි. ඒවගේම බයිබලය ඉංගිරිසි බසට පරිවර්තනය කරන්නෙ ජේම්ස් රජතුමා. ඒ පරිවර්තනයෙහි නිරය හැට වාරයක් සඳහන් වෙලා තිබෙනවා. ක්‍රිස්තියානියෙහි එන නිරය නම් සංකල්පය ඉතා පැටලිලි සහගතයි. මෙය බහුතරක් වූ කිතුනුවන්ට පවා පැටලෙන මාතෘකාවක්. හසරත් ගුලාම් මිර්සා අහමද්ගේ නම් කතුවරයා සිය ‘ජීසස් ඉන් ඉන්දියා’ කෘතියෙහි යේසුස් දින තුනක් නිරයෙහි නොසිටි බව සඳහන් කරනවා.

පොදු කිතුනු සම්මතයට අනුව යේසුස් මියගිය පසු ස්වර්ගස්තවීම සඳහා දින තුනක් සොහොන් ගැබක සිටීම යන කරුණ නිසාවෙන් මේ මතවාදය පැමිණ තිබෙනවා. මිර්සාට අනුව නිරය යනු සොහොන් ගැබයි. මෙය බයිබලය සහ අනෙකුත් ලියකිවිලි සමඟ සසඳා බැලීමෙන් නිරවුල් කරගත යුතු කරුණකි. ‘The Wordsworth Dictionary of Beliefs of Religious’ හි පෙන්වා දෙන්නේ හීබෘෘ බසෙන් ෂෙයෝලය සහ ග්‍රීක බසෙන් හේදීසය යන්න ඉංගිරිසියෙන් හෙල් බවට පත්ව ඇති බවයි. යුදෙව්, ක්‍රිතුණු, මුසල්මානු මතය අනුව ලෝකාන්තිමයේදී අවසන් විනිශ්චයෙන් පසු පාපකාරීන් නිරගත වන අතර ධර්මිෂ්ඨයන් ස්වර්ගස්ත වන බව සඳහන් වෙනවා.

බයිබලයේ මුල් පිටපත්වල ෂෙහෝලය හා හේදිසය හැත්තෑ වරකට වඩා සඳහන් කරයි. ඒ මරණය පිළිබඳව ලියැවෙන අවස්ථාවන් තුළය. සමහර බයිබල පරිවර්තනයන් තුළ මෙය පාතාලය, පාතල ලෝකය යනුවෙන්ද හඳුන්වනවා. දේශනාකාරයාට අනුව “ඔබ අත තබන හැම කටයුත්තක්ම මුළු වීර්යයෙන් ඉටුකරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක්වත්, යෝජනාවක්වත්, දැනගැන්මවත්, ප්‍රඥාවවත් නැත” (9:10) සඳහන් වෙනවා. මෙය මිනී වළ ලෙසද ඇතැම් පරිවර්තනවල සඳහන් වෙනවා. ඒ සංකේතාත්මක අර්ථයකින්. යෙසායාහී 5–14 ට අනුව මෙසේ සඳහන් වෙනවා. “පාතාල” ලෝකය ඔවුන් ගිලින්න කට අයාගෙන සිටියි. එය යෙරුසලමේ ප්‍රභූවරුන්ද කෑ කෝ ගසන කලබලකාරී පොදු සමූහයාද ගිලගනියි” එහි අදහස දේශනාකාරයාගේ අදහසට සමාන වෙනවා.

බයිබලයේ ක්‍රියා 2:31, එළිදරව්ව 20:13, යෝබ් 14:13 උපුටන තුළ නිරය යන අදහස භාවිත වන්නේ “නැවත නැඟිටිනතුරු මියගිය පුද්ගලයා සැතපී සිටින ස්ථානය සංකේතමත් කිරීමටයි. නැවත නැඟිටීමක් නොලබන අය යන්නා වූ ස්ථානය ගෙහන්නාව යනුවෙනි. ගෙහන්නාව යනු යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ජීවන අත්දැකීම සමඟ ගත් කල ආත්මීය හුදෙකලාව, වේදනාව, අත්හරිනු ලැබීම, පාවාදීම, බිය, සංකාව යන මේ සියලු හැඟීම් හි සංකලනයකි.

මේ නම් සියල්ල එකක් නෙවෙයි. එකිනෙකට යාවෙන මහා සංකල්පයක කැබැලි බව හිතන්න පුළුවන්. ඉතින් ක්වීන් සංගීත කණ්ඩායමේ ගායක ෆ්‍රෙඩ් මර්කරි කියපු කතාවකින්ම මම මේ ලියමන අහවර කරනවා. 

“Oh, I was not made for heaven. No, I don’t want to go to heaven. Hell is much better. Think of all the interesting people you’re going to meet down there!”

“මම ස්වර්ගය සඳහා තැනූවෙක් නොවෙමි, මට ස්වර්ගයට යෑමට වුවමනාවක්ද නැත. මගේ නිරන්තර ආශක්තය නිරයටය, මන්ද මා සිත්ගන්නා සියලු චරිත මට හමුවන්නේ නිරයේ වන බැවිනි.”

ගිහාන් සචින්ත