එක පාරක් මහපාරට බැහැලා රටේ ව්‍යවස්ථාව කැඩුවොත් එදාට මේ රට ඉවරයි

0
69

ඇතැම් වෛද්‍ය සංගම් කියනවා ඉදිරි සති 03 ඇතුළත ජීවිතාරක්ෂක ඔෟෂධ සහ ජලභීතිකා රෝග ඔෟෂධය, සර්ප ප්‍රතිවිෂ රට තුළ නැතිවන බව. නමුත් ඔබ ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මෙතැනදී ජනතාව විශ්වාස කරන්න ඕන කාගේ ප්‍රකාශයද?

“මමනේ විෂය භාර ඇමැතිවරයා. මම ඒ නිසා කාටත් වඩා හොඳින් ඇත්ත තත්ත්වය දන්නවා. කොටින්ම කියනවා නම් මේ ප්‍රකාශය පට්ටපල් බොරුවක්. මේ චෝදනාව කරන අයට අවශ්‍ය නම් අපේ ගබඩා නිරීක්ෂණය කරන්න පුළුවන්. හිඟයි කියන්නේ එක වචනයක්. සම්පූර්ණයෙන් නැහැ කියන්නේ තව වචනයක්. මේ දෙක සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී තේරුම් තිබෙන වචන දෙකක්. අපි හිතමු 50,000ක් අවශ්‍ය තැනට තිබෙන්නේ 25,000යි කියලා. එතකොට ඒක හිඟයක් මිස සම්පූර්ණයෙන් නැහැ කියලා අර්ථගන්වන්න පුළුවන්ද?”

ඔබ කියන්නේ ඔවුන් කිසිම සොයා බැලීමකින් තොරව වගකීම් විරහිත ප්‍රකාශයක් රට හමුවේ තැබුවා කියලද? එහෙම කරන්න මොකක්ද ඔවුන්ට තිබෙන අවශ්‍යතාව?

“ඒක තමයි මටත් තිබෙන ප්‍රශ්නය. මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ කිරීම් තුළින් වෙන්නේ නිකරුණේ ජනතාව කුපිත කරවන එක. මෙය හිතාමතාම කරපු ප්‍රකාශයක් කියලයි මට නම් හිතන්නේ. මෙවැනි ප්‍රකාශ සමාජයටම පිළිලයක්.”

දැන් ඇමැතිතුමා කියන්නේ අපේ රටේ කිසිම ඔෟෂධ හිඟයක්  නැහැ. සෑම දෙයක්ම සර්ව සම්පූර්ණයි කියලද?

“නෑ මම එහෙම කියන්නේ නැහැ. සියලුම දේවල් අංග සම්පූර්ණයි කියලා මට කියන්නත් බැහැ. යම් අවදානමක් තිබෙන බව ඇත්ත. අපි  ඔෟෂධ ඇණවුම් කළාම ඒ ඔෟෂධ රටට ලැබෙන්න මාස 03ක 04ක කාලයක් ගතවෙනවා. ඒ නිසා තිබෙන ඔෟෂධ කළමනාකරණය කර ගැනීමට අපිට සිදුවෙනවා. එය යම් තරමක පීඩනයක්.”

දැන් ඔබ කියන ආකාරයට, ජීවිතාරක්ෂක ඔෟෂධවල හිඟයක් ඇත්තෙම නැද්ද?

“අත්‍යාවශ්‍යම ජීවිතාරක්ෂක ඔෟෂධ වර්ග 14ක් තිබෙනවා. ඒවා නැති වුණොත් ජීවිත හානි වුණත් සිදුවිය හැකියි. නමුත් ඉදිරි සති තුන ඇතුළත මේ ඔෟෂධ 14 නැත්තටම නැති වෙන්නේ නැහැ. අසාධ්‍ය රෝගියකු රෝහලට පැමිණි විට ප්‍රතිකාර නොකර ආපසු යවන තත්ත්වයක් රටේ කොහෙත්ම නැහැ.”

Anti Rabies (ජලභීතිකා ඔෟෂධ) සහ ඒදබඪඍඥදධථ (සර්ප ප්‍රතිවිෂ) රටේ අවශ්‍යතාවට සරිලන ප්‍රමාණයන්ගෙන් තිබෙනවද?

“ජීවිතාරක්ෂක ඔෟෂධ 14න් ඔබ කියන Anti Rabies සහ ඒදබඪඍඥදධථවල අඩුවක් තිබුණ බව ඇත්ත. සාමාන්‍යයෙන් ජලභීතිකා ඔෟෂධ අපිට මාසයකට 50,000ක් පමණ අවශ්‍ය වෙනවා. මේ වනවිට අපිට හැකිවෙලා තිබෙනවා ඉන්  යම් සැලකිය යුතු ප්‍රමාණයක අවශ්‍යතාවක් සපුරගන්න. ඉතිරි ප්‍රමාණයත් ඉදිරියේදී චීනයෙන් අපිට ලැබෙනවා. එතකොට සර්ප ප්‍රතිවිෂත් අපට ලැබී තිබෙනවා. ජීවිතාරක්ෂක බෙහෙත් වර්ග 14ම අපිට ඊගාව මාස 03-04 ස¼දහා හොඳටම ප්‍රමාණවත්.

තව අපිට අත්‍යවශ්‍ය වන ඔෟෂධ (vital) 650 පමණ තිබෙනවා. එයින් 52ක පමණ අඩුවක් තිබෙනවා. ඉදිරියේදී එය 200 – 225 පමණ අඩුවක් පෙන්වනවා. නමුත් අපිට ලැබෙන මූල්‍යමය ප්‍රදානයන් සහ සම්පත් අනුව එය යම්තාක් දුරට කළමනාකරණය කර ගන්න පුළුවන්.

අපි පිළිගන්නවා සුපුරුදු ආකාරයට තිබුණු ස්ටොක්ස් නැති බව. නමුත් අපිට විශ්වාසයක් තිබෙනවා අපිට ලබා දී තිබෙන සහන කාලය සහ ප්‍රමාණය, මූල්‍යමය ප්‍රදානයන් තුළ අගෝස්තු මාසයේ සිට මේ තත්ත්වය යම් සාධනීය මට්ටමකට ගෙන ඒමට හැකිවෙයි කියලා.”

Antivenom (ප්‍රතිවිෂ) ප්‍රමාණාත්මක පරිදි තිබුණා නම් සර්ප දෂ්ටනයක් නිසා දැරියක් මියගියේ කොහොමද? ඇගේ මරණයට හේතුව සර්ප ප්‍රතිවිෂ නොමැති වීම බවයි පැවැසුණේ?

“අමූලික බොරුවක්. ඒ දැරිය ජීවත් වුණේ රෝහල ඉදිරිපිට නිවෙසක. ඇයව රෝහලට ගේන්න මිනිත්තු 35ක් පමණ ගතවෙලා තිබෙනවා. ඇය රෝහලට පැමිණි වහාම Antivenom Vaccine එක ලබාදී තිබෙනවා. නමුත් බොහොම අවාසනාවන්ත විධියට ශරීර අභ්‍යන්තරය මේකට විරුද්ධ යම් ප්‍රතික්‍රියා කොට තිබෙනවා. ඒක ඇත්තටම හැමෝටම වෙන දෙයකුත් නෙවෙයි බොහෝම කලාතුරකින් වෙන දෙයක්. ඉන්පසුව පිරිටන් සීරම් එකත් දීලා තිබෙනවා. හෘදයාබාධ තත්ත්වයත් තුන්වතාවක්ම පාලනය කොට තිබෙනවා. නමුත් ප්‍රතිවිෂ ලබාදීමට විරුද්ධව දිගින් දිගටම සිරුර ප්‍රතික්‍රියා දක්වා තිබෙනවා. පාලනය කර නොගත හැකි මට්ටමේදී අවාසනාවන්ත විධියට දැරිය මියයනවා. නමුත් එයට හේතුව Antivenom නොතිබීම හෝ ලබා නොදීම නෙවෙයි. නමුත් මේ දැරිය මුහුණ දුන් තත්ත්වය අසාමාන්‍ය තත්ත්වයක්. එය සෙවීම සඳහා අමාත්‍යාංශයෙන් සහ වෛද්‍යවරු කණ්ඩායමක් පිටත්ව ගියා. ඇයට ප්‍රතිකාර දුන් ආරෝග්‍ය ශාලාවට ඉදිරියේදී ඒ සම්බන්ධ වාර්තාවක් අපිට ලබාගන්න හැකි වෙයි.”

ඔබ පැවැසුවා ඉදිරි වසර එකහමාරටම සරිලන පරිදි ඔෟෂධ ගැනීමට මුදල් ලැබුණු බව. කිව්වා වගේම ප්‍රතිඵලත් අපිට ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයිද?

“මාස එකහමාරක් වගේ කාලයක් අපිට යම් පීඩාවක් තිබෙයි. නමුත් මේ අගෝස්තුවල සිට ඉදිරි වසර එකහමාරටම බෙහෙත් ගන්න අපිට මුදල් ලැබී තිබෙනවා. වසරකට අපිට ඩොලර් මිලියන 260ක් වගේ ප්‍රමාණයක් වැය වෙනවා. දැනට අපිට ඒ හා සමානම මුදලක් ලැබී තිබෙනවා. ලැබී තිබෙන මුදල් නිසි පරිදි හසුරුවන එක තමයි දැන් තිබෙන ප්‍රධානම කටයුත්ත. ඔෟෂධ කියන දේවල් අපිට හාල්, පිටි, සීනි ගේනවා වගේ ඉවර වුණු ගමන් පිටරටවලින් ගෙනෙන්නට බැහැනේ. නිශ්චිත මට්ටමකින් ඇණවුම් කළාට පසුව මාස 03ක වගේ කාලයක් ගතවෙනවා ඔෟෂධ අපිට ලැබෙන්න. එතෙක් තිබෙන ප්‍රමාණය කළමනාකරණය කරගන්න සිදුවෙනවා.”

මේ අවුරුද්දේ පළමු කාර්තුවට අවශ්‍ය ඔෟෂධ ටික ගෙන්වන්න ණයවර ලිපි විවෘත කරන්නේ දැන්. ඒ ණයවර ලිපිවලට ඔෟෂධ ටික ලැබෙන්න තව මාස 06 / 07ක් ගතවෙයි. හිඟයකට, අඩුපාඩුවකට අවකාශය තිබෙන බව දැන දැනත් ඇයි ණයවර ලිපි විවෘත කරන්න මෙතරම් පමා වුණේ?

“අපිට විදේශ විනිමය ප්‍රශ්නයක් තිබෙනවානේ. අපි සියලු දේ සූදානම්කොට තිබුණත් ණයවර ලිපි විවෘත කිරීමේදී ලොකු ගැටලුවක් තිබුණා. ඒ නිසා තමයි ඔබ ඔය කියන ප්‍රමාදය සිදුවුණේ. ඒ ප්‍රමාදය නොතිබුණා නම් මේ ප්‍රශ්නය මේතරම් උග්‍ර වෙන්නේ නැහැ.”

රාජ්‍ය ඔෟෂධ සංස්ථාව මාස 04ක් ආනයනික ඔෟෂධ සැපයුම්කරුවන්ට මුදල් ගෙවා නැහැ. මේ වනවිට ආනයනකරුවන්ව අසාදුලේඛනගත කරන්න සූදානම් වෙනවා. එහෙම වුණොත් ඔබ කියන ආකාරයට බලාපොරොත්තු තබාගන්න පුළුවන් වෙයිද?

ඇත්තටම ඔය කතාවත් සාවද්‍ය කතාවක්. අතිශයෝක්තියෙන් ගොතපු කතාවක්. අපිට මුදල් හිඟයක් තිබෙන බව ඇත්ත. දැනට 30% පමණ අපට ලැබුණා. මේ මාසෙත් තව 30% පමණ මහ භාණ්ඩාගාරයෙන් ලැබෙන්න සලස්වනවා. නමුත් අපේ යම් ප්‍රමාදයක් තිබෙන බව පිළිගන්න වෙනවා. අපිට නිතරම රුපියල් බිලියන 3ක 4ක හිඟයක් තිබුණා. බෙහෙත් හිඟය මේ ආර්ථික අර්බුදය පැමිණීමට පෙරත් විටින් විට පැමිණුනා. නමුත් මේ තත්ත්වය තිබෙනවාට වඩා හොඳ තත්ත්වයකට ගෙනියන්න පුළුවන් කියන එක මම තරයේම විශ්වාස කරනවා.

රෝහල් පද්ධතිය තුළ ඇතැම් ඔෟෂධ මේ වනවිට හිඟ වෙමින් යනවා. මේ සඳහා හුවමාරු ක්‍රමයක් භාවිත වන බව පැවැසුණා, මොකක්ද මේ ක්‍රමය?

අපි ඒ සඳහා නවතම ක්‍රියාමාර්ගයක් අනුගමනය කොට තිබෙනවා. තිබෙන තත්ත්වයට පිළියමක් වශයෙන්. අපි “X” කියලා රෝහලක් තිබෙනවා යැයි සිතමු. “X” රෝහලේ එක්තරා ඔෟෂධයක් ක්‍රමිකව හිඟ වීගෙන එනවා නම් අපිට පුළුවන් “Y” කියන රෝහලේ එම ඔෟෂධ තිබෙන ප්‍රමාණය ගණන් බලලා යම් ප්‍රමාණයක් “X” රෝහල වෙත ලබාගන්න. මේ කටයුත්ත පසුගිය 23දා සිට ක්‍රියාත්මක වෙනවා. පැය 48ට වතාවත් රෝහල්වල ගබඩාගත ඔෟෂධ අධීක්ෂණය කිරීමක් මෙහිදී සිදුවෙනවා. මම කියන්නේ රෝහල්වල තිබෙන සෑම ඔෟෂධ තොගයක්ම පරීක්ෂා කරනවා කියන එක නෙවෙයි. අවශ්‍යතාව සහ ප්‍රමුඛතා පිළිවෙළ අනුව තමයි ඒ අධීක්ෂණය සිදුකරන්නේ. එය වෙනම ඒකකයක් හරහා තමයි සිදුවෙන්නේ.

රෝහල්වල රෝගීන්ට දෙන ආහාර වේල් සම්බන්ධව ගැටලුවක් මතුව තිබුණා. පසුගිය දිනක අඹ වෑංජනයක් සමඟ බත් ලබාදුන් බවට ප්‍රවෘත්ති පවා පළ වුණා? ඉදිරියට එයත් නැති වෙයිද?

අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධව කඩිනමින් විසඳුමකට යනවා. මේක ඇත්තටම ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මේ මාස 06 තුළ අපේ තිබෙන ප්‍රශ්න සමඟ පෝෂණ ගැටලු සහ දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණ ගැටලු අමතක කරලා වැඩ කරන්න බැහැ. එසේ කළොත් එහි බලපෑම ලැබෙන්නේ ඊගාව පරම්පරාවට. ඒ නිසා අපට කොහෙත්ම මේ ප්‍රශ්නය අතහැරලා දාන්න බැහැ. මේ ප්‍රශ්නය ඇත්තටම මෑතකදී ඉස්මතු වුණු ප්‍රශ්නයක්. මෙය නිසි ක්‍රමවේදයක් අනුව සිදුකිරීමට අවශ්‍ය ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නවා.

ඉතිරිව තිබෙන ෆයිසර්  එන්නත් ප්‍රමාණය ජූලි මස කල් ඉකුත් වන බව පැවැසෙනවා. ඒ ටික දිලා මියන්මාරයෙන් සහල් ගන්න කතාවකුත් පැතිරෙනවා. මොකක්ද මේ කතාවල ඇත්ත නැත්ත?

WHO එකෙන් එහි කාලය තව මාස 03කට දීර්ඝ කරපු නිසා ගැටලුවක් නැහැ. නමුත් ඒවා මියන්මාරයට දීලා සහල් ගන්න හදනවා කියන කතාව නම් කවුරු හෝ නිර්මාණශීලීව හදපු තවත් එක් ප්‍රබන්ධයක්. මම නිතරම කියන්නේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයත් සමඟ දේශපාලනය පටලවන්න එපා කියන එකයි. මොකද එයින් ලොකු හානියක් සිදුවෙනවා.

හරි, එතකොට මේ ඉතිරි වෙලා තිබෙන එන්නත් ප්‍රමාණයට මොකක්ද කරන්නේ?

මේ ගැන අපි නිතරම WHO එකත් සමඟ සාකච්ඡා කරනවා. කොහොමත් මේක නාස්තිවෙන්න දෙන්නේ නැහැ. මම WHO එකට කතා කළා. ඇත්තටම මෙහෙ නියෝජිතයා වන ඩොක්ටර් Alaka Sing සමඟ තමයි මම කතා කළේ. අපි රටවල් ගණනාවකට මේ ප්‍රමාණය දෙන්න සූදානම් වුණත් ඔවුන්ට ෆයිසර් එන්නත තබා ගැනීමට අවශ්‍ය පහසුකම් නැහැ.

එක් ෆයිසර් එන්නතකට ඩොලර් 6.75 වැය වුණා. මේ තරම් අතිරික්ත ප්‍රමාණයක් ගෙනාවේ නිසි පරිදි ගණන් මිනුම් බලලා වගකීමකින් නෙවෙයිද, මේ වගේ නාස්තිකාර තීන්දු තීරණ නෙවෙයිද අද මේ වැටිලා ඉන්න තත්ත්වයට පාර කැපුවේ?

හරියට ගණන් හදලා තමයි මිලියන 14ට එන්නත ගෙන්නුවේ. ඒ මොහොතේ ගෙන්නුවේ නැත්නම් ඔහොම කියන්නේ නැහැ. අපි රජයක් විධියට අපේ වගකීම ඉටු කළා. සමහර තරුණ ළමයි ඒ දවස්වල ෆයිසර් දෙන්නේ නැත්නම් අපි වැක්සීන් ගන්නේ නෑ කියලත් කිව්වා. ඒ සියල්ල සලකා බලලා තමයි හරියටම ගණන් හදලා මිලියන 14ක් ගෙන්නුවේ. ලෝකේ වෙන රටවල ජනතාව අපිට එන්නත් දෙන්න කියලා රජයන් පසුපස යන විට අපේ රජය ජනතාව පිටුපස හඹාගෙන ගිහිල්ලයි එන්නත් දුන්නේ.

ඒ දවස්වල ෆයිසර් එන්නත හරියට රත්රන් වගේ හැමෝටම දුන්නෙත් නැහැ. ඔබ කියන ආකාරයට හරියටම ගණන් මිනුම් බැලුවා නම් කොහොමද මෙහෙම ඉතිරි වුණේ?

ඔබ කිව්වා හරියටම හරි ෆයිසර් රත්රන් වගේ වුණා. මොකද ඒ මොහොතේ ලෝකයේ වැඩිම ඉල්ලීම තිබුණේ ෆයිසර්වලට නිසා. අපිත් ඒ නිසයි ෆයිසර් ගෙන්නුවේ. මෙතැන තිබෙන්නේ හරියට ගණන් මිනුම් නොබලපු ප්‍රශ්නයක් නෙවෙයි. ගොඩක් අය ෆයිසර් ගැහුවේ නැහැ. වැක්සීන් දෙකක් ගැහුවට පසුව අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට පුළුවන් වුණා Covid-19  තත්ත්වය ඉතා දක්ෂ ලෙස පාලනය කිරීමට. ඒ නිසා බොහෝ දෙනෙක් තුන්වැනි මාත්‍රාව විධියට දුන්න ෆයිසර් එන්නත ගන්න ආවේ නැහැ. ඒකයි මේ ප්‍රමාණය ඉතිරි වුණේ.

ඔෟෂධ ලියාපදිංචි කිරීම සඳහා මේ වනවිට ජාතික ඔෟෂධ නියාමන අධිකාරියට ලේඛන 5,000ක් පමණ භාරදී තිබෙන බවත් තවත් ඉල්ලීම් 15,000ක් පමණ තිබෙන බවත් පැවැසෙනවා?

ඇත්තටම ඔව්. මම මේවා සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකළා. නමුත් මට ඒ පාර්ශ්වයෙන් සහ ආයතනවල යම් යම් පුද්ගලයන්ගෙන් යම් පීඩනයක් එල්ල වුණා. නමුත් මට පීඩාවන්ට සහ පීඩනයන්ට ඔරොත්තු දීමේ හොඳ හැකියාවක් තිබෙනවා.

නමුත් මේ එකකටවත් අතක්වත් තබා නැහැ. එමඟින් රටට ඩොලර් මිලියන 25ක් වැනි මුදලක් අහිමි වෙනවා. මේ වගේ අර්බුදකාරී වටපිටාවකදී අතේ තිබෙන දේ කටට දමාගන්න උත්සාහ නොදරන්නේ ඇයි?

එතැන ප්‍රශ්නයක් තිබෙන බව ඇත්ත. ඒ ගැන සමාජයේ යම් කතාබහක් තිබෙන බවත් ඇත්ත. මම ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ තිබෙන ප්‍රශ්න ටික විසඳලා ඉදිරියට ගෙනයෑමට පුළුවන් උපරිමයෙන් කටයුතු කරනවා. මම මේ මොහොතේ බොහොම සතුටින් නිහතමානීව ප්‍රකාශ කරනවා මේ කටයුතු කඩිනම් කරවන්න කටයුතු කරන බව. එය සම්පූර්ණයෙන්ම කරන්න මට හැකිවෙයිද මම දන්නේ නැහැ. මේ වනවිට ලංකාව තුළ කෙරෙන ඔෟෂධ නිෂ්පාදන ප්‍රමාණය 20% වැනි ප්‍රතිශතයක තමයි තිබෙන්නේ. එය 40% වැනි ප්‍රතිශතයක් දක්වා වැඩි කරන්නත් මම උපරිම උත්සාහ කරනවා.

ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ තනතුරු දරන පුද්ගලයන් සම්බන්ධවත් විවිධ චෝදනා තිබෙනවා නේද?

තනතුරු කිව්වේ?

සභාපතිවරයාට සුදුසුකම් නැති බව කියැවෙනවා. මිල නියම කිරීමේ කමිටුවේ සිටින තවත් තනතුරුධාරිනියක් WHO උපදේශක මඬුල්ලේ සිටි බවක් පැවැසුවත් එය අසත්‍යයක් බවත් පැවැසෙනවා. මේවා නිවැරදි කිරීමක් සම්බන්ධයෙන් ඔබ කටයුතු කරනවාද?

ඔව්. ඒ වෙනස්කම්, නිවැරදි කිරීම් අනිවාර්යයෙන්ම ඉදිරියේදී වෙයි. ඔවුන්ගේ සුදුසුකම්, නුසුදුසුකම් ගැන දැන් ඇත්තටම කතා කරලා පලක් නැහැ. මොකද ඔවුන් මෙතුවක් කල් ඔතැන සිටියනේ. මේ වනවිට ඒ සියලුදෙනාම ඉවත් කොට අවසන්. මේ ලිපිය පළවන දිනය වනවිට අලුතෙන් පත්වූ අය ගැන දැනගන්නට ලැබේවි.

මීට වසර දෙකහමාරකට පෙර රසායනික පරීක්ෂණවලින් තහවුරු නොකරපු පිළිකා ඔෟෂධ තොගයක් රුසියාවෙන් මෙරටට ගෙනාවා. ඒ සඳහා රුපියල් බිලියන 3.8ක් වැයවුණා. මේවා ගැන විමර්ශන කරනවා කිව්වට අද වනතෙක් කිසිවෙක් කතා කරන්නේ නැහැ?

ඔය කාරණය පමණක් නෙවෙයි ඇත්තටම ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ කටයුතුවල යම් පසුබෑමක් තිබෙනවා නම් ඒවා සම්බන්ධව ප්‍රගතිශීලීව කටයුතු කරන්නටත් මේ තිබෙන අඩුපාඩු නිවැරදි කොට සෞඛ්‍ය ක්ෂේත්‍රයට වඩා ඵලදායී දෙයක් කිරීමට ඉඩක් තිබෙනවා කියන එක මම විශ්වාස කරනවා.

රාජ්‍ය සේවක වැටුප් කප්පාදු නොකරන බව අගමැතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා පැවැසුවා. නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට චක්‍රලේඛයන් යවා තිබෙන බව පැවැසෙනවා?

මුලින් එවැනි අදහසක් තිබුණා. මහ භාණ්ඩාගාරයෙන් සහ මුදල් අමාත්‍යාංශයෙන් එවැනි චක්‍රලේඛයක් එවා තිබුණා. එම චක්‍රලේඛයේ ඇතැම් කොටස්වල පැහැදිලි බවේ යම් අඩුවක් තිබුණු බව ඇත්ත. මේ වනවිට එය නිවැරැදි කොට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට එය බලනොපාන ආකාරයට කටයුතු කරන්න තීරණය කොට තිබෙනවා. මම මේ සම්බන්ධව පෞද්ගලිකව මුදල් අමාත්‍ය සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කතා කළා. මගේ ඉල්ලීමට එතුමා එක හ¾ඩින්ම කැමැත්ත පළ කළා. එතුමා පැවැසුවා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට බලනොපාන ආකාරයට එය ඉවත් කරමු කියලා.

දවසින් දවස පෝලිම්වල දිග වැඩි වෙනවා, රටේ ආර්ථික ප්‍රශ්න තීව්‍ර වෙනවා. අනෙක් පැත්තෙන් ආණ්ඩුවට ගෙදර යන්න කියනවා, සර්ව පාක්ෂික ආණ්ඩු ඉල්ලනවා, මෙහෙම ගියොත් රටට මොකද වෙන්නේ?

රටක ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ක්‍රමවේදයක් තිබෙනවා. ඒ නිසා තමයි ජනතා පරමාධිපත්‍යයෙන් ආණ්ඩුවක් වසර 5, 6 හෝ පිහිටුවන්නේ. නමුත් රටට යම් කිසි බරපතළ ප්‍රශ්නයක් පැනනැඟුණාම පවතින ආණ්ඩුවට යන්න කියනවා. එවිට විපක්ෂයට ආණ්ඩුව බාර ගන්න කියන යෝජනාව අපි කරපු බව රටම දන්නවා. නමුත් කවුරුත් මේක භාරගන්න සූදානම් වෙන්නෙත් නැත්නම් කුමන හෝ පාලන ඒකකයක් රටේ ක්‍රියාත්මක වෙන්න ඕනනේ. සර්වපාක්ෂික ආණ්ඩු හැදුවා කියලා රටේ ඩොලර් අච්චු ගැසෙන්නේ නැහැනේ.

රටකට ව්‍යවස්ථාවක් තිබෙනවා. ඒ ව්‍යවස්ථාවට අනුකූලව තමයි සියල්ල විය යුතු. එක පාරක් මහපාරට බැහැලා රටේ ව්‍යවස්ථාව කැඩුවොත් එදාට මේ රට ඉවරයි. ලෝකයේ ව්‍යවස්ථා කඩපු රටවලින් එක රටක් නම් කරන්න තිබුණට වඩා යහපත් තැනකට ගමන් කරපු. කිසිම රටක් නෑ. කෑලි කෑලි කැඩිලා ඒ රටවල් නන්නත්තාර වුණා. ඒ නිසා ව්‍යවස්ථාව කඩනවා කියන්නේ ඉතාම භායනක දෙයක්. ව්‍යවස්ථා රාමුව තුළ ඕනෑම සටනක් කරගෙන යන්න පුළුවන්. සමහරු කියනවා 225ම පලයල්ලා කියලා. හරි, ගියා කියමුකෝ කවුද එතකොට වගකීම භාර ගන්නේ?

ජ.වි.පෙ. සහ ස.ජ.බ. පැවැසුවා ආණ්ඩුව ඉවත් වෙන ඕනෑම මොහොතක ඔවුන් මේ ආණ්ඩුව සහ රට භාරගන්න සූදානම් බව?

ජ.වි.පෙ. කියන්නේ රටේ ජනතාවගෙන් බහුතරයක් ප්‍රතික්ෂේප කරපු පක්ෂයක්නේ. අවසානයේ ඔවුන් 3%ටම බැස්සානේ. එහෙම පාර්ශ්වයකට දැන් නැඟිටලා කියන්න පුළුවන්ද දැන් රට ඉල්ලන්නේ අපිවයි කියලා. මොකක්ද දෙන්න පුළුවන් තක්සේරුව. එහෙම නම් මැතිවරණයකට යන්න ඕනෑ. නමුත් මේ වගේ මොහොතක මැතිවරණයකට යන්න හැකියාවක් නැහැ. එහෙම යෑමට හැකියාවක් නැති බව හොඳින්ම දැන දැනත් ජ.වි.පෙ. රට ගිනි තියන එකනම් හරිම අසාධාරණයි.

විපක්ෂය පමණක් නෙවෙයිනේ ඇමැතිතුමා ඔබලාගෙම පාර්ශ්වයේ සිටින හවුල්කාර පක්ෂ එකමුතුවත් කියන්නේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකට අවතීර්ණ වෙන්න කියලනේ?

සර්වපාක්ෂික කියන එක තුළම ප්‍රධාන විපක්ෂයකට එකතු විය යුතු නැද්ද? ප්‍රධාන විපක්ෂයට ගිහින් කිව්වනේ මේක භාර ගන්න කියලා. නමුත් ඔවුන් බැහැ කියලා කිව්වනේ. නමුත් භාර ගන්න කෙනෙක් ඉදිරිපත් වුණාට පසුව අගමැතිකමේ දිවුරුම් දෙනවිට ලිපියක් එනවා දැන් නම් අපි භාරගන්න කැමැතියි කියලා. එතකොට අපි අර කරන දේ නවත්වලා ඒකට ඉඩ දෙන්න ඕනද, රජයක් විධියට අපිට රටට විහිළු සපයන්න බැහැනේ. කවුරු හරි මේක පාලනය කරන්න ඕනෑනේ. රටට ඕනෑ දෙයක් වුණාවේ කියලා අපිට මේක දාලා දුවන්න බැහැනේ.

මේක පාලනය කරන සුක්කානම කවුරුහරි අතට ගන්නම වෙනවා. නැවකට කැප්ටන් කෙනෙක් ඉන්නම ඕනෑ. නැව ගිලෙනවා කියලා කට්ටියවම දාලා කැප්ටන් Dinghy boat එකක නැඟලා ගිහින් හරියන්නේ නැහැනේ.

හැබැයි ඉතින් නැව මේ තරම්ම ගිලෙන තැනට පත්කළේ වර්තමාන කැප්ටන් කියලයි මිනිස්සු නම් කියන්නේ?

වෙන්න පුළුවන්. වැරදුණා නම් ඒක නිවැරැදි කරන්නත් ගිලෙන සිදුරු වහන්නත් කැප්ටන් ඇතුළු නැවේ ඉන්න පිරිස දැනගන්න ඕනෑ.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වැඩේ ගොඩදායි කියලා ආණ්ඩුවේ සමහරු අතිශයෝක්තියෙන් කියනවා. ඔබත් එහෙම හිතනවද?

මම හිතනවා අපි සාමූහිකව වැඩ කළ යුතු බව. අපිට මේ වගේ අවස්ථාවලදී විවිධ පුද්ගලයෝ වැදගත් වෙනවා. ඒ ඒ අයට විවිධ හැකියාවන් තිබෙන්නට පුළුවන්. එහෙම නැහැයි කියන්න බැහැ. මම දන්නේ නැහැ අග්‍රාමාත්‍යවරයාගේ තක්සේරුව හරිද වැරැදිද කියලා. නමුත් ඒක පිළිගන්න සාධකයක් තිබුණා අගමැතිතුමා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවකට අවතීර්ණ වීමේ හැකියාවක් තිබෙන බවට.

පාර්ලිමේන්තුව තුළ පළමු පැයේදී කට්ටිය කියන කතා ටික අහගෙන ඉන්නකෝ. පිස්සන් කොටුවකට ටිකක් සමාන සමාන්තරතාවක දුවනවා. මම මේ කියන්නේ මගේ අත්දැකීම. මේ අය කතා කරන්නෙම දේශපාලනිකව ද්වේශ සහගතව. බොහෝ දෙනෙක් කතා කරන්නේ අනෙකාව පාගලා දාලා මම එතැනට එන්නේ කොහොමද කියන අභිලාෂය පෙරදැරිව.

අරුණි මල්ලවආරච්චි

ඡායාරූප – අමිත තෙන්නකෝන්