අමෙරිකාවෙන් ‌ඉතිහාසගත තීරණයක්: ‘අවි ගත්තෝ අවියෙන් ම නසින’ බව අමෙරිකාවට දැන්වත් තේරිලා ද?

0
1763

ගිනිඅවි හේතුවෙන් සිදුවන ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාව ගිනිඅවි පාලන පනත් කෙටුම්පතක් සම්මත කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය දශක තුනකට ආසන්න කාලයක් තුළ ගිනිඅවි සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය ගත් වැදගත් ම තීරණය බව ය.

මෙම කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනට් සභිකයින් 50 දෙනා ම සහ රිපබ්ලිකන් පක්ෂයේ සභිකයින් 15 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇත.

පසුගිය මාසයේ නිව් යෝර්ක් නුවර සුපිරි වෙළඳසලක සහ ටෙක්සාස් ප්‍රාන්තයේ උවාල්ඩේහි ප්‍රාථමික පාසලක සිදුවූ සමූහ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 31 දෙනෙකු මිය යාමෙන් අනතුරුව ගිනිඅවි සම්බන්ධයෙන් වන නීති සංශෝධනය කිරීමට එක්සත් ජනපදයේ අවධානය යොමු වී තිබිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කෙටුම්පත සම්මත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ජනාධිපති බයිඩ්න් ඊට අත්සන් කිරීමට පෙර පනත එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එය සම්මත කළ යුතු ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දින කිහිපයක් ඇතුළත එය සිදුවනු ඇති බව ය.

මේ හරහා වයස අවුරුදු 21ට අඩු ගිනිඅවි ගැණුම්කරුවන් පිළිබඳව දැඩි පසුබිම් පරීක්‍ෂා කිරීම් සිදු කෙරෙනු ඇත.

එමෙන් ම, මානසික සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහ පාසල් ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම් සඳහා ඩොලර් බිලියන 15ක අරමුදල් සැපයීම ද සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

තර්ජනයක් ලෙස සලකනු ලබන පුද්ගලයන්ගෙන් ගිනි අවි ඉවත් කිරීම සඳහා “රතු කොඩි” නීති ක්‍රියාත්මක කිරීමට ප්‍රාන්ත දිරිමත් කිරීම සඳහා අරමුදල් සැපයීම ද එමගින් සිදුවනු ඇත.