සොෆ්ට් ලිකර් බලපත්‍ර වැඩේ දෙල් වෙයි

0
113

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා මෙතෙක් කලක් මද්‍යසාර බලපත් ලබා නොදුන් කුඩා පරිමාණ සංචාරක නිවාඩු නිකේතනවලට මෘදු මද්‍යසාර බලපත් (soft liquor) ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යළිත් සලකා බැලිය යුතු බව දුම්කොළ  හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය සමාධි රාජපක්ෂ “මව්බිම”ට පැවැසීය.

විදේශිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ අරමුණින් කුඩා පරිමාණ සංචාරක නිවාඩු නිකේතන පවත්වාගෙන යන පිරිස් වෙත කැබිනට් අනුමැතියද සහිතව මෘදු මත්පැන් බලපත් ලබාදීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර මෘදු මද්‍යසාර බලපත් පිළිබඳ පැහැදිලි නිර්ණායකයක් නිකුත් කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

බීර මෘදු මද්‍යසාර ගණයට අයත් වුවද එහි මද්‍යසාර ප්‍රතිශතය 4.8%ක් පමණ වන බවත් ඒ හේතුවෙන් මෘදු මද්‍යසාර බලපත් ලබාදීමේදී ඒවා වර්ග කෙරෙන නිර්ණායක සලකා බැලෙන ආකාරය පිළිබඳව පැහැදිලි කළ යුතු බවත්  හෙතෙම පැවැසීය.

මෙතෙක් මද්‍යසාර බලපත් ලබා නොගත් සංචාරක අධිකාරියේ  අනුමැතිය ලත් කුඩා සංචාරක නිකේතන හාරදහසක් පමණ මෙරට සංචාරක නගර කේන්ද්‍ර කොට ගනිමින් පිහිටා ඇති බවත් ඒවා සඳහා මේ අයුරින් බලපත් නිකුත් කිරීමට සූදානම් වන බවත් විශේෂඥ වෛද්‍ය සමාධි රාජපක්ෂ සඳහන් කළේය.

ඩොලර් හිඟය පියවා ගැනීමට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට මෙවැනි දෑ කිරීමට විරුද්ධ නොවුණද ඒවා ක්‍රියාත්මක කිරීමේදී නිසි නියාමනයක් සහිතව ක්‍රියාවට නංවන්නැයිද ඔහු ඉල්ලීමක් කළේය.

විදේශිකයන් ඉලක්ක කර ගනිමින් මෙය ක්‍රියාවට නැංවීමට සැලසුම්  කළද බොහෝ විදේශිකයන් නිර්මාංසී හා අමද්‍යප ප්‍රතිපත්ති අනුගමනය කරන බවක් නිරීක්ෂණය වී ඇති නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන්නැයිද හෙතෙම කීය.

මද්‍යසාර බලපත් නිකුත් කිරීමේදී එම අලෙවිසල හෝ නිවාඩු නිකේතන අවට මීටර් 500 ඇතුළත පාසලක්, පෙර පාසලක්, පූජනීය ස්ථානයක්, ආදිය පවතිනවාද යන්නත් අධ්‍යයනයක් කළ යුතු බවද ඔහු තවදුරටත් පැවැසීය.

සවනි ශේශාධි