ශ්‍රී ලංකාව අදත් දිනුවොත් 8 සිට 7ට

0
254

තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා අවසන් මෙන්ම පස්වැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී අද (24දා) දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.

මේ වනවිටත් තරගාවලිය 3-1ක් ලෙස ජය ලබා ඇති ශ්‍රී ලංකා පිල අද තරගයත් ජයගෙන කැන්ගරුවන්ට කලකට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට පිඹුරුපත් සකසා ඇති බවට සැක නැත. ලසිත් මාලිංගගේ උපායශීලී ක්‍රමෝපායන්ගෙන් සද්දන්තව සිටින ශ්‍රී ලංකා පිල අවශ්‍ය ශක්තියෙන් හා නිරවුල් මානසිකත්වයෙන් දැනටමත් පෝෂිතව සිටින බැවින්  එම දස්කම කිරීමට හැකියාවක් පවතී.

එහෙත් ලොව ශේ්‍රණිගත කිරීම්හි ඉහළ ස්ථානයක පසුවන එක්දින හා විස්සයි-20 ලෝක ශූර කණ්ඩායමක් වන ඕස්ට්‍රේලියාව තමන්ට හිමිව ඇති එම ගෞරවනීය ස්ථානය ආරක්‍ෂා කරගැනීම සඳහා මෙම තරගය ජයගැනීමට මාන බලනු ඇත.

කෙසේ වෙතත් මෙම එක්දින තරගාවලියට පෙර සිවුවැනි තැන සිටි ඕස්ට්‍රේලියානුවන් තරග 3-1ක් ලෙස පරාජය වී ඇති බැවින් මේවනවිට ශේ්‍රණිගත ලකුණු 99ක් ලබා 5 වැනි තැනටත් අද තරගයෙන් පරාජය වුවහොත් ශේ්‍රණිගත ලකුණු 97ක් ලබා 6 වැනි තැනටත් (දකුණු අප්‍රිකානුවන්ට පසුපසින්) පල්ලම් බැසීමට සිදුවෙයි.

එසේම එක්දින තරගාවලියට පෙර ශේ්‍රණිගත ලකුණු 87ක් ලබා අටවැනි තැන සිටි ශ්‍රී ලංකාව අද තරගයත් ජයගතහොත් ශේ්‍රණිගත ලකුණු 95ක් ලබා බංග්ලාදේශය අභිභවමින් 7 වැනි තැනට පත්වීමට අවකාශය සැලසී තිබීමද විශේෂත්වයකි.

මේ අතර ඕස්ට්‍රේලියානු පිලේ ට්‍රැවිස් හෙඩ් ආබාධයක් හේතුවෙන් සිවුවැනි තරගයෙන් ඉවත්වීමට සිදුව ඇති හෙයින් ඔවුන්ට තවත් පිතිකරුවකුගේ හෝ තුන් ඉරියව් ක්‍රීඩකයකු සොයා ගැනීමට සිදුව ඇති නමුත් අද තරගයේදී ශ්‍රී ලංකා පිලෙහි කිසිදු වෙනස්කමක් සිදුනොවනු ඇතැයිද දැනගන්නට ඇත.

විචිත්‍ර වීරසිංහ