රුසියානු තානාපති මෛත්‍රීගෙන් කළ ඉල්ලීම

0
594

තෙල් අර්බුදය සහ පොහොර ගැටලුව පිළිබඳව ශ්‍රී ලංකාව වඩා ත් උනන්දුවෙන් හා කැපවීමෙන් කටයුතු කරන්නේ නම්, ඒ පිළිබඳව රුසියාවට වඩා ත් සක්‍රියව දායකත්වය සැපයීමට හැකි යැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටෙරි පැවසීය.

ශ්‍රී ලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා මෙරට රුසියානු තානාපති අතර ඊයේ (ජූනි 22) පැවති හමුවකදී හෙතෙම මේ බව සඳහන් කර ඇත.

මෙරට උද්ගතව ඇති තෙල් සහ පොහොර අර්බුදය සම්බන්ධයෙන් රුසියාවට ඉතා සාධනීයව සලකා බැලීමට හැකි බව ත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් යහපත් මැදිහත්වීමක් තවමත් දක්නට නොලැබෙන බව ත් තානාපතිවරයා හිටපු ජනපති හමුවේ පවසා තිබේ.

රුසියානු Aeroflot ගුවන් යානය පිළිබඳව ඇතිවී තිබුණු මතභේදාත්මක තත්ත්වය සමථය කිරීමේ අරමුණින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට යොමු කරන ලද ලිපියට රුසියානු ජනපති යොමු කළ පිළිතුරු පණිවුඩය ද මෙහිදී තානාපතිවරයා හිටපු ජනපති හමුවේ ප්‍රකාශ කොට ඇත.

ඉකුත් ජුනි මස 2 වන දා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී Aeroflot ගුවන් යානය රඳවා තබා ගැනීමෙන් පසු අත්හිටුවන ලද Aeroflot ගුවන් ගමන් නැවතත් ආරම්භ කිරීමේ ගැටලුව පිළිබඳව රුසියාවේ අදාළ ආයතන සහ ගුවන් සමාගම් සලකා බලමින් සිටින බව රුසියානු ජනපති යොමුකළ පණිවුඩයේ සඳහන් ය.

මෙවැනි සිදුවීමක් නැවත ඇති නොවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පාර්ශ්වයෙන් ලබාදෙන ලිඛිත සහතික කිරීමක් සමඟ ඒ පිළිබඳව සලකා බැලෙනු ඇති බව ත් එම පණිවුඩයෙන් රුසියානු ජනාධිපති අවධාරණය කොට තිබේ.

එම කාරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ රජය සමග සාකච්ඡා කොට සාධනීය පිළිතුරක් දෙනු ඇතැයි රුසියානු රජය අපේක්‍ෂා කරන බව ද රුසියානු තානාපතිවරයා හිටපු ජනපති හමුවේ පවසා ඇත.

එමෙන් ම Aeroflot ගුවන් ගමන් නැවතත් ආරම්භ කිරීමට අවශ්‍ය වන ලිඛිත සහතිකය ඉතා ඉක්මනින් ලබාගැනීමට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මැදිහත්වනු ඇතැයි අපේක්‍ෂා කරන බව පැවසූ තානාපතිවරයා ඉතා ඉක්මනින් එම සහතිකය ලබාගැනීමට මැදිහත් වන ලෙසද හිටපු ජනාධිපතිගෙන් ඉල්ලීමක් කොට තිබේ.

21 වන සංශෝධනය සහ සර්ව පාක්‍ෂික ආණ්ඩුවේ අපේක්‍ෂා කරන ව්‍යුහය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව ඇත.