මූල්‍යාධාර ගැන කතා කරන්න ඉන්දීය විශේෂ දූත පිරිස දිවයිනට

0
138

ශ්‍රී ලංකාවට තවදුරට ත් මූල්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) මහතා ඇතුළු තවත් ඉන්දීය රජයේ උසස් නිලධාරීන් තිදෙනකු අද (ජූනි 23) දින උදෑසන මෙරටට පැමිණ තිබේ.

ඔවුන් අද දින උදෑසන 09.20ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය රජයට අයත් K-3603 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිට තිබේ.

ඔවුන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ ශ්‍රී ලාංකික දේශපාලනඥයින් පිරිසක් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත ය.

ඉන්දීය දූත පිරිස සංචාරය නිම කර අද සවස 06.00ට පමණ ආපසු ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිත ය.

ටී.කේ.ජී. කපිල – කටුනායක