“තව සති 3කින් තියෙන අත්‍යවශ්‍ය බෙහෙත් ටිකත් ඉවරයි: ජලභීතිකා – සර්ප විෂ එන්නත් නැතිව දැනටමත් 20ක් මිය ගිහින්”

0
154

ඉදිරි සති තුන ඇතුළතදී රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල බරපතළ හිඟයක් නිර්මාණය වන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක පැවසීය.

දැනට ඇතැම් ඖෂධ සඳහා භාවිත කරන ආදේශක ඖෂධ වර්ග ද ඉදිරි සති 3 ඇතුළතදී රෝහල් පද්ධතියෙන් අවසන් වනු ඇතැයි සභාපතිවරයා සඳහන් කළේ ය.

යම් රෝහලක් තොග ගබඩාවලින් ඖෂධ ඇණවුම් කළ විට සියයට විස්සක ප්‍රමාණයක් දැනට ලබාදෙන බව පැවසූ දසනායක මහතා එම ප්‍රමාණය ද ඉදිරි දින කිහිපයේදී අවසන් වනු ඇතැයි කීවේ ය.

දැනට රෝහල්වලින් තෝරාගත් රෝගීන්ට පමණක් ඖෂධ දෙන බව ත්, එහිදී වයසින් වැඩි රෝගීන්ට වඩා තරුණ රෝගීන්ට ප්‍රමුඛත්වය දෙන බව ත් සභාපතිවරයා පැවසීය.

සුනඛයන් සපා කෑමකදී ලබාදෙන එන්නත් දෙකම හිඟවී තිබෙන බව ත්, සර්ප විෂට අදාළ ප්‍රතිසර්ප විෂ එන්නත හිඟවී තිබෙන බව ත් පැවසූ දසනායක මහතා ඒ හේතුවෙන් පසුගිය කාලය තුළ රටපුරා 20 දෙනෙකු මියගොස් තිබෙන බව පැවසීය.

ප්‍රතිජීවක වර්ග, කුඩා දරුවන්ට ලබා දෙන සිරප් වර්ග, දණහිසේ වේදනාවට ගන්නා වේදනා නාශක ආලේපනවල හිඟයක් ද පවතින බව හෙතෙම සඳහන් කළේ ය.

දැනට රෝහල්වල රෝගීන්ගේ ශල්‍යකර්ම කටයුතු සීමා කර තිබෙන බව පැවසූ දසනායක මහතා ශල්‍යකර්ම කිරීමට අවශ්‍ය සැත්කම් පිහි සහ පිහි රඳවන ආධාරක, ශල්‍ය තුවාල මැසීමට භාවිත කරන තන්තු වර්ගවල හිඟයක් ද පවතින බව කීය.

  • අමිත් මධුරංග ගමගේ