හැටන් ‘දරවල වත්ත’ ගින්න 20ක් අවතැන් කරයි

0
23

හැටන් දික්ඔය වතු යායට අයත් දරවල වත්ත පහළ කොටසේ වතු නිවාස පේළියක ඊයේ (22දා) උදෑසන 10ට පමණ හටගත් ගින්නකින් වතු නිවාස හතරකට අර්ධ වශයෙන් හානි වී ඇති බවත්, පැතිර ගිය ගින්න පාලනය කිරීමට හැකි වූ බවත් හැටන් මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතා පැවැසීය.

වතු නිවාස 12කින් පමණ සමන්විත එම වතු නිවාස පේළියේ එක් නිවෙසක වහල මත හටගත් ගින්න සෙසු නිවාසවලට පැතිර ගිය බවත්, ගින්නෙන් කිසිවකුටත් අනතුරක් වී නොමැති බවත් පොලිසිය පැවැසීය.

පැතිර යමින් තිබූ ගින්න වතු කම්කරුවන්, හැටන් පොලිසියේ නිලධාරීන් සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව පාලනය කිරීමට සමත් වී ඇත.

ගින්නෙන් අවතැන් වූ පවුල් හතරකට අයත් සාමාජිකයන් 20 දෙනකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත.

ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට විශ්වාස කරන බව ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය කීය.

නොර්වුඩ් _ නීටා පත්ම කුමාරි, වටවල – සී.ඩී.එච්. හේවගේ