IMF හාදකමට අරගලකරුවන් හරස් වෙයිද?

0
184

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මවුබිමට පැමිණ සිටිති. ආර්ථික අර්බුදයක සිටින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ඉල්ලා ඇති අතර ආයතනික වශයෙන් එයට එකඟ වී තිබේ. එහි තාක්ෂණික අවශ්‍යතාව නියෝජිත පිරිස සලකා බලනු ඇති බව දැක්වේ. ගෙවුම් ශේෂය සම්බන්ධ ගැටලු ඉදිරියේ මෙවැනි සහායක් ඉල්ලා සිටින දහහත්වැනි  වතාව බව වාර්තා දක්වයි. දශක හතක කාලයක් තුළ ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුම ආර්ථික ගැටලුව මෙය බව විශේෂඥයෝ පෙන්වා දෙති. ඉන්ධන, බලශක්තිය වැනි අංශවලින් ඇරඹුණ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය ආහාර හා ඔෟෂධ යනාදිය දක්වා පැතිර ඇති අතර තත්ත්වය පාලනය කරගැනීමේ ක්ෂණික පියවරක් වශයෙන් වැඩකරන ඵන ගනන හතරකට සීමා කිරීමට සිදුවිය.

අදූරදර්ශී දේශපාලන ක්‍රියාකාරකම් අවසානයේදී ජනතාව දැනට මුහුණදී සිටින ව්‍යසනයට තල්ලු වී ඇති බවට චෝදනා කරන ජනී ජනයා ගාලුමුව‍ෙදාර ප්‍රදේශය ඇතුළු රටේ තැන් තැන්වල අඛණ්ඩ අරගලයක් පවත්වාගෙන යයි. ගැටුම් හා ප්‍රචණ්ඩ ක්‍රියා වරින් වර වාර්තා වන අතර මඟ දිගට ඇති පෝලිම්වල සිටින ජනතාව මහත් ආවේගයෙන් සිටින බව නිරීක්ෂණය කළ හැකිය. රටට පැමිණ සිටින මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සාමාන්‍ය ජනතාව සහ අරගලකරුවන් සමඟද සාකච්ඡා කළ යුතු බව පෙනේ. හදිසි තත්ත්වය මැද සංචිත උපයාගත හැකි නමුත් විරෝධතාකරුවන් නොසලකා හැර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවලට පැමිණීම අවදානම් සහගත විය හැකිය.

අරගලකරුවන් මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලට

බහු පාර්ශ්වීය ණය යෝජනා ක්‍රම හෝ ආධාර සඳහා ගෙන යන සාකච්ඡාවලට මහජන නියෝජිතයන්ගෙන් බැහැර පිරිස් සහභාගි කරගැනීමේ සීමාවක් ඇත. රජය සමඟ ගිවිසුමකට පැමිණිය හැකිය. රාජ්‍ය නොවන සංවිධානවල මතය අවධානයට ගැනේ. මාධ්‍ය මඟින් මතු කරන කරුණු ජනතා අදහස් වශයෙන් ගැනේ. අවසාන වාර්තා සැකසීමේදී රජය, විපක්ෂය හා සෙසු පාර්ශ්ව දක්වන අදහස් සමාලෝචනය කෙරේ. මූල්‍ය අරමුදල රජය සමඟ ගෙන යන තාවකාලික ණය සංචිතයක් සැපැයීමේ ක්‍රියාවලිය අරභයා අරගලයේ මතයද වැදගත් විය හැකිය. එහි නියෝජිතයන්ගේ අදහස් එකතුකර ගැනීම පහසු නැත.

කණ්ඩායම තුළ පරස්පර අදහස් තිබේ. රට තුළ පවතින අපහසුතා සලකන පසු යක්ෂයාගෙන් හෝ විනිමය අවශ්‍ය බව පෙනේ. ඉන්දියාවෙන් ලබාගත් සහන වාරය එක්තරා සීමාවක් කරා පැමිණ තිබේ. ඛනිජ තෙල් සැයුම සඳහා පමණක් ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් දැනට නිකුත් කර ඇත. මෙතැනින් ඔබ්බට ඉන්දියානු ණය සහන නොලැබුණහොත් රටට පෙට්රල්, ඩීසල් හා දැවිතෙල් ආනයනය සීමා සහිත වනු ඇත.

අරගල භූමිය මෙම ප්‍රශ්න දෙස වෙනත් කෝණයකින් බලන බව ප්‍රත්‍යක්ෂය. ජාත්‍යන්තර දේශපාලන ග්‍රහණය ශ්‍රී ්‍රි ලංකාව හැසිරෙන අන්දම සහ රටවල් සහ සංවිධාන පනවන කොන්දේසි ගැන ඉතාම සියුම් තර්ක ගොඩනඟන බව සහතිකය. එදිනෙදා  ප්‍රශ්නවලින් ජනතාව මිරිකී සිටියදී පවා දේශපාලන ක්‍රමයට අභියෝග කරන අතර එය ඉතාම ප්‍රායෝගික නොවන බව පැහැදිලිය.

කෙසේ වෙතත් අගමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළ ආකාරයට උපදේශක කාරක සභා ක්‍රමයක් අලුතින් ඇති කරන අතර යොවුන් පාර්ලිමේන්තුවෙන් සහ අරගල භූමියෙන් නියෝජිතයන් එයට ඇතුළත් කරගන්නට අපේක්ෂා කරන බව දැක්වීය. එමඟින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තවත් පුළුල් කරනු ඇත. කෙසේ වෙතත් තීරණ ගැනීමේදී එය වඩාත් දුෂ්කරතා මතු කරනු ඇත. ව්‍යවස්ථානුකූලව ජනතාව පත්කරන මහජන නියෝජිත ක්‍රමය තුළට එනම් පාර්ලිමේන්තුවට පරිබාහිර කණ්ඩායමකගේ අදහස් ඇතුළු කරන පියවර තුළ පරස්පරතා ඇතිවීම වැළැක්විය නොහැකිය. එවැනි පසුබිමක් එළැඹිය හැකි අනතුරක් තිබියදී පවා දැනට පවතින ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තවත් ව්‍යාප්ත කරන්නට කල්පනා කිරීම නරක අදහසක් නොවේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනයක් ගෙන එන සංචිත, ඒවාට එන කොන්දේසි සම්බන්ධයෙන් ගැටලු මතුවුවහොත් ජනතාව කබලෙන් ළිපට තල්ලු වන අවදානමක් තිබේ.

ණය නොගෙවා සංචිත උපයා ගැනීමේ සැලැස්ම

ජාත්‍යන්තර ප්‍රජාව වෙත ගෙවන්නට ඇති ණය තාවකාලිකව නතර කර ඇත. එකී පියවර මූල්‍ය අරමුදලේ යෝජනාවකි. සංවර්ධන බැ¾දුම්කර වශයෙන් සහ ද්විපාර්ශ්වික ගිවිසුම් යටතේ ඉහළ පොලියකට ගෙන ඇති ණය ගෙවීම අත්හිටුවන අතර ඒවා නැවත ප්‍රතිව්‍යුහගත කරන්නට යෝජනා වී තිබේ. මෙම වසර තුළ ගෙවන්නට ඇති ඇමරිකානු ඩොලර් බිලියන හතක් ඇතුළු සම්පූර්ණ විදේශ ණය එනම් ඇමරිකානු ඩොලර් බිලියන පනස් එකක වාරික හා පොලිය ගෙවීම නතර කර ඇත. විදේශ සම්පත් බින්දුවට හිඳී ගිය ශ්‍රී ලංකාවේ තත්ත්වය එකී පියවර හෙයින් විනාශයකට ගමන් කිරීම වළක්වන ලද අතර ඒවා ක්‍රමානුකූලව සකස් කරන උපදේශනයක් දැන් ඇරඹී තිබේ.

මෙම සියවසේ ජාත්‍යන්තර ණය හා පොලී  වාරික ගෙවන්නට අසමත් වූ ආසියානු පැසිපික් කලාපයේ පළමු රට බවට පත්ව ඇත. මාස ගණනාවක සිට මෙම අවදානම මතුවන බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන අනතුරු අඟවමින් සිටි අතර ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් සහ මූල්‍ය විශේෂඥයන් අතරින් ඇතැමකු එය පිළිගත්තේ නැත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සමඟ අවහිර වූ සංචාරක කර්මාන්තය පසුව කොවිඩ්  වසංගත තත්ත්වය ඉදිරියේ දැවැන්ත අර්බුදයකට පත් විය. අපනයන අංශයද අවහිර විය. ණය ගනිමින් ණය ගෙවන ක්‍රමයක සිටි ශ්‍රී ලංකාව මෙම පසුබෑම ඉදිරියේ මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනුවකට යා යුතුව තිබුණ අතර මෙකී තත්ත්වය සුමට ලෙස නැවත ආපසු හැරෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි වගකිව යුතු අංශ එවැනි යෝජනා තරයේ ප්‍රතික්ෂේප කරන ලද බව මතක් කළ යුතුය. එහි අවසාන ප්‍රතිඵලය අද ජනතාව අත්විඳිමින් සිටින අතර ගෞරවාන්විතව මඟ හැර යන්නට තිබුණ අවදානමක් තමන් සන්තකයට ගැනීමේ විපාක අද අප හමුවේ තිබේ. එය ගෙවන්නට ඇති ණය නොගෙවා තවත් ණය ගැනීමේ ක්‍රියාවලියක් දක්වා තල්ලුවී තිබීම සැලකිය යුතු කරුණකි.

මූල්‍ය අරමුදල අත පෙවීම ගැන විවේචනයක්

මූල්‍ය අරමුදලේ මැදිහත්වීම ගැන ශ්‍රී ලංකාවේ දේශපාලනයෙහි කැමැත්තක් නැත. ආර්ථිකය තුළ කළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් අවස්ථා ගණනාවක යෝජනා කර ඇත. අය – වැය පාලනය කරගන්නා අතර නිෂ්පාදන නංවන යෝජනා ගෙනැවිත් තිබේ. අපනයන නැංවීම හා එයට ඉවහල්වන පරිදි විනිමය අනුපාතිකය පවත්වා ගැනීම ගැන උපදෙස් නිකුත් කර ඇති අතර මුදලෙන් ණය සංචිත ලබාගත් ඉකුත් දහසය වතාව තුළ එම අදහස්වලට අනුව ක්‍රියා කළේ නම් රට අද පත්ව ඇති දරුණු ඉරණම හමුවේ අසරණවන්නේ නැත.

ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ ගැටලු ඇති අවස්ථාවක අසල්වැසි රටකින්, ස්වාධීන විශේෂඥයන්ගෙන් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවලින් උපදෙස් බලාගැනීම නරක අදහසක් නොවේ. පෞද්ගලික ජීවිතයේදීද ප්‍රශ්න මතු වූ පසු තාවකාලිකව ණය තුරුස්වල පැටලෙන නමුත් අවසානයේදී වැදගත් උපදේශය ලැබෙන්නේ මූල්‍ය ආයතනවලින්ය. දිග කාලයකින් ආපසු ගෙවන සහ ණය ගෙවන ක්‍රමය ගැන වාර්තා සහිතව ලබා ගන්නා ණයවලින් අපගේ අපහසුතා මඟ හැර ගනී.

මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති උපදෙස් අතර බදු වැඩි කිරීම ප්‍රධාන අංශයකි. වැට් හා ආදායම් බදු නන්වන අතර දැනට දළ දේශීය නිෂ්පාදිතයේ සියයට අටක් පමණ වන බදු ආදායම සියයට පහළොව දක්වා නංවා ගත යුතු බව නිර්දේශ කර තිබේ. එය පැහැදිලිවම ජනතාවගෙන් අය කරන බදු දෙගුණ වන කරුණකි. රජයේ සහනාධාර ක්‍රම පාලනය කිරීම අනෙක් කරුණකි. දැනටමත් ඛනිජ තෙල් වෙළෙඳාම වෙළෙඳපොළ මිලට හරවා ඇත. විදුලිය ගා ජල ගාස්තුද එවැනි තැනකට යොමු කරන යෝජනා ඇත. වාර්තා දක්වන පරිදි විදුලිය ගාස්තු සියයට දෙසියයකින් පමණ නංවන්නට සිදුවේ. රජයට අයත් ආයතනවල අලාභ අඩු කරගතහොත් ජනතාවට වක්‍රව පැටවෙන බර අඩු කළ හැකි අර එය විශාල සහනයක් වනු ඇත. කෙසේ නමුත් සහනාධාර ක්‍රමවලට ඇබ්බැහි වී සිටින ජනී ජනයා ඒවා අත හරින්ට සූදානම් නැත. දේශපාලනඥයෝද සහන පෙන්වා ජන්ද දිනා ගනිති. ඉන් පසුව රටට අත්පත්වන ඉරණම අද වන විට සනාථ වී තිබේ.

නිෂ්පාදනය හා අපනයනය නැංවීම හැර මඟක් නැත

ආර්ථිකය පත්ව ඇති තැන පැහැදිලිය. ආදායම වැඩි කරගත යුතුව තිබේ. විදේශ විනිමය අවශ්‍යය. ණය ගැනීම පාලනය කළ යුතු අතර ලබාගත් දෙස් විදෙස් ණය ගෙවන්නට ක්‍රමයක් අපට අවශ්‍යය. මෑත කාලීන ප්‍රවණතා සලකන පසු රටට එවැනි සැලැස්මක් හදා ගන්නට අසමත්ව තිබේ. මොනවා හෝ් නිපදවන්නට සැලැස්මක් රටට අවශ්‍යය. ඇඟලුම් කර්මාන්තය හඳුන්වා දීමෙන් පසු රටට විනිමය උපයන වෙනත් මාවතක් විවෘත වූයේ නැත. තාක්ෂණික අංශයෙනි ‍ෙදාරටු විවර කළ හැකිව තිබිණි. හතරවැනි කර්මාන්ත විප්ලවයක් ගැන කතා කරන මෙකල රොබෝ තාක්ෂණය භාවිත වෙමින් පවතී.

ශ්‍රී ලංකාවට එහි අවස්ථා පාදාගැනිීමට හැකියාවක් තිබිණි. වරාය සංවර්ධනය තවත් පැත්තකි. කොළඹ වරායේ කොටසක් සංවර්ධනය කරන්නට දරන ලද වෙහෙස අමතක කළ යුතු නැත. ලංකාවට එය කළ හැකි බවට උදම් ඇනූ කිසිවකු අද රටට කළ හැකි යමක් නැති බව වටහා ගෙන ඇති බව පෙනේ. සේවා අංශයෙන් හෝ නිෂ්පාදන අංශයෙන් මොනවා හෝ කර රටට ආදායමක් උත්පාදනය කළහොත් ශ්‍රී ලංකාව තුළ දැනට බලපවත්වන ගැටලුවලට උත්තරයක් තිබේ. ඉන්දියාව හෝ මූල්‍ය අරමුදල කිසිම අවස්ථාවක රට ගොඩනඟන්නට මහා ව්‍යායාමයක් නොවේ. එය එක්තරා ආකාරයක පහසු කරවන ක්‍රියාමාර්ගයක් වන අතර උත්සාහ කළ යුතු රටක් වශයෙන් අප සියලුදෙනා බව අවධාරණය කළ යුතුව ඇත.

දේශපාලනය රට අවදානමකට ගෙන ගියේය

යුද්ධය අවසන් වූ පළමු වසර දෙක තුළ සියයට දහය ඉක්මවන ආර්ථික වර්ධනයක් පැවැතිණ. එහෙත් 2020 වසරේ ආර්ථිකය ඝෘණ 3.6කි. එයට කලින් අවුරුද්දේ තිබුණ තැනට ආපසු හැරවිණ. 2022 තවත් පහතට වැටෙන බව නිසැකය. වරින්වර වෙනස් වූ ආණ්ඩු ආර්ථිකය ගැන වෙනුවට බලය තහවුරු කරගැනීමට කල්පනා කළේය. යහපාලන ආණ්ඩුව පැමිණි වහා ඉන්ධන මිල සංශෝධනය කිරීම එයින් එක කැළලකි. සංවර්ධන සැලසුම් තාවකාලිකව අත්හිටුවීය. කොළඹ වරාය නගරය සංවර්ධනය තහනම් කරන ලද අතර අධිවේගී මාර්ග නැවත පරීක්ෂාවට ලක් කළේය. එහි අවාසිය අද දැක ගත හැකිය. වරාය නගරයේ ගොඩකිරීම් කලින් අවසන් කෙරිණි නම් අද එහි ආයෝජන පවතී. මහා මාර්ග ඉදිකිරීම් නිසි අවස්ථාවේදී සිදුකෙරිණි නම් වියදම ඉහළ යන්නේ නැත.

යහපාලන ආණ්ඩුව බලයෙන් පහ කර බලයට පත් වත්මන් ආණ්ඩුව 2019 අග භාගයේ බදු සංශෝධනය කළ අතර එය රාජ්‍ය ආදායම අඩු කරන්නට හේතු වූ බව දැක්වේ. අධික පොලියක් සහිත කෙටි කාලීන ණය ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුබල කරන ලද අතර ණය ගෙවාගත නොහැකි අවදානමක් ඇති තැනක් බවට පත් කරන ලද බව මතක් කළ යුතුය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආරම්භක සාමාජිකයෙකි. මිලදීගෙන ඇති කොටස් ප්‍රමාණයක් තිබේ. එම කොටස්වලට සරිලන තරමට හදිසි අවස්ථාවක ණය සංචිතයක් උපයාගත හැකිය. අප මුහුණ දෙමින් සිටින අවදානම ඉදිරියේ නැවත ආපසු හරවා ගැනීමක් අවශ්‍යය. රටට ආයෝජන ලබාගන්නට, දේශීය ආයෝජකයන්ට ශක්තිමත්ව ඉදිරියට යන්නට සැලැස්මක් අවශ්‍යය. අපනයන අවස්ථා ඇති කරගත යුතු අතර එයින් බැහැර වෙනත් විකල්පයක් නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මෙහිලා ඉතාම සුදුසු පියවරකි. එම පියවර සඳහා සමාජ එකඟතාවක් දේශපාලන නායකත්වයක් රටට අවශ්‍ය කර තිබේ. අප සියලුදෙනාම අවදානම හඳුනාගෙන අලුත් යුගයක් ගැන කල්පනා කළ යුතුය.

ශාමින්ද වත්තේගෙදර