ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්: පුද්ගලයින් 250ක් මරුට

0
534

ඇෆ්ගනිස්ථානයේ සිදු වූ ප්‍රබල භූමි කම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 250 දෙනෙකු මිය ගොස් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කළේ, සමාජ මාධ්‍යවල පළ කර ඇති ඡායාරූපවල එරට පක්ටිකා පළාතේ විපතට පත් ජනතාව සිටින බව දක්නට ලැබුණු බව ය.

මියගිය සංඛ්‍යාව 250කට වැඩි බව ත් එම සංඛ්‍යාව තව ත් ඉහළ යාමට ඉඩ ඇති බව ත් එරට පළාත් පාලන නිලධාරියෙකු බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

තවත් 150කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ද ඔහු සඳහන් කර ඇත.

ඇෆ්ගනිස්ථානයේ ගිනිකොනදිග නගරයක් වන ඛොස්ට් සිට කිලෝමීටර් 44ක් (සැතපුම් 27ක්) පමණ දුරින් මෙම භූමිකම්පාව හටගෙන තිබේ.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ, යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට අනුව ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ ඉන්දියාවේ කිලෝමීටර් 500කට වඩා වැඩි ප්‍රදේශයක එහි කම්පන දැනී ඇති බව ය.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට මෙන් ම පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරට ද භූමි කම්පාව දැනුණු බව ප්‍රදේශවාසීන් සඳහන් කර ඇති බව එම මධ්‍යස්ථානය පවසා තිබේ.

අද (ජූනි 22) අලුයම ඇති වූ මෙම භූමි කම්පාව, කිලෝමීටර් 51ක් පමණ ගැඹුරින් රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයකින් සිදු වූ බවට සඳහන් වේ.