ඇෆ්ගන් භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,000කට ආසන්න වෙයි: 600කට තුවාල (VIDEO)

0
426

ඇෆ්ගනිස්ථානයේ සිදු වූ ප්‍රබල භූමි කම්පාවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 950 දෙනෙකු මියගොස් 600 දෙනෙකුට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ වාර්තා පෙන්වා දුන්නේ, එම සංඛ්‍යා තව ත් ඉහළ යා හැකි බව ය.

භූ කම්පනයෙන් නිවාස විනාශ වී ඇති අයුරු සහ මිය ගිය පුද්ගලයින් රෙදිවලින් ඔතා ඔසවා ගෙන යන අයුරු දැක්වෙන දර්ශන ඇෆ්ගන් මාධ්‍ය වාර්තා කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

දුර බැහැර ප්‍රදේශවල හෙලිකොප්ටර් මගින් විපතට පත් වූවන් රෝහල් වෙත රැගෙන යමින් සිටින බව එම වාර්තාවල සඳහන් වේ.

ඇෆ්ගනිස්ථානයේ ගිනිකොනදිග නගරයක් වන ඛොස්ට් සිට කිලෝමීටර් 44ක් (සැතපුම් 27ක්) පමණ දුරින් මෙම භූමිකම්පාව හටගෙන තිබේ.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ, යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට අනුව ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ ඉන්දියාවේ කිලෝමීටර් 500කට වඩා වැඩි ප්‍රදේශයක එහි කම්පන දැනී ඇති බව ය.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට මෙන් ම පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරට ද භූමි කම්පාව දැනුණු බව ප්‍රදේශවාසීන් සඳහන් කර ඇති බව එම මධ්‍යස්ථානය පවසා තිබේ.

අද (ජූනි 22) අලුයම ඇති වූ මෙම භූමි කම්පාව, කිලෝමීටර් 51ක් පමණ ගැඹුරින් රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයකින් සිදු වූ බවට සඳහන් වේ.