රට හදන තැන

0
92

ජාතියේ දරුවන් පෙළන ගැටලුවලට සාධනීය විසඳුමක් කඩිනමින් සොයමු : ඩලස් අලහප්පෙරුම

කොවිඩ් මර්දන එන්නත්කරණයේ සාර්ථක බව නිසා වසංගත මාරයාගෙන් මිදී අප නිරෝගී වී මාස 9ක් ගතවුණත් අපේ අවාසනාවට එම කාල සීමාව තුළදීවත් දරුවන්ට නිසි ලෙස පාසල් විවෘත කරන්න අප අසමත් වුණා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පැවැසීය.

2020 මාර්තු මස කොවිඩ් පළමු රැල්ලට පාසල් වහපු දිනයේ පටන් වසර 2කුත් මාස 3කට වැඩි කාලයක් මේ වනවිට ගතවෙමින් තිබෙනවා. මේ කාලසීමාව තුළ තරම් දරුවන්ට අධ්‍යාපනයට නොකඩවා බාධක පැමිණි කිසිම කාලසීමාවක් නිදහසෙන් පසු ගෙවුණු වසර 74 තුළ ඇති වූවා යැයි මා විශ්වාස කරන්නේ නැහැ. පසුගිය සතියේ කෝපා කමිටුව හමුවේ කරුණු දක්වමින් අධ්‍යාපන ලේකම්වරයා පැවැසූ පරිදි, 2020 වසර අවසානය වන විට රටේ දරුවන්ට ඔවුන්ගේ පාසල් අධ්‍යයන කාලයෙන් 58%ක්ද, 2021 අගෝස්තු වන විට එය 88%ක් දක්වාද වැඩිවෙමින් අහිමි වී තිබෙනවා. තවදුරටත් ලේකම්වරයා පැවැසූ පරිදි, වර්තමානය වන විට ඊටත් වඩා අවාසනාවන්ත තත්ත්වයට දරුවන්ගේ අධ්‍යයන කාලය අහිමි වීමේ අවදානමකට අප මුහුණ පා සිටිනවා.

 අප අමතක නොකළ යුතු වැදගත්ම කරුණ වන්නේ, ඒ සියලුම කර්තව්‍යයන් අදාළ වන්නේ දරුවන්ගේ විෂය නිර්දේශ සහ විභාගවලට පමණයි.

නමුත් පාසල් අධ්‍යාපනයක් යනූ හුදෙක් විෂය නිර්දේශ, විභාගවලට ගොඩාක් එහාට ගිය සංකල්පයක්.

මං කැමැතියි පෙර පාසල් දරුවන්ගෙන් පටන් ගන්න. පෙර පාසල්, ප්‍රාථමික පාසල් මුල් අවධිය තමයි දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනයට වැදගත්ම දායකත්වය දක්වන්නේ.

මේ කාලයේ තමයි දරුවන් තම මුළු ජීවිතයටම වැදගත් වන සංකල්පයන් හඳුනාගෙන ඒවාට අනුගත වන්නේ.

මේ වන විට මිලියන ගණනක පෙර පාසල් සහ ප්‍රාථමික පාසල් දරු දැරියන්ට එම වැදගත් අධ්‍යයන කාල සීමාව අහිමි වී තිබෙනවා.

තව දශකයකින් දෙකකින් ඔවුන් වැඩිහිටි පුරවැසියන් ලෙස සමාජයට එක්වන විට, එම මුල් ළමා අවධියේ වුණු අඩුපාඩුව කෙතරම් දුරට ඔවුන්ගේ ජීවිතවලට, සමාජයට, පොදුවේ රටට බලපායිද කියන කරුණ ගැන අපට නිශ්චිත නිගමනයකටවත් එන්නට බැහැ.

මං කැමැතියි එක් අවාසනාවන්ත උදාහරණයක් ඔබ හමුවේ තබන්නට. වෙනදා ජනවාරි මුල තම පාසල් ජීවිතයේ අලුත් වසර ආරම්භ කරන දරුවන්ට සිදුවුණේ මේ වසරේ අප්‍රේල් අන්තිම තම නව පාසල් වසර, නැත්නම් අලුත් පන්තියකට යන්න.

නමුත් ඔවුන්ට එක සුමානයක් එක දිගට අලුත් පන්තියට යන්නට වාසනාවක් තිබුණාද?

මං මේ කිසිම පාර්ශ්වයකට ඇඟිල්ලක් දිගු කරනවා නොවෙයි. ඉතාමත් අභාග්‍යසම්පන්න කරුණක් ඔබට මතක් කළා පමණයි.

දෙවැන්න සියලුම පාසල්වල අඩුවැඩි වශයෙන් හිඩ්න් කරිකියුලම් නැතහොත් සැඟවුණු විෂය නිර්දේශයන් තිබෙනවා.

පාසල් ජීවිතයේ වැදගත්ම අංගයක් ඒ හරහා නිර්මාණය වෙනවා. දරුවන් ජීවිතයට අවශ්‍ය පෞරුෂය, නායකත්වය, රසාස්වාදය, රසිකත්වය, රුචිකත්වය, විචිත්‍රත්වය මෙන්ම අපි වැනි බහු සංස්කෘතික, බහු ජාතික, බහු ආගමික රටක විවිධත්වයටද අවශ්‍ය පසුබිම ලැබෙන්නේ ඒ හරහා.

පාසල් ‍ෙදාරටුව වැසී යෑමෙන් අපේ එක් පරම්පරාවකට අහිමි වන, රටට අහිමි වන එම ජීව ගුණය මනින්නට මිම්මක්වත් සිතාගන්නට අපහසුයි.

තෙවැන්න, සෑම දුවෙක්ටම පුතෙක්ටම පාසල් කාලය තුළ පමණක් සීමා වුණු පාසල් කාලය තුළ පමණක් කළහැකි, ළමා කාලය තුළදී සාක්ෂාත් කරගත හැකි, ළමා කාලයේදී පමණක් අත්විඳිය හැකි අසිරිමත් විෂය බාහිර අත්දැකීම් රාශියක් තිබෙනවා.

තම පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වීම. බිග්මැච් එකට නායකත්වය දීම. ක්‍රීඩා කිරීම. කථික කණ්ඩායමේ නායිකාව වීම.

දැනුම මිනුම කණ්ඩායමේ නායකයා හෝ නායිකාව වීම.

සමස්ත ලංකා පාසල් සාහිත්‍ය තරඟාවලියේ ගද්‍ය, පද්‍ය ශූරතාව දිනාගැනීම, පාසල් නාට්‍ය, ගායනා තරගවලට තම විදුහල නියෝජනනය කිරීම. නිවාසාන්තර ක්‍රීඩා උළෙලවලට සහභාගි වීම.

තම නිවාසයේ නායකත්වය දැරීම. කැඩෙටින්වලට හර්මන් ලූස් ශූරතාව සඳහා රන්ටැඹේ යෑම, සුගතදාස ක්‍රීඩාංගණයේ ජවන හා පිටිය තරගයකට පාසල නියෝජනය කිරීම. 

ස්කුල් ටි්‍රප් එක, අධ්‍යාපන චාරිකාව යෑම.

මේ සියල්ලක් පාසල් කාලයේ සෑම දරුවකුගේම සිහින. ඔවුන්ගේ එම සිහින හොරු අරන් ගිහින් තිබෙනවා. යළි කවදාවත් තම ජීවිතයේ ලබාගත නොහැකි අත්දැකීම් සමූහයක් ඔවුන්ට අහිමි වෙලා තිබෙනවා.

එහි අවාසනාවන්තම ප්‍රතිඵලය තමයි, මා සඳහන් කළ එම විෂය බාහිර ක්‍රියාකාරකම් හරහා තමයි ඔවුන්ගේ ජීවිතයට අවශ්‍යතම කණ්ඩායම් හැඟීම, එකමුතුකම, එකට වැඩ කිරීම, පරාර්ථකාමීත්වය වැනි ගුණාංග පෝෂණය වෙන්නේ.

අපේ වැඩිහිටියන්ගේ ජනප්‍රිය මතයක් තමයි වර්තමාන පරපුර ආත්මාර්ථකාමී කියන එක.

එහෙමනම් හිතන්න, පරාර්ථකාමීත්වය ගොඩනඟන පාසල් ජීවිතයක් අහිමිවීම හරහා අනාගතයේ සමාජයට බිහිවිය හැකි වැඩිහිටි පරම්පරාව කොහොම වෙයිද කියලා. ඔවුන්ගේ මනුදම් ප්‍රශ්නකාරී විය හැකියි.

නමුත් ඒ කිසිවක් ඒ අසරණ දරුවන්ගේ වරද නොවෙයි.

නැවතත් මා දරුවන්ගේ අධ්‍යාපන ගැටලු දෙසට හැරුණොත්, කොවිඩ් වසංගතයට මුළු ලොවක්ම යටපත් වුණු වෙලාවේ, එයට නිසි ප්‍රතිචාරයක් දැක්වීමට දියුණුතම රටවල් පවා අපොහොසත් වූ වෙලාවේ අපේ රටට, දරුවන්ට අහිමි වූ දේ ගැන යම් සාධාරණීකරණයක් සැපයිය හැකි නමුදු, පසුගිය මාස 9ක කාලසීමාව අපි ගත කළේ නිරෝගී ජාතියක්, රටක් ලෙස, එන්නත්කරණයේ සාර්ථකත්වයෙන් වසංගත මාරයාගෙන් මිදී අප නිරෝගී වී දැන් මාස 9ක් ගත වුණත්, අපේ අවාසනාවට එම කාලසීමාව තුළවත් දරුවන්ට නිසි ලෙස පාසල් විවෘත කර තබන්නට අපි අපොහොසත් වුණා.

මාස තුනක් දිග්ගැස්සුණු ගුරු විදුහල්පති වැටුප් අර්බුදය, ආර්ථික අර්බුද හරහා ඇතිවුණු ප්‍රවාහන ගැටලු, විරෝධතා, අරගල හරහා නිර්මාණය වුණු සමාජ අස්ථාවර භාවය, මේ සියලුම දේවල්වල අවසාන ඵලය වුණේ වසංගතය පහව ගියත් දරුවන්ගේ ජීවිතය සාමාන්‍යකරණයට ලක්වීම තව තවත් පමා වීමයි.

මෙය ඉතාමත්ම කනගාටුදායකයි.

අපි සියලුම වැඩිහිටියෝ මෙහි විත්තිකරුවෝ.

කිසිම කෙනෙක්ට සර්වපාක්ෂිකව නිර්පාක්ෂිකව හෝ ස්වාධීනව මේ චෝදනාවෙන් මිදෙන්නට බැහැ.

ලෝක සම්මතයට අනුව මිනිසාගේ මූලික අවශ්‍යතා ලෙසට ආහාර, ඇඳුම්, නිවාස යන්න අනුපිළිවෙළින් හැඳින්වෙන නමුදු, මා හොඳින්ම දන්නවා අපේ රටේ නම් අති බහුතරයකගේ මූලික අවශ්‍යතාව වන්නේ අධ්‍යාපනයයි.

ඒ නිසායි මවුපියන් තමන්ගේ කුසට අහරක් නොගෙන, ආහාර සීමා කරමින්, දරුවන්ගේ කුස පමණක් පුරවා ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ.

ඒ නිසායි රැකියාවට පවා යන අම්මලා, තාත්තලා අලුත් සාරියක්, අලුත් ඇඳුමක් වසරකට වරක්වත් මිලදී නොගෙන ඒ මුදල්ද ඉතුරු කරමින් තම දරුවන්ගේ අධ්‍යාපනය කරා යොදවන්නේ.

ඒ නිසාමයි, බොහෝ පවුල් තමන්ටම කියා හිසට වහලක් තනා නොගෙන, කුලී නිවාසවල වාසය කරමින්, නිවාස සිහිනය අමතක කරදමා, ඒ මුදලිනුත් තම දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා පිරිමහන්නේ.

ඉතින් මෙවැනි ජනතාවක්, මෙවැනි මවුපියන් දස ලක්ෂ ගණනක් වෙනුවෙන් සංවේදී වෙන්න බැරි ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් අපේ රටට ඇති ඵලය කුමක්ද?

අන්න ඒ නිසායි මා සහෝදර ඔබ හමුවේ බැගෑපත්ව මේ ඉල්ලීම කරන්නේ. අවාසනාවට මෙය මා මෙවැනි ඉල්ලීමක් කරන මුල් අවස්ථාව නොවෙයි.

දේශපාලකයන්, ක්‍රියාකාරිකයන්, වෘත්තීයවේදීන්, නිලධාරීන්, වැඩිහිටියන් ඇතුළු එකී මෙකී නොකී සියලුම දෙනාගේ වගකීම් විරහිත ක්‍රියාපටිපාටීන් සහ හැසිරීම් රටාවන්වල ආදීනව වැඩියෙන්ම බලපාන්නෙත්, ඒවායේ අයහපත් ප්‍රතිඵලවලින් වැඩිම හානියක් සිදුවන්නේත් මේ රටේ මිලියන ගණනක් වූ අසරණ දුවලා පුතාලාට බව අමතක කරන්නට එපා.

මෙතැන සිටින 224 දෙනාටම, දරුවන් ඇතත්, නැතත්, දාරක ප්‍රේමය කියන උදාර හැඟීම ආගන්තුක දෙයක් යැයි මා විශ්වාස කරන්නේ නැහැ. එසේනම්, මා යෝජනා කර සිටිනවා, සර්වපාක්ෂික යන වචනයට සැබෑ අරුතක් දෙමින් අප පාර්ලිමේන්තු සභිකයන්ගෙන් සියලුම පාර්ශ්වයන් නියෝජන වන පරිදි පාර්ලිමේන්තු කමිටුවක් පත්කරගෙන, මේ ජාතියේ දරුවන් පෙළන ගැටලුවලට සාධනීය විසඳුම් ඉතාමත් කඩිනමින් සොයන්නට එකතුවෙමු කියලා. දරුවන්ගේ අධ්‍යාපනයේ සැබෑ ගැටලු පැහැදිලිව හඳුනාගෙන, ප්‍රමුඛතා පිළිවෙළකට සකස්කරගෙන, ඒවාට ප්‍රායෝගික විසඳුම් ඉතාමත් ඉක්මනින්ම ඉදිරිපත් කරන්නට අපි පැය 24ම, දවස් 7ම වුණත් වෙහෙසෙන්නට අදිටන් කරගනිමු.

අපි රටේම දරුවන්ට පොරොන්දු වෙමු ජූලි මාසය තෙවැනි සතිය වනවිට, අපි ඔවුන්ගේ පීඩනය සමනය කරන විසඳුම් ඉදිරිපත් කරන්නට.

හොඳින් මතක තබාගන්න දරුවන්ට දෙන පොරොන්දු කඩකිරීම, ඔවුන්ගේ සිත් බිඳීම දෙවැනි වන්නේ ආනන්තරීය පාපකර්මයන්ට පමණයි.

එයත් සිත්හි තබාගෙන, ඒ වෙනුවෙන් පෙරට එන්නට මා සහෝදර ඔබ සැමට ආරාධනා කරමින්  නිහඬ වෙනවා.

පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වෙන්නේ අනාගතයට ගැළපෙනසේ සමාජය ප්‍රතිනිර්මාණය කිරීමයි : නිමල් පියතිස්ස

ප්‍රාථමික ද්විතීයික අධ්‍යාපනයට යනකොට අපි ඉගෙන ගත්තේ පාර්ලිමේන්තුව කියන්නේ අණපනත් සම්පාදනය කරන, සංශෝධනය කරන, ජාතික සැලසුම් නීතිරීති ප්‍රතිපත්ති සම්පාදනය කරන ස්ථානය ලෙසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් පියතිස්ස පැවැසීය.

“දේශපාලන විද්‍යාව කරනකොට ලෝකයේ විවිධ රටවල දේශපාලන ස්වභාවයන්, විවිධ දේශපාලන ක්‍රම සහ අපේ රට ඉතිහාසය පිළිබඳව ඉගෙන ගනිද්දී අපි මේ පාර්ලිමේන්තුව පිළිබඳව අවබෝධ කරගන්නේ ඒ විධියටයි. හැබැයි මේ පාර්ලිමේන්තුවට අපි නියෝජනය වෙන්නට ආවට ඇත්තටම මම කියපු විෂයගත කරුණු පිළිබඳව විද්වත් සාකච්ඡා හරහා මේ රටේ අනාගතය වෙනුවෙන් මේ ආකාරයටම කටයුතු සිදුවෙනවාද ඒ ආකාරයෙන්ම කටයුතු සිදුවීමට අවශ්‍ය වන ප්‍රඥාව, බුද්ධිය, උගත්කම අත්දැකීම තියෙන අයමද මේ පාර්ලිමේන්තු ඉතිහාසය පුරාවටම නියෝජනය කළේ කියලා ප්‍රශ්නයක් වත්මන් සමාජය හමුවේ ප්‍රශ්නාර්ථයක් විධියට තියෙනවා.

මේ පාර්ලිමේන්තුව හරහා මේ සමාජය ප්‍රතිනිර්මාණය කිරීම මේ සමාජයේ ජනතාව අනාගතයට ගැළපෙන විධියට පරිවර්තනය වීම අපේක්ෂා කරනවා. අපේක්ෂා කළා. හැබැයි දීර්ඝ කාලයක් තිස්සේ මේ උත්තරීතර සභාව පාවිච්චි වුණේ මම කියපු කරුණුවලට වඩා මේ රටේ ඇති හැකි අයගේ වාණිජ වුවමනාවන් වෙනුවෙන්. ඒ වාණිජ වුවමනාවන් පෙරදැරි කරගෙන තමයි මේ රටේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇති බහුතරයක් ඉතිහාසය පුරාවටම කටයුතු කර තියෙන්නේ.

ආණ්ඩුවේ තිරය පිටුපස සිට ඇමැතිවරු මෙහෙයවන්නේ රාජපක්ෂලා : හර්ෂණ රාජකරුණා

කුමන ඇමැතිවරු පත්කළද ආණ්ඩුවේ තිරය පිටුපස සිට ඇමැතිවරු මෙහෙයවන්නේ රාජපක්ෂලා බවත් ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා පැවැසීය.

මාසයක් තිස්සේ වත්මන් අගමැතිවරයා රටේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරනවා මිස රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙන බවත් ඒ හේතුවෙන් කතා සාප්පුවක් ලෙස හැඳින්විය හැකි පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට කටයුතු කළ බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

රටේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ඇමැතිවරු වර්තමානයේදී කරන්නේ සාක්කු පුරවා ගන්නා ආකාරයේ වැඩකටයුතු බවද වර්තමානයේ පවතින්නේ ගෙම්බන් එකතු කරගත් කැබිනට් එකක් බවද

හර්ෂණ රාජකරුණා මන්ත්‍රිවරයා කීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවද ජනාධිපතිවරයා නික්ම  යෑමේ කාලවකවානුවට අනුව එකඟතාවකට පැමිණ වහාම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවද එම ආණ්ඩුවේ ප්‍රධානියා විය යුත්තේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බවද හර්ෂණ රාජකරුණා මන්ත්‍රිවරයා පැවැසීය.

පක්ෂ 11 එකමුතුව අර්බුදය විසඳන්න ගෙනා යෝජනා තුට්ටුවකට ගණන් නොගෙන අපව පලවා හැරියා : විමල් වීරවංශ

“රනිල් අගමැති වුණාම  සාක්කු දෙකෙන් අත් එළියට ගද්දි ඩොලර්  බිලියන හතරක් පහක් වැටෙයි කියලා සමහරු හිතුවේ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි විමල් වීරවංශ පැවැසීය. “අපි පක්ෂ 11 එකමුතුව  අර්බුදය කලින් පුරෝකථනය කරලා ආණ්ඩුවේ ඉද්දීම යෝජනා පෙන්නුවා. තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ. අපිව පලවා හැරියා. අපි අනිත් පක්ෂ එකතු වෙලා සංකල්පයක් ඉදිරිපත් කළා. ජාතික සභාවක් වගේම සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවා ගන්න අපි යෝජනා කළා. රටේ ස්ථාවර තත්ත්වයක් ආවම මැතිවරණයකට යා යුතුයි කියලා කිව්වා.

අපි විවිධ පාර්ශ්ව සමඟ කතා කළා. ශ්‍රීල.නි.ප.යේ නිමල් ලන්සා වගේම  අනිත් අය එක්කත් අපි කතා කළා. හැබැයි ලන්සා මන්ත්‍රිවරයාගේත් ශ්‍රිල.නි.ප. මන්ත්‍රිවරුන් කණ්ඩායමකුත් රෑට රෑට රැස්වෙලා අගමැති බවට  රනිල් පත් කරන්න කියලා කිව්වා. අද එතුමන් මෙතන උත්තර දෙන්නවත් නෑ. රටේ පාලනයක් නෑ. ව්‍යාපාරික ප්‍රජාව වගේම මධ්‍යම පාන්තිකයන් හිතුවා රනිල්ට විදේශ සම්බන්ධතා තියෙනවා. රනිල් අගමැති වුණාම  සාක්කු දෙකෙන් අත් එළියට ගද්දි ඩොලර් බිලියන හතරක් පහක් වැටෙයි කියලා. මේ වගකීම් විරහිත ආණ්ඩුවක්.

අද අපි ඉස්සරහ තියෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්නේ නැතිනම් ඇමැතිකම් දරන්න තමුන්නාන්සේලාට සදාචාර අයිතියක් නෑ. දරුවන්ට අධ්‍යාපනය දෙන්න බැරිනම් අධ්‍යාපන ඇමැතිකම බම්බු ගහන්නද? විදුලිය දෙන්න බැරිනම් විදුලිබල ඇමැතිගෙන් ඇති ඵලය මොකක්ද? මෙතැන තමයි අපේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන තැන. ඒ නිසා සතියක් නිවාඩු ගන්නෙ නැහැ. අපි මේක ඇතුළෙම විසඳුම් හොයන්න ඕනෑ. අපේ යෝජනා ඉදිරිපත් කරනවා”

රනිල් අගමැති කරන්න අපි කිසි විටෙකත් යෝජනා කර නැහැ : ඇමැති මහින්ද අමරවීර

“රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කළ යුතු යැයි අප කිසිවිටෙක යෝජනා නොකළ බව වගකීමෙන් කියනවා” යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවැසීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කළ යුතු යැයි වෙනම සාකච්ඡා කළා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම් ගොස් විපක්ෂ නායකවරයා සමඟ අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කළා ආණ්ඩුව භාර ගන්නා ලෙසත් අගමැති ධුරය භාර ගන්නා නිසත් අප කණ්ඩායමක් ලෙස සහයෝගය ලබාදෙන බවත් විපක්ෂ නායකතුමාට පැවැසුවා.

ජනාධිපතිවරයාද ආණ්ඩුව භාර ගන්නා ලෙස විපක්ෂ නායකතුමාට ආරාධනා කළා. ඒ තනතුරුවලට ගන්නෙ කවුදැයි අප දිගටම සාකච්ඡා කළා. අපේ කණ්ඩායම අනුර දිසානායක මහතා සමඟත් සාකච්ඡා කළා. මනෝ ගනේෂන් මහතා,  හකීම්, රිෂාඩ් බදියුදීන් ඇතුළු කණ්ඩායම් සමඟත් සාකච්ඡා කළා. අවසාන වශයෙන් ජනාධිපතිතුමා මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අගමැති ධුරය භාරගන්නා ලෙස විපක්ෂනායකතුමාගෙන් ඉල්ලීම් කළා. ඔහු එය ප්‍රතික්ෂේප කළා. විවිධ කොන්දේසි ඉදිරිපත් කළා. රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කළ යුතු යැයි අප කිසිවිටෙක යෝජනා නොකළ බව වගකීමෙන් කිව යුතුයි”

විමල් වීරවංශ මන්ත්‍රිවරයා

“අප කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මහතා අපට කියූ දේ. එහෙනම් එතුමා බොරු කියනවා ඇති. එතුමාගෙන් ගිහින් අහන්න. එය බොරුවක් නම්  බොරුකාරයා මම නොවේ. ගෝඨාභය රාජපක්ෂ මහතායි”

මහින්ද අමරවීර-

“අප ඒ බව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඇහුවා.  එවැනි කතාවක් නොකී බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පැවැසුවා. හැම වෙලාවෙම බොරුව කියන්න එපා. එහෙම කියන විට මේවා ඇත්ත යැයි හිතනවා.”

විමල් වීරවංශ මහතා

“නිමල් සිරිපාල ද සිල්වා මහතා කිසිම විටෙක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කළේ නැද්ද?”

මහින්ද අමරවීර මහතා

“මම ඉන්න වෙලාවක නම් එහෙම කියලා නැහැ. මේ අය අපේ පක්ෂය හදන්න වගේම පක්ෂයත් කඩන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ අය දිගින් දිගටම කළේ එවැනි කාරණා. ජාත්‍යන්තරයෙන් මේ රට හුදෙකලා කොට අසරණ කළේ කවුද කියලා මුළු රටම දන්නවා. අප භාරගත් ඇමැතිකම හැමදාම හරියට කළා”

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

“රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට යෝජනා කළේ කවුද කියලා අප දැනගන්න කැමැතියි. ආණ්ඩුවෙන්මද එසේ නැතිනම් ගෝඨාභය රාජපක්ෂ මහතාද කියා දැනගන්න කැමතියි. එතුමාට එකම ආසනයක්වත් නැතිව මේ රටේ අගමැති වුණේ කෙසේදැයි දැනගන්න පුළුවන් නම් හොඳයි”

මහින්ද අමරවීර මහතා

“පොහොර ටික දෙන්න බැරි ඇමැති කියලා  විමල් වීරවංශ මහතා පැවැසුවා. ලබන මාසයේ 6 වැනිදා වන විට යල කන්නයේ පොහොර මෙටි්‍රක් ටොන් 65,000ක් මෙරටට එනවා  අවශ්‍ය සියලුම පොහොර ආනයනය කිරීම සඳහා මේ වන විටත් මුදල් ප්‍රතිපාදන වෙන් කරගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කතා කොට ජනතාව ඉල්ලූ සංශෝධන ලබාදීමට අපට හැකියාව ලැබුණේ කැබිනට් මණ්ඩලයේ සිටි නිසයි. එමෙන්ම මේ රටේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීමේ වගකීම අප කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස භාරගෙන තිබෙනවා. ඉදිරියේදී රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ වගකීම භාරගෙන තිබෙනවා.”

මේක ජනවරම ඉටු නොකර ඉබාගාතේ යන ආණ්ඩුවක් : අනුර කුමාර දිසානායක

“මේක ඉබාගාතේ යන ආණ්ඩුවක්, ජනාධිපති පඹයෙක්. අපි පාර්ලිමේන්තුව වර්ජනය කරනවා” යැයි  ජාතික ජනබලවේගයේ  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි අනුර කුමාර දිසානායක  පැවැසීය. “මේ අර්බුදය මතුවෙලා මාස ගණනක් මේ පාර්ලිමේන්තුවේ විවාද කතා කිසිවක් ජන ජීවිතයේ අර්බුදවලට අබමල් රොනකින්වත් පිළිතුරක් ලැබිලා නැහැ. මිනිස්සු අද බඩගින්නෙ. දරුවෝ බෙහෙත් නැතුව මිය යනවා. තෙල්, ගෑස් පෝලිම්වල මිනිස්සු මිය යනවා. ගොවියා නාටු වූ කුඹුර දිහා බලාගෙන හූල්ලනවා. ඉදිකිරීම් අංශ විශාල ලෙස කඩා වැටිලා. දරාගන්න බැරි තරම් භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. රටපුරා විශාල උද්ඝෝෂණ කරනවා ජනාධිපතිට ගෙදර යන්න කියලා. කිසි ලෙසකින් ජනාධිපති ඒවට ඇහුම්කන් නොදී තමන් තමයි හොඳටම කළේ කියලා උඩඟු කතා කිව්වා. මේ නායකයා මේ රටේ නායකකමට නුසුදුසු බව ඔප්පු කර ඉවරයි.

ජනාධිපති හරියට පඹයෙක් වෙලා. ජනතා දුක්ඛ ‍ෙදා්මනස්සයන්ට උත්තර දෙන්න බැරි නායකයෙක් මොකටද කියලා මිනිස්සු කියනවා. ඒ වගේම මහනායක හිමිවරුන්, නීතිඥ සංගමය, දේශපාලන විවිධ ව්‍යාපාර යෝජනා කිහිපයක් කළා. මේ යෝජනා සියල්ල තියෙද්දි  ජනාධිපතිවරයා අගමැති කෙනෙක් සමඟ හොර රහසේ ආණ්ඩුවක් හැදුවා. අගමැති අර්බුදය විසඳනවා වෙනුවට අර්බුදයේ ප්‍රකාශකයා වෙලා අද කන්න නැති වෙයි. හෙට කන්න නැති වෙයි. සතියක් අමාරු වෙයි කිය කියා ඉන්නවා. අර්බුද කියනවා. යෝජනාවලට කිසිම උත්තරයක් නෑ. උත්තර මොනවාද කියලා කියන්නත් බෑ. යටිකූට්ටු වැඩ කරන ආණ්ඩුවක් මේ. ජනතාව මේ ජනාධිපති හෝ  අගමැති හෝ ආණ්ඩුව මේ පාර්ලිමේන්තුව විශ්වාස කරනවාද? ඉතා කෙටිකලක් තුළ ආණ්ඩුව අර්බුදයට විසඳුම් ගේන්න අසමත් බව පෙන්වා හමාරයි.

තවත් පාර්ලිමේන්තු කාලය කා දමා වැඩක් නැහැ. මේකෙන් රටේ  ප්‍රශ්නෙට. ගොවියගෙ පොහොර ප්‍රශ්නෙට හෝ ගෑස් අර්බුදයට හෝ රටේ කිසිදු ප්‍රශ්නයකට උත්තර දෙන්න බැහැ. උත්තර මොනවද කියලා වහාම කියන්න. මේ ජනවරම ඉටුකරන ආණ්ඩුවක් නොවෙයි. ඉබාගාතේ යන ආණ්ඩුවක්. උදේ එකක් කියනවා, දවල් තව එකක් කියනවා. එච්චරයි. මෙවැනි ආණ්ඩුවකින් රටට වැඩක් නැහැ. ඒ වගේම කෙටිකාලීන සැලැස්මක් මාර්ග සිතියමක් වහාම ඉදිරිපත් කරන්න ඕනෑ. එවැනි යෝජනාවලියක් ඉදිරිපත් නොකරන ඒ පාර්ලිමේන්තුව පවත්වා වැඩක් නැහැ. අපි විපක්ෂය ලෙස තීරණය කළා. මේ අර්බුදයට විසඳුමක් දෙන තෙක් පාර්ලිමේන්තුව වර්ජනය කරනවා කියලා.

ලක්ෂ 220ක ජනතාව විසඳුමක් නැති  පීඩනයකින් මිරිකෙනවා : විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අද අපි මේ පාර්ලිමේන්තුවේ රැස්වෙලා ඉන්න මොහොතේ අපේ මහපොළොවෙ දැවැන්ත ඛේදවාචකයක් නිර්මාණය වෙලා තියෙනවා. දරාගන්නට බැරි පීඩනය හමුවේ මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් ජනතාව අන්ත පීඩනයකින් මිරිකෙනවා. ජනතාවගේ පීඩනයට කිසිම විසඳුමක් නෑ. පෙට්රල්, භූමිතෙල්, ඩීසල් පෝලිම් එමටයි. ආණ්ඩු වෙනස් වීමත් එක්ක පෝලිම් වැඩි වෙලා. දරුවන්ට අම්මලට කිරිපිටි ටික නෑ. වැඩ කරන ජනතාවට රස්සා ටික නෑ. කර්මාන්තශාලා වැහෙනවා. රාජ්‍ය සේවකයන් අනාථයි. නාගරික ග්‍රාමීය දුප්පත් නැති බැරි ජනතාව, මධ්‍යම පන්තිය, දෛනික වේතන ලබන ජනතාව, ස්වයං රැකියාලාභීන්, කුඩා හා මධ්‍ය  පරිමාණ කර්මාන්තකරුවන්, අපනයනකරුවන්, කම්කරුවන් අද අන්ත අසරණ වෙලා.

මේ ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අසාර්ථකයි. රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට කිසිම විසඳුමක් නෑ. ගිරාපෝතක න්‍යායක් අනුගමනය කරමින් තමන්ට තියෙන රටට තියෙන ප්‍රශ්න ගැන දුක් ගැනවිලි ඉදිරිපත් කරනවා.

අද තියෙන්නෙ ගිරාපෝතක ආණ්ඩුවක්. මිනිස්සුන්ට මේ දුක උහුලා ගන්න බෑ.

වසර දෙකක් තුළ උද්දච්ච අත්තනෝමතික ඒකාධිපති පාලනයක ප්‍රතිඵල මේ. මහජන වරමක් තුළින් ජනාධිපතිවරයා ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුවක් පිහිටෙව්වා.

සෞභාග්‍යයේ දැක්ම අද ජනතාවගේ අභාග්‍ය බවට පත්වෙලා. මිනිස්සුන්ට කන්න රස්සා නෑ. රෝහල්වල බෙහෙත් නෑ. ශල්‍යකර්ම නතර කරලා. ප්‍රවාහනය අඩපණ වෙලා. පාසල් වහලා. හතළිස් තුන් ලක්ෂයක් දූදරුවන් අනාථයි. දුන්නු දිවා ආහාරය කපලා.

වැඩකරන ජනතාව අනාථයි. සාමාන්‍ය ජනතාව අනාථයි. කිසිම සහකම්පනයක් නැති රජයක් අද තියෙන්නෙ. මේ සභාව කතා සාප්පුවක් පමණක් බවට පත්වෙලා තියෙනවා. කරන කිසිම යෝජනාවකට සාධනීය ප්‍රගතිශීලී විසඳුමක් නැහැ. ආණ්ඩුවට කිසිම සහකම්පනයක් නෑ. විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා මෑතකදී කෝප් සභාවට ඇවිල්ලා පුදුම ප්‍රකාශයක් කරනවා. පස්සේ එයා කියනවා කම්පනයෙන් හිටියා කියලා.

එයා අමාරුවෙන්ලු හිටියේ. එය පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගන්න තිබුණ නිසා. මොකටද කම්පා වෙන්නේ. පාර්ලිමේන්තුවේ 120ක් අත් ඉස්සුවේ හොරකම් කරන්න. සාක්කුවේ ඩොලර් ටික දාගන්න. දැන් විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා අයින් වෙලා. නමුත් ඔහු නිසා අපේ වරප්‍රසාද කඩ වෙලා තියෙනවා. මේ සභාපතිවරයා එක්කෝ සත්‍ය කීවා. පස්සේ බලපෑමක් නිසා ඉල්ලා අස්වුණා. එහෙම නැත්නම් ටොම් පචයක් කීවා.

මිනිස්සු පෝලිම්වල දුක්විඳින මොහොතේ ආණ්ඩුව ගෑස්වලින් ගහනවා. ඩොලර්වලින් කප්පම් ගන්නවා. ඉන්දියාව දුන්න ණය ආධාරවලින් බෙහෙත් ගේනකොටත් හොරා කනවා. ඒ කවුද කියලා ඉස්සරහට කියන්නම්.

මන්දිරවල ඉඳලයි මේ කප්පම් ගන්නේ. මේ රටේ ජනතාවගේ දුක මේ ආණ්ඩුවට තේරෙන්නෙ නැද්ද? මේකට විසඳුම් නැද්ද?

අද පාර්ලිමේන්තුව හෑල්ලු කරලා. ජනමතය නොදන්න ජනසම්මතවාදය නොදන්න හිස් චරිත කෑගහනවා. ඔය කෑගහන මිනිස්සුන්ට කොන්දක් තියෙනවා නම් මහ පාරට බහින්න. හැබැයි අපිට පාරට බහින්න පුළුවන්. මොකද අපිට ආත්ම ගෞරවයක් තියෙනවා. අපි ප්‍රතිපත්ති ගරුක වුණා. අපි තනතුරුවලට තානාන්තරවලට අපේ ආත්ම ගෞරවය නැති කරගත්තේ නෑ.

මේ ආණ්ඩුවට මේ රටේ ගොවියාගේ දුක තේරෙන්නේ නැද්ද? කෝ පොහොර? අද ධීවරයාට ධීවර රස්සාව කරගන්න බෑ. ගෑස් ටික නෑ. මේක ඩොලර් පවා හොරා කන ජරා ආණ්ඩුවක්.

ඔළුගෙඩි මාරු කරගෙන දැන් ලොක්කො වගේ සැප විඳිනවා. නමුත් ලක්ෂ දෙසිය විස්සක් වන මේ රටේ ජනතාව අනාථයි. ඒ ජනතාවගේ හඬ මේ සභාව ඇතුළු අපි නියෝජනය කරනකොට ගිරා පෝතකයෝ කෑගහනවා. වහල්ලු කෑගහනවා. අද පාර්ලිමේන්තුවේ අපි රැස්වෙනවා. මොකද්ද මේ රටේ ලක්ෂ 220ට මේකෙන් තියෙන පලේ. අද ජීවන බර අහස උසට ගිහින්. මේ දුක තේරෙන්නේ  නැද්ද? ආණ්ඩුවට හිතක් පපුවක් නැද්ද?

ආණ්ඩුවේ හදවත උණු වෙන්නෙ නැද්ද?

විපක්ෂයේ සියලුම ප්‍රගතිශීලී කණ්ඩායම් සමඟ අපි තීන්දුවක් අරගෙන තියෙනවා මේ පාර්ලිමේන්තුව වර්ජනය කරන්න.

මේ රටේ ජනතාවගේ දුක නොතේරෙන ආණ්ඩුව, බොරු කියන ආණ්ඩුව, රට රවටන ආණ්ඩුව කරන්න බොරුවට අපි සම්බන්ධ වෙන්නේ නැහැ. අපි මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරනවා.