ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව පාලනය කරන්න ශ්‍රී ලංකා හිටපු පුහුණුකරුවකුගෙන් ලයන්ට උපදෙස්

0
45

ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී  ලංකාවෙන් එල්ල විය හැකි අබියෝග ජයගැනීමටත්, 2016දී සිදුවූ අත්වැරදි මඟහරවා ගැනීමේ අපේක්ෂාවෙන් තමන් ශ්‍රී  ලංකා හිටපු ප්‍රධාන පුහුණුකරු සහ වර්තමානයේ නිව්සවුත්වේල්ස් පිතිකරණ පුහුණුකරු චන්දික හතුරුසිංහගෙන් උපදෙස් ලබා ගත් බව ඕස්ට්‍රේලියානු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක නෙදන් ලයන් පවසා තිබිණි.

ඒ අනුව ශ්‍රී  ලංකාව සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වීමේ අරමුණින් ශ්‍රී  ලංකාවට ළඟා වීමෙන් අනතුරුව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නෙදන් ලයන් මේ බව අනාවරණය කළේය.

එහිදී ශ්‍රී  ලංකා ටෙස්ට් තරග සංචාරය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නා මෙසේද අදහස් දක්වා තිබිණි. “2016 වසරේ ශ්‍රී  ලංකා ටෙස්ට් තරග සංචාරයේදී අපි වටිනා පාඩම් රැසක් ඉගෙන ගත්තා. එවැනිම තරගාවලියකට මුහුණදීමට සිදුවනු ඇති බව එම තරගාවලියේදී කණ්ඩායමේ සාමාජිකත්වය දැරූ කිසිදු ක්‍රීඩකයකු හෝ පුහුණු කාර්යමණ්ඩල සාමාජිකයකු නොසිතන්නට ඇති බව මා විශ්වාස කරනවා. ඒ අනුව එය දැඩි අභියෝගාත්මක තරගාවලියක් වූ අතරම අපි සියලුදෙනාට පාඩම් රැසක් ඉගැන් වූ තරගාවලියක් ලෙස එය හඳුන්වා දිය හැකියි. ඒ අනුව ඉන් උගත් පාඩම් සමඟින් අපගේ ක්‍රිකට් දිවිය වර්ණවත් කර ගැනීමට අපට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් ශ්‍රී  ලංකාවේදී පන්දු යැවීමේ මනෝභාවය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මෙහිදී මා පන්දු යැවීමේදී යොදාගන්නා උපාය මාර්ගත් පන්දු රකින්නන් ස්ථානගත කිරීමෙහිත් වැඩි වෙනසක් සිදු කිරීමට අවශ්‍ය වේ යැයි මා සිතන්නේ නැහැ”

මෙහිදී ශ්‍රී  ලංකා හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරැසිංහගෙන් ලබා ගත් ගුරුහරුකම් සහ උපදෙස් සම්බන්ධයෙන් අදහස් දක්වා තිබු නෙදන් ලයන් “ශ්‍රී  ලංකා හිටපු ප්‍රධාන පුහුණුකරු සහ වර්තමානයේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු චන්දික හතුරුසිංහ සමඟින් ඉතාමත් සාධනීය සාකච්ඡාවක් පැවැත්වීමට මට හැකියාව ලැබුණා. එමඟින් ආසියානු කලාපීය රටක ක්‍රීඩා කරද්දී වඩාත් ඵලදායි ලෙස යොදාගත හැකි කරුණු රැසක් මාගේ දැනුමට එක්කර ගැනීමට හැකියාව ලැබුණා.

එමෙන්ම ශ්‍රී  ලංකාවේ තණතීරු සහ මෙහි ටෙස්ට් තරග ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට මට හැකිවූ බවත් පැවසිය යුතුයි. එම දැනුම මෙම ශ්‍රී  ලංකා තරග සංචාරයේදී වඩාත් ඵලදායීව යොදාගත හැකි වෙතැයි මා විශ්වාස කරනවා. එම කරුණු වඩාත් උපායශීලී වනු ඇති බවයි මගේ හැඟීම.” යනුවෙන් පවසා තිබීමද කැපීපෙනෙන සිදුවීමකි. කෙසේ වෙතත් නිසැකවම ශ්‍රී  ලංකාවේ ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීම යනු දැඩි අභියෝගයක් බවද ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නා පවසා තිබේ.

ගමිත දෙහිපිටිය