වවලා ගන්න දේ කටට දාගන්න පින නැතිවෙයිද?

0
76

අර්බුදයන්ගෙන් මිරිකිලා, තෙරපිලා, බැටකාලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ළඟඳිම කන්න බොන්නත් නැති වෙනවලු. ඉදිරි සතිය දෙක තීරණාත්මකයි කියල කියන්න එලාම් එකක් තියෙන එකත් එක අතකින් සෑහෙන  සැනසිල්ලක් කියලා සමහරු හිතන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් ජනතාවට පටි තද කරගන්න කියලා මොන තරම් කිව්වත් වැඩක් නැහැ රටේ ප්‍රශ්න ඇති නොවෙන්න වැඩ සැලසුම් සහගතව කරගන්න පාලකයන්ට බැරි නම්. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මෙටි්‍රක් ටොන් 270,000ක් පමණ එළවළු හා පලතුරු අපතේ යෑමක් සිදුවන බව ඔබ දන්නවද? නිසි ප්‍රවාහන ක්‍රම භාවිත නොකිරීම නිසා සහ ශීතාගාර පහසුකම් නොමැති වීම නිසා කෘෂිකාර්මික සහ ධීවර නිෂ්පාදනවලින් 30% – 40%ත් අතර ප්‍රමාණයක් අහිමි වී, විනාශ වී යන බව වාර්තා වෙනවා. මේ කියන සාධකය නිසා ආහාරයට ගත හැකි භාණ්ඩවල මිල වැඩි වීමට වගේම උද්ධමනය වැඩි වීමට හේතුවක්.

රජයෙන් විවිධ ආකාරයේ යටිත, පහසුකම් සැපයීම සඳහා ව්‍යාපෘති ආරම්භ කළත් එයින් සැබෑ ඵලදායීතාව ලබා ගැනීමට අපොහොසත් වෙලා තියෙනවා. උදාහරණයක් ගන්නවා නම් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ශීතාගාර පහසුකම් නොමැතිවීම හේතුවෙන් පලතුරු හා එළවළු දින කිහිපයක් ගබඩා කර තැබීමට නොහැකි නිසා කෘෂි නිෂ්පාදන බොහොමයක් විනාශ වෙනවා. එහෙම වෙන්නෙ ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් 73%කට ප්‍රමාණවත් පරිදි එළවළු සහ පලතුරු පරිභෝජනය කරන්න නොහැකි සහ අවුරුදු 05ට අඩු දරුවන්ගෙන් 21%කට පමණ මන්දපෝෂණ තත්ත්වයක් පවතින මොහොතකදී වීම විශේෂත්වයක්. එහෙම තත්ත්වයකදී කෙතරම් බලපෑමක් මෙම පසු අස්වනු හානිය නිසා සිදු වෙනවද කියන කාරණාව බරපතළව සිතිය යුතුයි.

සාමාන්‍යයෙන් එළවළු හා පලතුරු ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගැනීමේ හැකියාව පැවතුණත් එම ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක නොවන නිසා මේ මොහොත වන විටත් දුම්රිය හරහා ප්‍රවාහන කටයුතු සිදු කරනුයේ 1%ක් වැනි ප්‍රතිශතයක් පමණයි. ලොරි සහ වෙනත් ප්‍රවාහන ක්‍රම භාවිත මඟින් භාණ්ඩ ප්‍රවාහනයේදී විශාල නිෂ්පාදන ප්‍රමාණයක් විනාශ වී යනවා වගේම එම තත්ත්වය මඟ හැරීම සඳහා දුම්රිය විශේෂ මැදිරි කිහිපයක් හෝ එක් කිරීමටත්, ශීත කළ දුම්රිය මැදිරි යොදා ගැනීමටත් හැකියාවක් පවතිනවා. මෙම ක්‍රමවේදය නිසි පරිදි භාවිත කරනවා නම් පසුගිය වසරවල 60%කින් පමණ ඉහළ ගොස් තිබෙන භාණ්ඩ ප්‍රවාහන වියදම් අවම කර ගැනීමටත් හේතුවක් වේවි. ඉන්දියාව වගේ රටවල් එළවළු සහ පලතුරු ප්‍රවාහනය සඳහා ඊටම වෙන්කළ දුම්රිය ප්‍රවාහන ක්‍රමයන් භාවිත කරන ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීම මේ සඳහා වැදගත් වේවි. මේ කරුණ තුළින් දැකිය හැක්කේ ශ්‍රී ලංකාවට තවමත් නිසි පරිදි ක්‍රියාත්මක වන කෘෂි කාර්මික ප්‍රතිපත්තියක් නොමැති බවයි.

ඒ වගේම, දේශීය ගොවියා සහ පාරිභෝගිකයන් යන දෙපාර්ශ්වයටම ගැටලුවක් වන අතරමැදියන්ගේ අසීමිත ලාභ ඉපයීම වැළැක්වීමට සහ මෙරට එළවළු හා පලතුරු පසු අස්වනු හානිය අවම කිරීම මෙන්ම කෘෂි නිෂ්පාදන සාධාරණ මිලට අලෙවි කිරීම සඳහා කඩිනම් වගා සැලැස්මක අවශ්‍යතාවක් පවතිනවා. රජය මේ සඳහා අවධානය යොමු කරනවා නම් ආහාර සම්බන්ධ ගැටලුවට හොඳ විසඳුමක් ලබාදිය හැකියි.

1980 අංක 26 දරන ආහාර පනත ශ්‍රී ලංකාවේ ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බවට අදාළ ප්‍රධානතම පනත ලෙස ක්‍රියාත්මක වන අතර එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හරහා පළාත් පාලන ආයතන සහ කලාපයේ අදාළ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල හරහා ක්‍රියාත්මක කරනවා. මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ආහාර උපදේශන කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා වගේම පනතේ විවිධ අංශ ක්‍රියාත්මක කරන විවිධ ආයතනවල නියෝජිතයන් 25 දෙනකු එහි සාමාජිකයන් ලෙස කටයුතු කරනවා.

ඉහතින් සාකච්ඡා කිරීමට යෙදුණු ප්‍රවාහන දුර්වලතා, අවම ගබඩා පහසුකම්, නුසුදුසු අස්වනු නෙළීමේ ක්‍රම, නුසුදුසු පොහොර භාවිතය, ඉල්ලුම පිළිබඳව ගොවීන්ට නිසි අවබෝධයක් නොමැති වීම, පලතුරු ඉදවීම සඳහා භාවිත කරන ක්‍රමවේදයන් හි පවත්නා දුර්වලතා යනාදිය හේතුවෙන් ආහාරවල පැවැත්මට මෙන්ම සෞඛ්‍යාරක්ෂිත භාවයටද හානි සිදුවෙනවා. මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ගොවි ජනතාවට දැනුම ලබාදීම ඉතාම වැදගත්. මේ සියල්ල සඳහා විස¾දුමක් ලෙස ආහාර දාම සැපයුම් ක්‍රමවේදය යෝජනා කළ හැකියි.

මේ වනවිට ආහාර දාම සැපයුම් කළමනාකරණය ගෝලීය විෂය පථයක් වන අතර එය ශ්‍රී ලංකාවේ අපනයන ක්‍රියාවලියටද ඉතාමත් වැදගත්. දැනට ශ්‍රී ලංකාවේ ආහාර සැපයුම තුළ සෞඛ්‍යාරක්ෂිත භාවයේ ගැටලු පැන නැඟී තිබීමත් අපනයන ක්‍රියාවලියේදී නිසි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම සිදු කළ යුතුය. මේ සඳහා කෘෂිකාර්මික පිළිවෙත් වැඩසටහනක් 2015 වසරේදී හඳන්වා දෙනු ලැබූ අතර එම වැඩසටහන වඩා ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීම මේ මොහොත තුළදී සිදුවිය යුතුයි.

මෙම තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා නිවැරදිව සිදුවන සැපයුම් දාම කළමනාකරණය භාවිත කළ හැකියි. සැපයුම් දාමය බිහිවන්නේ ආයතනයන් අතර කාර්යක්ෂමව විවිධ ක්‍රියාදාමයන් සම්බන්ධීකරණය කිරීමේ අවශ්‍යතාව මතයි. මෙම ක්‍රියාදාමයට මානව කුසලතා සම්බන්ධ නිෂ්පාදන, නිෂ්පාදන සකස් කිරීම, නිෂ්පාදන බෙදා හැරීම යනාදිය ඇතුළත් වෙනවා. පොදුවේ සැපයුම් දාම කළමනාකරණය ආරම්භ වන්නේ නිෂ්පාදනය කළයුතු නිෂ්පාදන වර්ගය විශ්ලේෂණය කිරීම තුළින්. ඒ හරහා දැනට ශ්‍රී ලංකාවේ අතිරික්ත නිෂ්පාදනයන් අඩු කොට නිෂ්පාදන වර්ගීකරණය කිරීමකට ලක් කළ හැකියි. ඒ වගේම එක් එක් ප්‍රදේශයන් සඳහා වඩා උචිත නිෂ්පාදන වර්ගයන් තෝරා ගෙන එම නිෂ්පාදනයන් සඳහා දිරිමත් කිරීම වැනි වැඩසටහන් මේ තුළින් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක්ද පවතිනවා.

ඉන් අනතුරුව ගබඩා කිරීම, බෙදා හැරීමේ ක්‍රියාවලියන් සැලසුම් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමද සැපයුම් දාම කළමනාකරණය හරහා සිදුවෙනවා. මෙම ක්‍රියාවලියේ අවසානය සනිටුහන් වන්නේ නිෂ්පාදනය පරිභෝජනයට ගැනීම තුළින්. සැපයුම් දාම ක්‍රියාවලියේ යම් පියවරක ‍ෙදා්ෂයක් හට ගන්නේ නම් ඔය අවසන් ප්‍රතිඵලය සඳහා දැඩි ලෙස බලපානවා. ශ්‍රී ලංකාවේ එම ක්‍රියාවලිය තුළ පවත්නා ‍ෙදා්ෂ හේතුවෙන් ආහාර සහ පලතුරු මෙතරම් දැඩිව අපතේ යෑමට හේතුවක්.

ඒ අනුව සැපයුම් දාම කළමනාකරණය තුළින් ලබා ගන්නා ඉහළ ඵලදායීතාව, පිරිවැය අඩු කිරීම, නිෂ්පාදනය ඉහළ නැංවීම, ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ප්‍රමාදය අඩුවීම, සැපයුමේ සඵලතාව ඉහළ නැංවීම වගේ ප්‍රතිලාභයන් මඟින් මෙරට පවතින ආහාර හා පලතුරු නාස්තියට වගේම අධික මිළ ඉහළ යෑම සඳහාඳ විසඳුම් සෙවිය හැකිවේවි. ඒ සඳහා ජනතාවට පටි තද කරගන්න කියනවට වඩා සැලසුම් තුළින් ක්‍රියාත්මක වන රජයකට වඩා යහපත් දෙයක් සිදුකරන්න හැකියාවක් පවතින බව අප අවබෝධ කරගත යුතුව පවතින බවත් කිව යුතුයි.

චතුරංග හතුරුසිංහ