ටොෆි කොළයේ විනය එක්ක ජපානයෙන් ඉගෙනගන්න

0
66

හීන මානය කියන්නෙ හොඳ දෙයක් නෙමෙයි. ඒත් සමහර තැන්වලදී අධි මානය කියන්නේ හීන මානෙටත් වඩා නරක දෙයක්. ඇයි දන්නවද? තමන් දන්නවා කියලා හිතාගෙන ඉන්නවට වඩා තමන්ට තව ගොඩක් දේවල් දැන ගන්න තියෙනවා කියලා හිතා ගෙන ඉන්න එක ඇඟට ගුණයි. කනගාටුවෙන් වුණත් කියන්න ඕනෙ ලංකාවේ ගොඩක් මිනිස්සු තාමත් වෙනස් වෙන්න කැමැති නෑ. “අපි තමයි හොඳම, ලෝකෙ ඉන්න හැද්දිච්චිම මිනිස්සු ඉන්න රට, අපිට අච්චර කාලේක හිස්ටි්‍ර එකක් තියෙනවා, මෙච්චර කාලෙක අත්දැකීම් තියෙනවා…..” ඔන්න ඔහොමයි බහුතරයක්.

අපේ රටේ පොඩි කොල්ලෙක් හිටියා ජපන් උණ තියෙන. මේ පොඩි එකාට මුලින්ම  ජපානෙට හිත ගියේ එහෙ තියෙන ලස්සනට. කොහොම හරි අන්තිමේට කොල්ලා ජපානෙට ගියා. එයාට කාලයක් යද්දි හොඳම යාළුවෙක් හම්බුණා. එයාගේ නම ඉචිකා. සාම්ප්‍රදායික ජපන් පවුලක ඉපදුණු සාම්ප්‍රදායික නොවන ජපන් කෙල්ලෙක්. හරිම සාමාන්‍ය කෙල්ලෙක්. අනිත් අයට සාපේක්ෂව උසින් අඩු හා දත් පේළියක් ඉස්සරහින් තියෙන හිනා වෙද්දි ඒ දත් ටික විතරක්ම පේන චූට්ටං කෙල්ලෙක්.

බටු ඇටයක් සයිස් වුණාට හැම ජපන් ජාතිකයෙක්ටම වගේ පුදුමාකාර විනයක් එයාට තිබුණා. විනය කියන්නෙ ස්ටෑන්ඩ් අප් කියද්දී ඉද්ද ගහලා නැඟිටලා සීරුවෙන් ඉන්න එකටවත්, සිට් ඩවුන් කියද්දි ඩෝං ගාලා ඉඳ ගන්න එකටවත් නෙමේ. එයාලාට තිබුණෙ තමන් තුළින්ම හදා ගත්තු විනයක්. ජපානයේ යං ජෙනරේෂන් එක ජපානෙට අකැමැති වෙන්න හේතු විදිහට කියන්නේ ඒගොල්ලො සම්ප්‍රදායෙන් බැහැර වෙලා නිදහස්ව ඉන්නකොට ඒ දිහා වපරැහින් බලන ගොඩක් පිරිසක් සමාජයේ ඉන්නවලු. ඒක නම් ඉතින් ආසියාතික රටක සාමාන්‍ය දෙයක්නෙ.

අර ජපානෙ ඉන්න අපේ රටේ පොඩි කොලු ගැටයා ඉචිකා එක්ක ලෙක්චර්ස් ඉවර වෙලා ඇවිදින්න ගියා. මුලින්ම ජපානෙ මෙහෙම ඇවිදිද්දි එයාට දැනුණෙ කියලා නිම කරන්න බැරි තරමේ කුතුහලයක්. බීම දාලා තියෙන පොඩි බීම කෑන්වල බේල් ක්‍රමයටත් සටහන් කරලා තියෙනවා කියලා එයා දැක්කේ ඒ දවසේ. තරගෙට රසම රස බීම වගයක් බීලා ඊළඟ පියවරට (ඒ කියන්නෙ වොෂ් රූම් අවශ්‍යතාව) අඩිය තියද්දි කොල්ලාට කරන්න ඕනෙ වැඩෙත් අමතක වුණා. ඒ වොෂ් රූම් එක ඉස්සරහ ස්ක්‍රීන් එකක් තියෙනවා. ඒ ස්ක්‍රීන් එකේ මේ වෙලාවෙ ෆ්‍රී තියෙන වොෂ් රූම් සහ කට්ටිය ඇතුළෙ ඉන්න වොෂ් රූම් වෙන වෙනම පිළිවෙළට පෙන්නුම් කරනවා. කොමඩ් එක උඩින් සින්ක් එකක්. කොමඩ් එක ෆ්ලෂ් කරද්දී එන්නෙ අර කලින් අත හෝදපු  වතුර. ජපන්නු හපන්නු කියන්නෙ නිකන්ද. වතුර ටික නාස්ති වෙන්නෙත් නෑ, වැඩෙත් ගාණට ඉවරයි. අපේ රටේ වගේ කුණු කානු වෙනුවට ජපානේ තියෙන්නෙ මාළු පීනන කානු පද්ධති.

අපේ සිරි ලංකන් බෝයි එයාගේ මූණත් තහඩුවේ සෙල්ෆි වෙනුවට ජපානේ තියෙන මේ අමුතු අමුතු දේවල්වල ෆොටෝස් බුකියෙ ශෙයාර් කළා. එයාගේ ෆොටෝ රොත්ත අස්සේ ට්‍රේන් එකට නඟින්න ඉන්න පිරිසකගේ පෝලිමක් දැකලා මගෙ පංචස්කන්දෙම සලිත වෙලා ගියා. මම හවසට ඔෆිස් ඉවර වෙලා කොටුවෙන් ට්‍රේන් එකට නඟින්නෙ මුළු ජීවිතේම දෙයියන්ට භාර දීලා. පෝලිමක් තියා කෝච්චියෙ නඟින තැනක් පේන්නෙත් නෑ. එහෙම්ම තල්ලු වෙලා කෝච්චිය ඇතුළට යන්නෙ සුනාමියට අහු වෙලා වගේ. ජපානේදී කට්ටිය  එන පිළිවෙළට හරිම ලස්සනට පෝලිම්වල බලන් ඉන්නවා. එයාලා කොහෙත් එහෙමලු. සුපර් මාකට් එකට ගියත්, මොන අවස්ථාවකට ගියත් තමන්ගෙ වාරෙ එනකන් බොහෝම ලස්සනට බලන් ඉන්නවා.

ඉචිකා පුංචි කාලේ ගිහින් තියෙන්නෙ හරි පුදුම ඉස්කෝලෙකට. එයාලාගේ ඉන්ටර්වල් එක වෙනම පාඩමක් ඉගෙන ගන්න පුළුවන් තැනක්. කට්ටිය වෙලාව ආවාම තම තමන්ගේ පන්තියට අදාළ කෑම අරන් එනවා. ඉචිකාගේ පාසලේ ඒ කෑමවලින් ගොඩක් දේවල් පාසලේම වගා කරපු දේවල්. පුංචි ළමයි ටික කෑම බෙදා ගන්න එකේ ඉඳන් සේරම කරන්නෙ එයාලමයි. කෑම දුන්න අයට ස්තූති කරලා ආහාර ගත්තට පස්සෙ ඉවත දාන කුණු ඔක්කොම වෙන් කරලා හරිම පිළිවෙළකට සකස් කරනවා. බඩ පිරෙන්න කෑවට පස්සෙ එයාලා ඔක්කොම එකතු වෙලා ක්ලාස් රූම් එක පිහදාලා අතුගාලා සුද්ද කරනවා. අනිත් ස්කෝලවල නම් කොහොමද දන්නෙ නෑ ඉචිකාගේ පාසලේ නම් කෑම කෑවට පස්සෙ දතුත් මදිනවලු. ඇටිටියුඩ් හදන්න ඕනෙ පුංචි කාලේ ඉඳන්. වැඩුණු ගහක් හොල්ලන්න බෑනෙ. පුංචි පැළයක් මුල ඉඳන් හරි විදිහට හදන්න පුළුවන්.

ජපානේ ඉන්න චූටිම චූටි ළමයෙක්වත් තමන්ගේ අපද්‍රව්‍ය පාරෙ දාන්නෙ නැහැ. ඒගොල්ලො පරිසර රසකාමියෝ. ජපානේ පාරවල්වල කුණු ගොඩවල් කෙළ පාරවල් දකින්න නෑ.

තමන් කන ටොෆියෙ කොළේ බෑග් එකට ඔබා ගෙන එන්න බැරි ඒ ටොෆි කොළෙත් පාරට විසි කරලා එන අපේ අයට ආඩම්බර වෙන්න දෙයක් තියෙනවාද? ටොෆි කොළේ පැත්තකට දාන්නකෝ. මේ වසංගත කාලේ මූණට දාන මාස්ක් එක පිළිවෙළකට බැහැර කරන්න බැරි ලාංකේය පුරවැසියාගේ සංස්කෘතිය, සදාචාරය රෙද්ද පල්ලෙ බේරෙනවා.  හැමෝම නොවුණත් ඒ වගේ මන්ද මානසික සෙට් එකක් අපේ රටේ ඉන්නවා කියලා කනගාටුවෙන් වුණත් පිළිගන්න වෙනවා මිත්‍රවරුනේ.

අපි හරි දක්ෂයි එකිනෙකාට වරද පටවන්න. සිස්ටම් එක වෙනස් වෙන්න පටන් ගන්න ඕනෙ ඔයාගෙන්. මේ ඉන්න යං ජෙනරේෂන් එකෙන්. මාරි බිස්කට් එක තේ එකේ වැටිලා දිය වෙද්දි දුක හිතුණට අපි  හැමෝම වැඩිහිටියෝ. දශක ගාණක් පුරා තිබ්බ වෙනස් නොවෙන සිස්ටම් එක ඉදිරියටත් මෙහෙම නම් ඒ කාරණාවට පළමුවැනි වරදකාරයා ඔයා. ඔබ වෙනස් වුණොත් රටම වෙනස් වෙයි.

ජපානෙන් ලංකාවට එන්න කලින් තවත් චූටි කතාවක් කියන්නම්. ඔන්න එක ජපනෙක් අතින් තව කෙනෙක්ගේ බයික් එකක බෙල් එක කැඩුණලු. වටපිට බැලුවත් අයිතිකාරයා නෑලු. ඉතින් ටිකක් වෙලා එතන ඉඳලා එයා ගිහින්. අයිතිකාරයා ඔන්න පැයකින් විතර ආපහු තමන්ගෙ බයික් එක ළඟට ආවා. එයාගේ බයික් එකේ චූටි ලියුම් කෑල්ලක් එක්ක මුදල් වගයක් තියලා ගිහින්. අයිතිකාරයා ලියුම දිග ඇරියා.

“I accidentally knocked over your bike and broke the bell. I am very sorry”

සයොනාරා!!!

තාරිකා ද සිල්වා