ඖෂධ නියාමන අධිකාරියේ මිල නියම කිරීම ඖෂධ ලබාගැනීමට බාධාවක්ද?

0
104

වර්තමාන වෙළෙඳපොළේ ඇති ඖෂධ හිඟය ශ්‍රී  ලංකාවේ ඖෂධ ලබාගැනීමේ හැකියාව නියාමනය කරන නියාමන යාන්ත්‍රණයන් කෙරෙහි දැඩි ජනතා අවධානයක් යොමුවීමට හේතු වී තිබේ. එවැනි නියාමන යාන්ත්‍රණයක් පාරිභෝගිකයාගේ අයිතිවාසිකම්වලට අහිතකර ලෙස බලපාන්නේද යන ගැටලුවද එමඟින් මතු කර ඇත.

ශ්‍රී  ලංකාවේ ඖෂධ සැපයීම, අලෙවි කිරීම සහ නියාමනය සිදුකරනුයේ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ 2015දී පිහිටුවන ලද ජාතික ඔෟෂධ නියාමන අධිකාරිය (මින් පසු අධිකාරිය යනුවෙන් හැඳින්වෙන) මඟිනි.

මෙම පනතේ මූලික පරමාර්ථය වන්නේ ‘ප්‍රත්‍යක්ෂ, ආරක්ෂාකාරි සහ නිවැරැදි තත්ත්වයෙන් යුතු ඔෟෂධ සාධාරණ මිලකට මහජනතාවට ලබාදෙන බව තහවුරු කිරීමයි.’

නියාමන සමතුලිතතාව පවත්වාගෙන යෑම අධිකාරියේ ප්‍රධානතම අපේක්ෂාව ලෙස අපට හඳුනාගත හැකිය. ඒ අනුව එක් අතකින් වෙළෙඳපොළ තුළ හිඟයකින් තොරව ඖෂධ පවතින බවට අධිකාරිය සහතික කළ යුතු අතරම අනෙක් අතට එම ඖෂධ දැරිය හැකි මුදලකට මිල කරන බවටද සහතික කළ යුතුය. මෙකී අරමුණ සාක්ෂාත් කරගැනීම රඳා පවතිනුයේ ඖෂධ සමාගම්වලට යම් මූල්‍යමය නිශ්චිතභාවයකින් ඖෂධ සැපැයීම සහතික කිරීමට හැකි කරවන ඵලදායි මිලකරණ යාන්ත්‍රණයක් පැවැතීම මතය. කිසිදු සමාගමක් වර්තමාන වෙළෙඳපොළ මිලට වඩා අඩුවෙන් ඖෂධ සැපැයීමට කැමැති නොවන හෙයින් අත්තනෝමතික සහ පාරාන්ධ මිල නියමයන් පවත්වාගෙන යෑම, ඖෂධ සැපැයීමට ඇති හැකියාව කිසියම් අවිනිශ්චිතතාවකට ලක් කළ හැකි අතර එය නිරන්තරයෙන් වෙළෙඳපොළට බාධා ඇති කරන්නකි.

මෙම ලිපිය ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ ශ්‍රී  ලංකාවේ ඖෂධ මිල නියම කිරීමේදී අත්තනෝමතිකත්වයට ඉඩ සලසන ආකාරයත් එමඟින් එහි මූලික අරමුණ වන හිඟයකින් තොරව ‘වෙළෙඳපොළේ ඖෂධ පවතින බවට සහතික කිරීම’ යන්න ස්වයං ලෙස කඩාකප්පල් කරන ආකාරයත් පැහැදිලි කරයි.

ලියාපදිංචි කිරීමේදී අත්තනෝමතික මිලකරණයක්

ඕනෑම ඖෂධයක් ලියාපදිංචි කරන අවස්ථාවේදීම එහි සිල්ලර මිල අධිකාරිය විසින් තීරණය කරනු ලබයි. අධිකාරිය යටතේම පිහිටුවන ලද ඖෂධ ඇගයීම් කමිටුව (‘MEC’) ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරන ලද ඖෂධවල තාක්ෂණික ඇගයීම් සිදුකර අධිකාරිය වෙත වාර්තා ඉදිරිපත් කරයි. මෙම වාර්තා මඟින් එම ඔෟෂධවල ප්‍රතිලාභ සහ අවදානම් හඳුනා ගැනීම මෙන්ම එම ඖෂධවල තත්ත්වය, ප්‍රත්‍යක්ෂභාවය, ආරක්ෂාකාරි බව, අවශ්‍යතාව සහ මිල නියම කිරීම සිදුකරයි.

මෙම ක්‍රියාවලියේදී පනත යටතේ පිහිටුවන ලද මිල කමිටුව විසින් මිල කිරීම පිළිබඳ නිර්දේශයක් ඔෟෂධ ලියාපදිංචි කරන අවස්ථාවේදී ඔෟෂධ ඇගයීම් කමිටුව වෙත ලබාදෙයි.

මිල කමිටුව පිළිබඳව වැඩිදුර විස්තර 2019 මිල රෙගුලාසි (‘2019 රෙගුලාසි’) හි දක්වා ඇත. 2019 රෙගුලාසි මඟින් අදාළ තොරතුරු ලබාගැනීමට සහ ඖෂධවල සුදුසු මිල වැඩි කිරීම් සහ අඩු කිරීම් නිර්දේශ කිරීමට මිල කමිටුවට බලය ලබාදෙයි. මීට අමතරව ඔෟෂධ ලියාපදිංචි කිරීමේදී හෝ ලියාපදිංචිය අලුත් කිරීමේදී ඖෂධයක උපරිම සිල්ලර මිල නිර්දේශ කිරීමට මිල කමිටුවට බලය ඇත.

කෙසේ වෙතත්, ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත හෝ 2019 වසරේදී ඒ යටතේ පනවන ලද රෙගුලාසි මඟින් ඖෂධවල මිල තීරණය කිරීමේදී අනුගමනය කළ යුතු කිසිදු ප්‍රොටෝකෝලයක් නියම කර නොමැත. නීත්‍යනුකූලව පනවන ලද සහ විනිවිදභාවයෙන් යුත් මිල නියම කිරීමේ ප්‍රොටෝකෝලයක් දැනට නොමැති වීම, ඖෂධවල මිල තීරණය කිරීම සඳහා මිල කමිටුවට සහ එමඟින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත පුළුල් සහ අසීමිත අභිමතයක් ලබාදෙයි.

එබැවින් ඖෂධයක උපරිම සිල්ලර මිල නියම කිරීම සම්බන්ධයෙන් අත්තනෝමතික තීරණ ගත හැකි නීතිමය පසුබිමක් ජාතික ඔෟෂධ නියාමන අධිකාරි පනතේ අඩංගු වේ.

ඇමැතිවරයාගේ කැමැත්ත

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඕනෑම ඖෂධයක උපරිම සිල්ලර මිල නියම කිරීම සඳහා අසීමිත ව්‍යවස්ථාපිත අභිමතයක් භුක්ති විඳීම හේතුවෙන් ඖෂධයක් ලියාපදිංචි කිරීමේදී හෝ ඉන් පසුව ඕනෑම අවස්ථාවකදී අත්තනෝමතික ලෙස මිල නියම කිරීමක් සිදුවිය හැකිය. ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත හෝ 2019 රෙගුලාසි මඟින් ඖෂධ මිල නියාමනය කිරීමේදී අමාත්‍යවරයා තම බලතල ක්‍රියාත්මක කළ යුත්තේ කුමන තත්ත්වයන් යටතේද සහ කවර ක්‍රියාපටිපාටිය යටතේද යන්න නියම කර නොමැත. තවද, අමාත්‍යවරයා විසින් මිල කමිටුවේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අදහස් විමසිය යුතු වුවද, අමාත්‍යවරයා සිය අවසාන තීරණය සාධාරණීකරණය කළ යුතු බවට හෝ කිසිදු පාර්ශ්වකරුවකුගේ නිර්දේශ පිළිපැදිය යුතු බවට පනත මඟින් දක්වන්නේ නැත. මේ අනුව ඔෟෂධයක් ලියාපදිංචි කිරීමේදී හෝ පසුව  එළැඹෙන ඕනෑම අවස්ථාවකදී අමාත්‍යවරයාට අත්තනෝමතික ලෙස ඔෟෂධයක උපරිම සිල්ලර මිල නියම කළ හැකිය.

උදාහරණයක් ලෙස වසර 2016 සිට අමාත්‍යවරයා විවිධ ඔෟෂධ සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් කිහිපයක් නිකුත් කර තිබේ. මෙකී ඔෟෂධ සඳහා මිල පාලනයක් අවශ්‍ය යැයි හඳුනා ගත් ආකාරය පිළිබඳ කිසිදු තොරතුරක් ප්‍රසිද්ධියේ ලබාගත නොහැකිය.  ඒ අනුව 2016 වසරේ දී ඔෟෂධ වර්ග 48ක් මිල පාලනයට යටත් කරන ලදී. 2018දී මීට පෙර මිල පාලනයට යටත් නොවූ අතිරේක ඔෟෂධ ‍ෙදාළහක් සඳහා උපරිම සිල්ලර මිල නියම කරන ලදී. 2019දී පෙර පැවැති උපරිම සිල්ලර මිල අවලංගු කරන ලද අතර (දැනටමත් මිල පාලනය යටතේ පැවැති) ඔෟෂධ 60ක් සඳහා නව උපරිම සිල්ලර මිල නියම කරන ලදී.

පාරිභෝගිකයන් පාඩු ලබනවාද?

ශ්‍රී  ලංකාවේ ඔෟෂධ සැපයුම් කාර්මාන්තයෙහි ආධිපත්‍යය පෞද්ගලික අංශය විසින් දරන අතර, අද වන විට ඔෟෂධ පුළුල් ලෙස ලබාගැනීමට ඇති හැකියාව එමඟින් සහතික කර ඇත. අත්‍යවශ්‍ය ඔෟෂධ සඳහා උපරිම සිල්ලර මිල නියම කිරීම මඟින් පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට එකී ඖෂධ ලබාගැනීම සහතික කළ හැකි අතර  එමඟින් පනතේ මූලික අරමුණ ඉටුවේ. එහෙත්, එම මූලික පරමාර්ථය සපුරාගැනීම ර¼දා පවතින්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මිල කමිටුව සහ අමාත්‍යවරයා සැමවිටම පාරිභෝගිකයන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාකිරීම මතය. ජාතික ඔෟෂධ නියාමන අධිකාරි පනත, මෙම කිසිදු පාර්ශ්වකරුවකුගේ අනිසි ක්‍රියාවකට එරෙහිව හෝ නොහැකියාවට එරෙහිව කිසිදු ආරක්ෂාවක් ලබාදීමට අපොහොසත් වී තිබේ.

මෙම සන්දර්භය තුළ, ජාතික ඔෟෂධ නියාමන අධිකාරි පනත තුළින්ම එහි මූලික අරමුණු ස්වයංව කඩාකප්පල් කරන තත්ත්වයක් උද්ගතව තිබේ. තමාට ව්‍යාපාරික අලාභයක් සිදුකර ගැනීමට කිසිදු සැපයුම්කරුවකු කැමැති නොවන බැවින්, අඩු දැනුවත්භාවයකින් යුක්තව හෝ අත්තනෝමතික ලෙස පනත යටතේ මිල නියම කිරීම වෙළෙඳපොළට ඖෂධ සැපයීම අඩාල කළ හැකිය.

ඔෟෂධ සැපයීම  එම ඔෟෂධ ආනයනය කරන විනිමය අනුපාතිකය ඉහළ පහළ යෑම ඇතුළුව වෙළෙඳපොළ බලවේග මත රදා පවතින්නකි. වෙළෙඳපොළ විචල්‍යයන්ට කලාතුරකින් නම්‍යශීලී වන මෙන්ම මිල සීමා නියම කිරීමට අත්තනෝමතික බලය ඇති නියාමකයකු, ආනයනකරුට අවිනිශ්චිතතාවක් ඇති කිරීමට පමණක් උපකාරී වන අතරම පාරිභෝගිකයාට තමන් කැමැති ඔෟෂධ මිලදී ගැනීමේ හැකියාව අහුරාලයි.

උදාහරණයක් ලෙස ‘X’ නමැති ඖෂධය ඉතා ගුණාත්මක සහ ආරක්ෂිත වෙළෙඳ සන්නාමයකට අයත් වන්නේ යැයි සිතමු. එය ලියාපදිංචි කරන අවස්ථාවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ මිල නියාමන කමිටුව අත්තනෝමතික ලෙස එහි මිල තීරණය කරන්නේ නම්, එවිට එහි සැපයුම අත්හිටුවීමට අදාළ ඖෂධ ආනයනකරුට බල කරනු ලබයි.  එමඟින් වෙළෙඳපොළේ රඳවා ගනු ලබන්නේ X සන්නාමය හා සමාන එහෙත් ගුණාත්මක නොවන මිල අඩු විකල්ප පමණි. අවසානයේදී, සිදුවනුයේ වැඩි ගුණාත්මක භාවය සහ ආරක්ෂාව වෙනුවෙන් තරමක් ඉහළ මිලක් ගෙවීමට කැමැති පාරිභෝගිකයන්ට තමන් කැමැති ඖෂධ වෙත ප්‍රවේශ වීම අහිමි වීමයි.

පැහැදිලි සහ විනිවිදභාවයෙන් යුත් ප්‍රොටෝකෝල සැකසීමට අපොහොසත් වීම හේතුවෙන් ජාතික ඔෟෂධ නියාමන අධිකාරි පනත හෝ වසර 2019දී පනත යටතේ පනවන ලද රෙගුලාසි මඟින් එවැනි අත්තනෝමතික ක්‍රියාවන්ගෙන් මිලකරණයට ආරක්ෂාවක් හිමිවන්නේ නැත. උදාහරණයක් වශයෙන් කලාපයේ ඔෟෂධවල සාමාන්‍ය වෙළෙඳපොළ මිල මත පදනම්ව ජාතික ඔෟෂධ නියාමන අධිකාරිය සහ මිලකරණ කමිටුව මිල සූත්‍රයක් යෙදිය යුතු බවට ප්‍රොටෝකෝලයක් හඳුන්වා දීම මිලකරණයේ අත්තනෝමතිකත්වය අවම කිරීමේ පියවරක් වනු ඇත.

නියාමන ක්‍රියාකාරීන්ගේ අභිමතය සීමා කිරීම සඳහා ජාතික ඔෟෂධ නියාමන අධිකාරි පනත සහ 2019 රෙගුලාසි කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතුය.

ශ්‍රී  ලංකාවේ ඔෟෂධ සඳහා පැහැදිලි සහ විනිවිද පෙනෙන මිල නියම කිරීමේ ප්‍රොටෝකෝලයක් අනුගමනය කිරීමට ඔවුන් නීතියෙන් නියම කළ යුතුය. එවැනි ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්නේ නම්, මිල නියම කිරීමේ පාලන ක්‍රමවල නිශ්චිතභාවය සහ පුරෝකථනය කිරීමේ හැකියාව පිළිබඳ අත්‍යවශ්‍ය ඖෂධ සපයන්නන්ගේ විශ්වාසය නැවත ගොඩනැඟෙන අතර පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට ප්‍රත්‍යක්ෂ, ආරක්ෂාකාරී සහ නිවැරදි තත්ත්වයෙන් යුතු ඖෂධ සඳහා වඩා හොඳ ප්‍රවේශයක් ලැබෙනු ඇත.   

රනිල් අඟුණාවෙල,

මල්සිරිනි ද සිල්වා