උසස් පෙළින් පස්සේ වෘත්තීය පුහුණුවක් හරියට තෝරාගන්නේ කොහොමද?

0
146

උසස් පෙළින් පස්සේ වැඩිදුර අධ්‍යාපනයට වෘත්තීය පුහුණු ආයතනයක් තෝරාගැනීමේ වැදගත්කම මෙන්ම එය තෝරාගත යුතු ආකාරය සම්බන්ධයෙන් විමසීමට ලක් කළ ලිපි කිහිපයක්ම ලැබුණු නිසා අප මේ සතියේ ඒ ගැන කතා කරන්නට හිතුවා. එහිදී අපි කඩවත කර්මාන්ත සහ වෘත්තීය පුහුණු ආයතනයේ පාලක අධ්‍යක්ෂවරයා වන නන්දන මහතා සමඟ සම්බන්ධ වුණා. කඩවත කර්මාන්ත සහ වෘත්තීය පුහුණු ආයතනය වෘත්තීය පුහුණු ක්‍ෂේත්‍රය තුළ පිළිගත් ආයතනයක් වීමත් එය සෞඛ්‍යමත් වෘත්තිකයන් බිහි කිරීම සම්බන්ධව  නන්දන මහතාට වසර ගණනාවක අත්දැකීම් තිබීමත් එතුමාව සම්බන්ධ කරගැනීමේ හේතුව බවට පත්වුණා.

වෙනත් පෞද්ගලික ආයතනවලට වඩා වෘත්තීය පුහුණු ආයතනයක පාඨමාලාවක් තෝරාගැනීම සිසු සිසුවියන්ට මූල්‍යමය වශයෙන් වාසිදායක වෙන්නේ කොහොමද?

ඔවුන්ට තිබෙන ලොකුම සහනය තමයි වෙනත් අධ්‍යාපනික ආයතනවල පාඨමාලාවලට වගේ එකපාර රුපියල් 50,000ක් 60,000ක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අතරමඟ නැවතුණත් ගෙවපු සල්ලි අපරාදේ වගේ තැනකට මෙතන සිසුන් කවදාවත් තල්ලු වෙන්නෙ නෑ. බොහෝ ආයතනවල මාසික ගෙවීමක් කරලා ඉගෙන ගන්න පුළුවන්. ඒ ගාස්තුවත් හරිම සීමිතයි. පාඨමාලා සඳහා එකවර මුදල් ගෙවන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ඒ වගේම ඕනම කෙනකුට ඉගෙන ගන්නා තුරු ගෙවීම් කරන්නත් පුළුවන්.

පාඨමාලාවක් තෝරාගන්න සිසුන් සතුවිය යුතු අවම අධ්‍යාපනික සුදුසුකම් ගැන කතා කළොත්?

අපි මෙතැන නම් ප්‍රාථමික පාසල් ගුරු පුහුණුව පවත්වාගෙන යනවා. එයට සම්බන්ධ වෙන්න නම් උසස් පෙළ අඩුම තරමේ විෂයයන් 2ක්වත් සමත් වී තිබිය යුතුයි. ඊට අමතරව ළමා ලේකම් කාර්යාලයේ අනුමත කරන ලද පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාවක් අපි මෙතැන පවත්වාගෙන යනවා. ඒ පුහුණු පාඨමාලා සියල්ල සඳහාම උසස් පෙළ දක්වා අධ්‍යාපන මට්ටම තියෙන්න ඕන.

ඊට අමතරව තියෙන technical courses වලදී, මෝටර් කාර්මික පාඨමාලාවක් නම් අට පාස්ද කියන දේ අපි සලකා බලනවා. විදුලි කාර්මික, වායුසමීකරණ හෝ ශීතකරණ කියන පාඨමාලා සඳහා නම් අපි ගන්නෙ අපොස සාමාන්‍ය පෙළ සමත් ගණිතය විෂය ධාරාව ගැන දැනුමක් තියෙන අය පමණයි. මොකද ඒ විෂයයන්වලට මූලික ගණිත දැනුම අත්‍යාවශ්‍ය වෙනවා. අවශ්‍ය වෙන අධ්‍යාපනික සුදුසුකම් මොනවාද කියන එක ඒ ඒ ආයතනය අනුව ඒ ඒ පාඨමාලාව අනුව වෙනස් වෙනවා. විභාගය අසමත් සිසුන්ටත් තෝරාගත හැකි පාඨමාලා ඕනෑ තරම් වෘත්තිය පුහුණු ක්‍ෂේත්‍රය තුළ තිබෙනවා.

මෙවැනි ආයතනවලින් සිසුන් තුළ ගොඩනඟන විනය කියන සාධකය මෙරට වෘත්තීයමය වෙළෙඳපොළ සඳහා බලපෑම් සහගත වෙන්නේ කොහොමද?

විනය කියන දේ අතිශය වැදගත් සාධකයක්. වෘත්තිකයෙක් වුණාම විනයවත් වෙන්න ඕන. මොකද ඒ හරහා තමයි ආයතනවල පැවැත්මත් තීරණය වෙන්නේ. ඒ නිසා විනය හදන එක බොහෝ විට වෘත්තීය පුහුණු ආයතනවල මූලිකම කාර්යභාරයක් වෙලා තිබෙනවා. අඳින පලඳින විධිය පිළිවෙළයිද? කොණ්ඩය පීරන විධිය මොකක්ද, පිරිසුදුවට ඉන්නවද, වෙලාවට වැඩ කරනවාද, පැමිණීම කොහොමද, කණ්ඩායමක් තුළ වැඩ කිරීමේදී හැඟීම කොහොමද වගේ මූලික සාධක මෙහිදී සලකා බැලෙනවා. ඒවා ගොඩනඟනවා. ඒ හරහා විනයවත් වෘත්තිකයෙක් තමයි අවසානයේදී ගොඩනැඟෙන්නේ.

විදේශගතවීම සඳහාත් සමහරු පාඨමාලා හදාරන්න පැමිණෙනවා. විදේශ රැකියා අවස්ථා සඳහා මේ පාඨමාලාවලින් ලැබෙන පන්නරය ගැන කතා කළොත්?

ඇත්තටම ඉස්සර වගේ නෙමෙයි ත්‍රිරෝද රථයකට විතරක් කොටු වෙලා ඉන්නේ නැතිව විදේශගත රැකියා අවස්ථාවලට සහභාගි වෙන්න බලාගෙන සමහරු මේ පාඨමාලා හදාරනවා. විදේශ රටවලත් අපේ ශ්‍රමිකයන්ට හොඳ ඉල්ලුමක් තියෙනවා. සාමාන්‍යයෙන් මෙහේ වෛද්‍යවරයෙක්ට ලැබෙන සමාජ පිළිගැනීම සහ වරප්‍රසාද ටික එහේ විදුලි කාර්මිකයෙක්ට ලැබෙනවා. එතකොට තමන් දක්ෂ ක්‍ෂේත්‍රය තෝරාගෙන ඒකෙ පාඨමාලාවක් හදාරලා විදේශගත වෙන්න කැමැති අයට විදේශගත වෙන්න පුළුවන්. එතැනදීත් තමන් පාඨමාලාව හදාරන්නේ පිළිගත් ආයතනයකද යන්න, විදේශ වෙළෙඳපොළ සඳහා තිබෙන අවස්ථාව කුමක්ද යන්න හඳුනාගත යුතු වෙනවා.

රැකියාවලට මෙහි සිසු සිසුවියන් සම්බන්ධ කිරීමේදී ඔවුන්ට අවස්ථා හිමිවෙන්නේ වෘත්තීය පුහුණු ආයතනවලින් පවත්වන විභාගවල ලකුණු මට්ටම් අනුවද?

කොච්චර සහතික තිබ්බත් ආයතනවලින් නම්  සලකා බලන්නේ දක්ෂතාව. ප්‍රායෝගිකව වැඩක් දුන්නම ඒක කරන්න ඕනෑම කෙනෙක්ට හැකියාව තියෙන්න ඕන. සමහර ආයතනද, නම්  ඉතින් මෙතැන පුහුණුව ගන්න අයට, සියයට සීයක්ම නැතත් සැලකිය යුතු ප්‍රමාණයක රැකියා අවස්ථා ලබාදෙනවා. අපේ ආයතනයෙත් එහෙම තමයි. සමහර අයට පෞද්ගලික ආයතනවල සමහර විට රජයේ ආයතනවල. එතැනදී අපි මුලින්ම පුහුණුවකට තමයි ඔවුන් සම්බන්ධ කරන්නේ. න්‍යායාත්මක දැනුමෙන් ඔබ්බට ගිහිල්ලා දක්ෂතාවය කෙනෙක් ගොඩනඟාගෙන තියෙනවා නම් ප්‍රායෝගික දැනුමෙන් දෙයක් කරන්න ඉගෙනගෙන තියෙනවා නම් ඒ පුහුණු කාලසීමාවෙන් පස්සේ දිගටම ඔවුන්ව ඒ ආයතනවල රඳවා ගන්නවා. පුහුණු අතරතුර හොඳ දීමනාවක් දීලා පුහුණුවෙන් පස්සේ හොඳ වැටුපකුත් ගෙවනවා.

වෘත්තීය පුහුණු ක්‍ෂේත්‍රය තුළ කෙටිකාලීන පාඨමාලා ගණනාවක් පවතිනවා. මේවායේ ප්‍රමිතිය හා නිර්දේශිතභාවය සම්බන්ධව ඔබට යම් අදහසක් ලබාදිය හැකිද?

ඕනෑම පාඨමාලාවක් අඩුම වසරක කාලයක් මෙහි පවතිනවා. වසරකට අඩු කාලයේ මේ පාඨමාලාව සම්පූර්ණ කරගන්න පුළුවන් ආයතන ලංකාවේ ඕනතරම් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් මට මේ ක්‍ෂේත්‍රයේ තියෙන අත්දැකීම් එක්ක මම දන්න දේ තමයි වසරකට අඩු කාලයක් පාඨමාලාවක් කරලා සිසුවකුට මෙහි උපරිමය කීයටවත් ලබාගන්න බැහැ. න්‍යායාත්මක දැනුම ලබාගන්න පුළුවන් වෙයි. නමුත් ප්‍රායෝගික දැනුම උකහා ගන්නේ නැතිව වෘත්තියකදී සාර්ථක වෙන්න බෑ. ඒ නිසා පාඨමාලාවක් තෝර ගනිද්දි ධනාත්මක දැනුම මඟින් වෘත්තීය දැනුමත් හොඳටම ලබාදෙන ආයතනයක් තමයි සිසු සිසුවියන් තෝරා ගත යුත්තේ. න්‍යායාත්මක දැනුම ලබා දෙන අතරේ ප්‍රායෝගික පුහුණු පාඨමාලාවක් හදාරනවා නම් අපි ඒ අයව බාහිර පුහුණු මධ්‍යස්ථානවලට යවලා ප්‍රායෝගික පුහුණුව ලබාදීම අපි විසින් සිදු කරනවා. රාජ්‍ය හා පෞද්ගලික කියන දෙවර්ගයේම බාහිර ආයතනත් එක්ක සෘජු සම්බන්ධතාවයක් සිසුන්ට බාහිර පුහුණුව ලබාදීමේ අරමුණින් අපි තියාගෙන ඉන්නවා.

පාඨමාලා කාලසීමාව අවසන් වීමෙන් පස්සෙත් සිසුන් ගැන පසු විපරමක් සිදුකිරීම සිසුන්ට වැදගත් වෙන්නේ කොහොමද?

කිසියම් පාඨමාලාවක් අවසන් කරලා කෙනෙක් ගියා කියලා අපි ඒ කෙනා ගැන විපරම් කිරීම අපි අවසන් කරන්නේ නෑ. අපි මෙතැනදී පසු විපරමක් සිදු කරනවා. මෙතැන හැම සිසුවකුටම සාමාජික file එකක් හැමෝටම පවත්වාගෙන යනවා. අඩුම තරමේ අවුරුදු පහක් නැතත් අවුරුද්දක කාලයක් ඒ සාමාජික file එක නඩත්තු කරනවා. මේ පාඨමාලාවෙන් පස්සේ ඔහු හොඳ රැකියාවක් කරනවාද, කරනවා නම් ඒ මොකක්ද, කරන්නෙ නැත්නම් එහෙම බැරිවුණ හේතුව මොකක්ද වගේ කාරණා රාශියක් අපි මෙතැනදී සොයා බලනවා. ඒක ඔවුන්ට ශක්තියක් වගේම අපේ ආයතනයේ දියුණුව සඳහාත් රුකුලක් වෙනවා. නමුත් කිව යුතු වැදගත්ම දේ සෑම කෙනෙක්ම ඔය දේ කරන්නෙත් නෑ. එයට නිසි ආයතනයක් තෝරාගත යුතුයි.

ප්‍රමේෂ් වික්‍රමසිංහ