හරි විධියට කුස්සිය මැනේජ් කළොත් ඇඟටත් හිතටත් හොඳයි

0
74

මේ ගත වන්නේ අප සැමටම ඉතාම අසීරු කාලසීමාවකි. විශේෂයෙන්ම ආහාර පාන පවා ඉතා සකසුරුවම්කමින් යුතුව පරිහරණය කිරීම නුවණට හුරුය. ඒ අතර මුදල් ඉතිරි කර ගැනීමට හෝ අරපිරිමැස්මෙන් කටයුතු කිරීමට යැයි සිතා ඔබ අඩු මුදලට ආහාර පාන මිලදී ගන්නවාද විය හැකිය. නමුත් මෙවැනි අවධියක ඔබ ඔබගේ සෞඛ්‍ය සම්පන්න බව කෙරේද වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්.

මෙවර Her අතිරේකය වෙන් වන්නේ වෙළෙඳපොළෙන් ආහාර පාන මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු දේවල් සහ ආහාර පාන නිවෙසට රැගෙනවිත් පරිභෝජනයට ගන්නා තෙක් නිසි අයුරින් පිරිසුදු කිරීමේදි, ගබඩා කිරීමේදී ඔබ අනිවාර්යයෙන්ම දැනගත කරුණු කාරණා පිළිබඳවය.

ආහාර මිලදී ගැනීමට වෙළෙඳපොළ වෙත යෑමේදී හැකි සෑමවිටම සුපර් මාර්කට් වැනි සම්පූර්ණයෙන් ආවරණය වූ විශ්වසනීය ස්ථාන තෝරා ගන්න. ඔබ කුඩා වෙළෙඳසල් හෝ විවෘත වෙළෙඳසල්වලින් ආහාර මිලදී ගන්නවා නම් විශේෂ අවධානයකින් හා සැලකිල්ලකින් යුතුව ආහාර තෝරා ගන්න.

සෑමවිටම මස්, මාළු, එළවළු, පලතුරු ආදිය මිලදී ගැනීමේදි හොඳින් හඳුනන පිරිසුදුවට, පිළිවෙළට ඇසුරුම් කළ විශ්වාසවන්ත ස්ථානවලින් මිලදී ගන්න.

ටින් කළ ආහාර මිලදී ගැනීමේදී, සතුන්ගෙන් හානි වූ, පුස් වර්ග සහ දිලීර වැනි දේ ඇත්නම්, ඇසුරුමෙහි තිබිය යුතු නියමිත ප්‍රමාණය වෙනස් වී තැළී, පොඩිවී යම් ආකාරයකින් ඇසුරුමට හානි වී ඇත්නම්, ඇසුරුම් කොට ඇති ද්‍රව්‍ය ඉවතට පැමිණ ඇති නම් එවැනි භාණ්ඩ මිලදී නොගත යුතුයි.

බිත්තර මිලදී ගැනීමේදී පිටත පෙනුම පිළිබඳවද විශේෂයෙන් සැලකිලිමත් වන්න. බිත්තරවල පිටත කටුව මත අපද්‍රව්‍ය වැනි දෑ තැවරී අපවිත්‍ර වී, කටුවට හානි වූ ඒවා මිලදී නොගන්න.

මස්, මාළු, චීස්, යෝගට්, කිරි වැනි ශීත කළ ආහාර මිලදී ගැනීමේදී ඒවා නිසි ආකාරයට ශීතකරණ තුළ අසුරා ඇත්දැයි සොයා බලන්න.

ඔබ භාණ්ඩ මිලදී ගනු ලබන්නේ සුපිරි වෙළෙඳසලකින් නම් බොහෝවිට අවශ්‍ය භාණ්ඩ ඔබටම තෝරා ගැනීමේ හැකියාව ඇත.

එළවළු, පලතුරු බිම තබාගෙන වෙළෙඳාම් කරන ස්ථානද තිබේ. ඇතැම් විට යම් යම් අපද්‍රව්‍යයන් එවැනි ආහාර මත තැවරී තිබිය හැකිය. ගෝවා, මල් ගෝවා, බිම්මල් ආදියෙහි පුස් වර්ග, දිලීර, බැක්ටීරියා වර්ග හට ගෙන තිබිය හැකිය. විශේෂයෙන්ම මහා මාර්ග අසල වෙළෙඳාම් කරන ආහාර වර්ගවල වාහනවලින් පිටවන විස දුම්, කුණු, දූවිලි, විසබීජ ආදිය බහුල වශයෙන් තැවරීමෙන් අපවිත්‍ර වී තිබිය හැකිය. එනිසා එවැනි ස්ථානවලින් එළවළු, පලතුරු මිලදී ගැනීම සුදුසු නොවේ.

– සකස් කොට ඇසුරුම් කරන ලද ආහාර මිලදී ගැනීමේදී,

පළමුව ලේබලය හොඳින් කියවන්න. බොහෝවිට ඇතැමුන් ආහාරවල කල් ඉකුත් වීමේ දිනය සහ නිෂ්පාදිත දිනය පමණක් කියවා බලති. නමුත් ඊට අමතරව කලින් සකස් කොට ඇසුරුම් කළ ආහාරවලින්, සිරුරට ලැබෙන පෝෂණය සම්බන්ධයෙන්ද කරුණු අඩංගුය. ඔබත් ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන අයෙක් නම් යම් ආහාරයක සීනි, මේදය සහ ලුණු යන ද්‍රව්‍යයන් ත්‍රිත්වය අඩංගු වන ආකාරය රතු, කහ, කොළ සහ තැඹිලි යන ආකාරයට ‘ට්‍රැෆික් ලයිට් ක්‍රමයට’ විවිධ වර්ණවලින් දක්වා ඇත. ඒ පිළිබඳවත් සැලකිලිමත් වන්න.

– ශීතකරණ තුළ ගබඩා කොට ඇති මස්, මාළු වෙළෙඳපොළෙන්මිලදී ගැනීමේදී

වැඩි වේලාවක් හිරුඑළියට නිරාවරණය වන ලෙස එළිමහනේ තැබීම සුදුසු නැත. එවැනි ශීත කළ ආහාරවල අයිස් සම්පූර්ණයෙන්ම දියවීමට පෙර නිවෙසට රැගෙන යා හැකි නම් සුදුසුය. හැකිනම් ඒ සඳහා සිසිලස රඳවා තබන ඇසුරුමක් භාවිත කරන්න. එම ආහාර නිවෙසට රැගෙන ආ පසුව පිසීමට ගන්නා තෙක් ඇසුරුමේ සඳහන් උපදෙස් අනුව ගබඩා කරන්න.

වෙළෙඳපොළෙන් ගෙනා එළවළු, පලතුරු එදිනෙදාම ආහාරයට ගන්නවා නම් ශීතකරණයේ ගබඩා නොකොට සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තැබිය හැකිය. නිවෙසට එළවළු වර්ග රැගෙන ආ විට ඒවායේ ඇති ජලය

වාෂ්පවීමකට ලක්වී වියළීමකට ලක් වේ. එය අප කවුරුත් දන්නා කරුණක්. එවිට එම ආහාරවල අන්තර්ගත ගුණාත්මක බවෙහිද අඩුවීමක් සිදුවිය හැකිය. එනිසා හැකි සෑම විටම ශීතකරණයේ ගබඩා කිරීම සුදුසුයි. නමුත් අද බහුතරයක් නිවෙස් තුළ ශීතකරණයේ ගබඩා කරනුයේ එසේ ගබඩා කළ යුතුම ආහාර වර්ග දැයි ගැටලුවකුත් පැනනඟී.

තවද බහුතරයක් දෙනා තුළ ශීතකරණවල ගබඩා කළ පසු ආහාරවල ගුණය නැති වනවා යැයි වැරැදි මතයක් පවතී. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. සාමාන්‍යයෙන් එළියේ ගබඩා කරනවාට වඩා ශීතකරණය තුළ ගබඩා කිරීමෙන් පෝෂණ ගුණය විනාශ වීම වළක්වාගත හැකිය.

  • – ශීතකරණයක ආහාර වර්ග ගබඩා කිරීම

ශීතකරණය, අධිශීතකරණය සහ සාමාන්‍ය ශීතකරණය ලෙස කොටස් 2කි. අධිශීතකරණය තුළ ගබඩා කළ යුතු ආහාර වර්ග වෙනම ඇත. අසුරණයක් සහිත සකස් කළ ආහාර වර්ග අධිශීතකරණයේ ගබඩා කළ යුතු ආකාරයට ඇසුරුම් කොට ඇත. මාළු, මස් ආදිය අනිවාර්යයෙන්ම අධිශීතකරණ කොටසේ ගබඩා කළ යුතුය. එවැනි ආහාර වර්ග අවම වශයෙන් පැය 24ක කාලයක් පමණක් ගබඩා කළ යුතුයි.

මස්, මාංස සහ එළවළු වර්ග එකට ගබඩා නොකරන්න. මක්නිසාද මස්, මාංසවල අඩංගු වන විවිධ රෝග කාරක හා ආහාර නරක් කරන බැක්ටීරියා වර්ග එළවළු, පලතුරු වර්ගවලටත්, එළවළු, පලතුරුවලද එවැනි බැක්ටීරියා දෑ අඩංගු නම් ඒවා මස් මාංසවලටත් ඇතුළු විය හැකියි. එනිසා සත්ත්ව සහ ශාක ආහාර එකට මිශ්‍ර නොවන ආකාරයට ගබඩා කරන්න.

  • – එළවළු පලතුරු ශීතකරණයේ ගබඩා කිරීමේදී

අධිශීතකරණයේ ගබඩා කරන ලද ආහාර වර්ග පිටතට ගෙන එහි අයිස් ස්වභාවය දියවී යනතුරු ස්වල්ප වේලාවක් එළියේ තබන්න.

උදාහරණ – කුකුළු මස්, මාළු, ඉස්සෝ, දැල්ලෝ ආදී මුහුදු ආහාර වර්ග

සොසේජස් ආදිය අධි ශීතකරණයෙන් පිටතට ගෙන අයිස් ඉවත් වන තෙක් එළියේ තබා, කරල් කිහිපයක් පමණක් භාවිතයට ගෙන ඉතිරිය නැවත අධිශීතකරණයට දැමීම බහුලව බොහෝදෙනක් සිදුකරති. එය වැරැදි ක්‍රියාවකි. හේතුව අයිස් දියවන මොහොතේදී ආහාර ඉක්මනින් නරක් වීම සිදු කරන බැක්ටීරියා වර්ග වේගයෙන් වර්ධනය වේ. එනිසා එක් වරක් විවෘත කොට එළි පෙහෙළියේ තැබූ සොසේජස් වර්ග නැවත අධි ශීතකරණයේ ගබඩා කරනවා යනු එම බැක්ටීරියා සමඟම නැවත ගබඩා කිරීමකි.

කොටස් වශයෙන් යම් ආහාරයක් පිසීමට ගැනීමට අප බලාපොරොත්තු වනවා නම් එදිනෙදා තම පරිභෝජනයට සුසුදු ප්‍රමාණයේ කුඩා පැකැට්ටුවක් මිලදී ගැනීම සුදුසුයි. පිසූ ආහාර ශීතකරණයේ තබා දින කිහිපයකට පසු නැවත රත්කොට ආහාරයට ගැනීමද නුසුදුසුයි. ශීතකරණයේ තබා ඝන වූ ආහාරයක් නැවත මයිකේ‍රාවේව් උඳුනක දමා රත් කොට ආහාරයට ගැනීමද අනුමත කළ නොහැකිය. එසේ ගබඩා කරනවා නම් වරකට ගන්නා අදාළ ආහාර ප්‍රමාණය වෙන වෙනම ගබඩා කරන්න.

පිසූ ආහාර සහ පිසීමට ලක් නොවූ ආහාර එකට ගබඩා නොකළ යුතුය.

ශීතකරණයේ ආහාර වර්ග ගබඩා කිරීමේදී එකිනෙකට වෙනම පිරිසුදු බෑග් භාවිත කරන්න. එයින් එක් ආහාරයකට තිබෙන්නා වූ සුවඳ සහ රස අනෙක් ආහාරයකට මිශ්‍ර නොවේ. ශීතකරණයක එළවළු, පලතුරු ගබඩා කිරීමට වෙන් වූ කොටසේ ඇත. සෑමවිටම ඒවා එම කොටසේ ගබඩා කරන්න.

හාල් වර්ග, පිටි වර්ග, නූඩ්ල්ස්, පැස්තා ආදිය ගබඩා කළ යුතු නිවැරැදි ආකාරයක් තිබේ. විවිධ කුඩා සතුන්, පරපෝෂිතයන්ගෙන් හානි නොවන ආකාරයට පොලිතින් හෝ ප්ලාස්ටික් භාජනවල වාතයට නිරාවරණය නොවන අයුරින් ගබඩා කරන්න.

– හාල් සෝදා පිරිසුදු කරන ආකාරය

වෙළෙඳපොළේ ඇති බහුතරයක් සහල් වර්ග ගල්, වැලි ඉවත් කළ ඒවාය. එනිසා ගැරීමට අවශ්‍ය නැත. සහල් සේදීමේදී ජලය අවපැහැ වන තුරු සාමාන්‍යයෙන් දෙවතාවක් හෝ තුන්වතාවක් සේදිය හැකිය. වැඩි වාර ගණනක් සේදීම සුදුසු නැත. සහල් තදින් අතුල්ලා සේදීමේදී ද සහල්වල පිට පොත්තේ ඇති ගුණාත්මක කොටස් විනාශ විය හැකිය.

කොරෝනා වසංගත සමයත් සමඟ ඇතැම් ගෘහණියන් වෙළෙඳපොළෙන් මිලදී ගත් එළවළු, පලතුරු නිවෙසට ගෙනා විගස අව්වේ තබා වියළීම, සබන් ආදී සේදුම්කාරක යොදා සේදීමද කරති. එවැනි සබන් සහ දියර සබන්, දෑත් සේදුම්කාරක දියර යොදා ආහාර සේදීම අනුමත කළ නොහැකිය. එය ඉතා වැරැදි ක්‍රියාවකි. එළවළු, පලතුරු අව්වේ තැබීමෙන් විසබීජ විනාශ නොවේ. එමඟින් ආහාරවල අඩංගු පෝෂණ කොටස් විනාශ විය හැකිය.

මිලදී ගත් ආහාරපාන පිරිසුදු කිරීමට ප්‍රථම තම වැළමිටේ සිට පහළට දෑත් සුදුසු දෑත් සේදුම්කාරකයක් යොදා හොඳින් පිරිසුදු කරන්න. මුළුතැන්ගෙය තුළ ඇති සින්ක් එක, ආහාර කැපීමට, සේදීමට ගන්නා අනෙකුත් සියලු උපකරණ හා භාජනද හොඳින් පිරිසුදු කරන්න. ඒ සඳහා මුළුතැන්ගෙයි උපකරණ පිරිසුදු කිරීමට නිර්දේශිත සුදුසු සේදුම්කාරයක වර්ගයක් භාවිත කළ හැකිය. නැතිනම් පිරිසුදු ජලයෙන් සේදීමද සුදුසුයි.

  • මුළුතැන්ගෙයි පිරිසුදුකම

මස්, මාළු වර්ග කපන පිහිවලින් එළවළු, පලතුරු ආදිය කැපීම සුදුසු නැත. ඒ සඳහා පිහි වර්ග කිහිපයක් භාවිත කරන්න. හැකි සෑම විටමදී එළවළු, පලතුරු ගලා යන ජලයෙන් සෝදන්න. නැතිනම් පිරිසුදු ජල බඳුනක බහා සේදිය හැකිය. එළවළු, පලතුරු කැපීමෙන් පසුව සේදීම නොකළ යුතුය.

වට්ටක්කා වැනි එළවළු පිට පොත්ත ඉවත් කොට හෝ නොකොට පිසිය හැකිය. එවැනි එළවළු වර්ගවල පෝෂණ කොටස් ඉවත් නොවන ආකාරයට පොත්ත කොටස ඉවත් කළ යුතුය.

– නොදැනුවත්කම නිසා පෝෂණීය කොටස් ඉවත් කිරීම

බීට්, රාබු, නෝකෝල්, කැරට් පිරිසුදු කිරීමේදී ඇතැමුන් ඒවායේ පත්‍ර ආදී ආහාරයට ගත හැකි පේෂ්‍යදායි කොටස්ද කපා ඉවත් කරති. එවැනි කොටස්වල පෝෂණ ගුණය ඉහළව පවතී. එනිසා එම කොටස්ද ආහාරයට එකතු කර ගත හැකිය.

පලා වර්ග සැකසීමට ප්‍රථම පිරිසුදු ජලයෙන් හොඳින් සෝදන්න. එවිට ඒවායේ ඇති දූවිලි, විසබීජ, වැලි, පස් ඉවත් වේ. ඉන්පසු ආහාරයට නුසුදුසු අනවශ්‍ය කොටස් ඉවත් කරන්න.

මේ අයුරින් දැනුවත්භාවයෙන් යුතුව කටයුතු කිරීම ඔබට ඉතා ප්‍රයෝජවත් වේවි.

දිනූෂා මනෝරි නිශ්ශංක

රේණුක සිල්වා

පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය