වවන හැටි රටටම උගන්වන මෙත් බෝ සෙවණ

0
79

රටක් ලෙස අප මේ ගත කරනුයේ ඉතාම අසීරු කාලයකි. ආර්ථිකය ඇතුළු අන් සියලු අංශයන්ගෙන්ද මේ වන විට අප රට පවතින්නේ දැඩි අවදානම් තත්ත්වයකය. එමෙන්ම ඉදිරියේදී අප රට දැඩි ආහාර හිඟයකට මුහුණ දීමට ඉඩ ඇති බවත් නොරහසක්. එසේ නම් මේ මොහොතේ සිටම තමන්ට හැකි අයුරින් එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය එළවළු, පලතුරු ටික හෝ නිවෙසේදීම වගාකර ගත හැකි නම් ඉතා අගනේය.

මෙවර Her අතිරේකය වෙන් වනුයේ ඔබගේ දැනුමට වැඩි යමක් එක් කරමින්, නිවෙස හෝ ගෙවත්තෙහි ඇති සීමිත ඉඩකඩ තුළ පවා ඉතා සාර්ථක අයුරින් කාබනික ගෙවතු වගාවක් සිදුකර ගන්නා අයුරු ඔබට පහදා දීමටය.

වස-විස නොමැති කාබනික වගාව තුළින් ඔබට අවශ්‍යය බෝග වර්ග තම ගෙවත්ත තුළම වගාකර ගැනීම පිළිබඳව අප සිදු කළ සොයා බැලීම්වලදී, කාබනික වගාව පිළිබඳව සමාජයට සුවිශාල දැනුමක් ලබා දෙන්නා වූ සුවිශේෂ ස්ථානයක් පසුගියදා අපට හමුවිය. එම ස්ථානය නමින් Green Teacher Graden නොහොත් හරිත ගුරුවරයා උද්‍යානයයි. මෙම ස්ථානය පිහිටා ඇත්තේ ඉතාම ජනාකීර්ණ ප්‍රදේශයක් වන නුගේගොඩ ප්‍රදේශයේය.

අතිශය ජනාකීර්ණ පර්චස් 50කට ආසන්න භූමි භාගයක “කාබනික ගෙවතු වගාව“ ඉතාම සාර්ථකව සිදුකරන ආකාරය මේ ස්ථානයේදී ඔබට දැනකියා ගත හැකියි.

මෙම ස්ථානයේ නිර්මාතෘවරයා වන්නේ ගාල්ල මෙත් බෝ සෙවණ භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයාණන් වන තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ සහ වෛද්‍ය අමිත් පුස්සැල්ල මහතාය.

වෛද්‍ය අමිත් පුස්සැල්ල මහතාගේ අදහසකට අනුව එතුමාට අයිති මෙම භූමිය තිත්තගල්ලේ ස්වාමීන් වහන්සේට පිරිනැමුණි.

මෙම ස්ථානයට පැමිණෙන ඕනෑම කුඩා දරුවකුට තනිවම තම නිවෙස තුළදී තමාට ඇති හැකි අයුරින් කාබනික වගා ක්‍රමය යටතේ බෝග වර්ග වගා කර ගැනීමට අවශ්‍යය වන දැනුම, අවබෝධය සහ අධ්‍යාපනය ලබා දෙති.

පසුගිය කොවිඩ් සමයේ සිට අප සැවොම දැඩි මානසික පීඩනයකින් යුතුව කල් ගෙවූ අතර එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය ආහාරපාන පවා මිලදී ගැනීමට නිවෙසින් එළියට යෑමට පවා අපට නොහැකි වූ බව ඔබට මතක ඇති. එම කාලය තුළදී අමිත් පුස්සැල්ල මහතාගේ සිතේ මෙවැනි නාගරික භූමියක් තුළ කාබනික වගාවක් ආරම්භ කිරීමේ උදාරතර සංකල්පය හටගෙන ඇත. අද වන විට රට පුරා ව්‍යාප්ත කිරීමට හැකි වීම සතුටට කරුණකි.

මීට පෙරාතුව ගාල්ල මෙත් බෝ සෙවණ පරිශ්‍රය තුළද අක්කර 40 භූමි භාගයක් තුළ මෙම කාබනික ගෙවතු වගා ක්‍රමය ඉතා සශ්‍රීක ආකාරයට ආරම්භ කොට ඇත.

එහි දෙවැනි පියවර ලෙස මෙවැනි අතිශය නාගරික ජනකීර්ණ පරිසරයක් තුළද එම කාබනික වගා ක්‍රමය සාර්ථක අයුරින් ආරම්භ කළ අතර, එය අති සාර්ථක වූ හෙයින් කිහිප වතාවක්ම වස විසෙන් තොර වූ ඵලදාව ලබාගත් බවත් තිත්තගල්ලේ ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් පැවැසීය.

කිසිදු කෘෂි රසායනික පොහොර වර්ගයක්, කෘමි නාශක වර්ගයක් නොමැතිව මෙතරම් සාර්ථක අයුරින්  ඕනෑම බෝගයක් අතිශය නාගරික මෙවැනි බිමක් තුළ වගා කිරීම එතරම් පහසු නැත. ඇත්තෙන්ම එය අභියෝගයකි. නමුත් එයට අවශ්‍ය කැපවීම සහ උත්සාහය පමණි. අද වන විට ඔවුන් එම අභියෝගය ජයගෙන ඇති බව එහි යන ඔබටද වැටහේවි.

මෙහි ඇති අනෙක් විශේෂත්වය නම්, මෙම කාබනික වගා ක්‍රමය සමාජගත කොට ඒ තුළින් මුළු මහත් සමාජයටම යහපත් පණිවුඩයක් ලබාදීමය. අමිත් පුස්සැල්ල මහතාගේ සහ පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගේ ඒකායන පරමාර්ථය වූයේද තමා අත්හදා බැලූ මෙම වගා ක්‍රමය ඉතා ඉක්මනින් සමාජගත කරවීමය. 

මෙම හරිත ගුරුවරයා වගා භූමියට ඇතුළු වන ඔබට වෙනස්ම වූ සංකල්පයක් වන “ශ්‍රී  ලංකාවේ අනුරුවක” ආකාරයට සිමෙන්තියෙන් ඉදිකළ “වගා පාත්ති ක්‍රමයක්” දැකගත හැකිය. මෙය තිත්තගල්ලේ ස්වාමීන් වහන්සේගේ අදහසකි. එමෙන්ම එම පාත්තිය වටා අලංකාර වයිවර්ණ මත්ස්‍යයන්ගෙන් යුතු දිය අගලක්ද නිර්මාණය කොට ඇත. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ මෙම ස්ථානයට පැමිණෙන කුඩා දරුවන්ගේ සිත පරිසරය, ගහ-කොළ, සතා-සිවුපාවා වෙතට ඇද-බැඳ තබා ගැනීමය. තවද කිසිදු කම්මැළිකමකින් තොරව වගාවට දරුවා යොමු කරවීමේ උපක්‍රමයක් ලෙසත් එය භාවිත වේ.

මෙම ශ්‍රී  ලංකාවේ අනුරුව තුළ ලංකාවේ පළාත් 9ට අදාළව පාත්තිවලට වෙන්කොට ඇත. එහිදී ඒ ඒ පළාතට ආවේණික වූ බෝග වර්ගද වගා කොට ඇත. එහි අරුත අදාළ ප්‍රදේශයන් තුළ ප්‍රචලිත බෝග වර්ග කවරේද යන්න දරුවන්ට පහසුවෙන් වටහා දීමය. තවද සෑම බෝගයක්ම, ශාක වර්ගයකටම අදාළ නාම පුවරුද එම ශාක අසලම සවි කොට ඇත. එය ශාක පිළිබද, වගාවන් පිළිබඳ ඉගෙන ගන්නා දරුවන් හට මහඟු පහසුවකි.

මෙම වගා බිම නැරඹීමට පාසලේ 1 ශේ‍ර්ණියේ සිට සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් ඇතුළුව විවිධ සමාජ සංගම්වල නියෝජිතවරුන්, පාසල් සහ උසස් අධ්‍යාපනය ආයතනවල ආචාර්යවරුන්, ගෘහණියන් මේ ආදී සියලු සමාජ පන්ති නියෝජනය කරමින් විශාල පිරිසක් දිනකට පැමිණෙති.

තවද තිත්තගල්ලේ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝරුවනගේ සහභාගීත්වයෙන් රට පුරා විශාල පාසල් ප්‍රමාණයක රුක්රෝපණ වැඩසටහන්, වගා සංග්‍රාම වැඩසටහන් මෙන්ම දුෂ්කර ගම්වලට වැව් නිර්මාණය කර දීම, එවායේ බෝග වගාවට අත-හිත දීමේ විවිධ වැඩසටහන් රැසක්ද ක්‍රියාත්ක වේ.

ඉදිරි මාසය තුළදී දිනකට පන්ති කාමර 05ක් පමණ මෙම ස්ථානයට ගෙන්වා එම සිසුන්ට කාබනික වගාව පිළිබඳව අවශ්‍ය වන සියලුම දැනුම, අධ්‍යාපනය අවබෝධය ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වන විට සූදානම් කොට ඇත.

 මෙම භූමියෙහි පසුපස භාගයෙහි මහල් 03කින් සමන්විත ගොඩනැඟිල්ලක්ද ඉදිකොට ඇති අතර එය ඉදිකිරීමේදී භූමියේ පිහිටි වටිනා ශාකවලට කිසිදු හානියක් නොවන අයුරින් ඉදිකර තිබීමද විශේෂත්වයකි.

මෙම භූමියට පැමිණෙන ඔබට ලබා ගත හැකි සේවාවන්,

කහ, ඉඟුරු, බටු, පිපිඤ්ඤා, අමු මිරිස්, මාළු මිරිස්, තක්කාලි, මෙන්ම ගෝවා, කැරට්, ලීක්ස්, සලාද කොළ වැනි උඩරට එළවළු වර්ගත්, කංකුන් වැනි පලා වර්ග මෙන්ම ලංකාවට ආවේණික වූ වී වර්ග, කෙසෙල් වර්ග මෙන්ම විසිතුරු බෝග ආදියද ඉතාම පහසුවෙන් මෙම කාබනික ගෙවතු වගා ක්‍රමය තුළ වගාකර ගත හැකි ආකාරය ඉගෙන ගත හැකි වීම.

ශ්‍රී  ලංකාවට ආවේණ ගස් වැල් වර්ග, පඳුරු වර්ග සහ අනෙකුත් ආහාර බෝග වර්ග පිළිබඳ පුළුල් දැනුමක් ලබාගැනීමට හැකි වීම.

කෙසෙල් පොතු, ගිනිසීරියා කොළ වැනි නිවෙසේ ඉවතලන අපද්‍රව්‍ය තුළින් කාබනික පොහොර වර්ග සාදා ගන්නා ආකාරය,

කෘමි උවදුරුවලින් බෝග ආරක්ෂා කර ගත යුතු ආකාරය, කෘමි විකර්ෂණ ද්‍රව්‍යය, දියර වර්ග ඉවත ලද දේ තුළින් නිපදවා ගන්නා ආකාරය ඉගෙන ගත හැකි වීම

සීමිත කුඩා ඉඩක වුවත් නළ වර්ග (උණ බට, PVC වැනි ප්ලාස්ටික් නළ), ඉටි බෑග් වර්ග (Grow Gags) භාවිතයෙන් කාබනික වගාවක් ආරම්භ කරන ආකාරය ඉගෙන ගැනීමට හැකි වීම.

සකසුරුවම් බවට මුල් තැන දෙමින් බඳුන් ගත ආකාරයට කුඩා පැළ වර්ග වගා කිරීම ආදී සියලුම ක්‍ෂේත්‍රවලට අදාළ දැනුම ලබාගත හැකි වීම.

කෙටිකාලීනව පලදාව ලබා ගන්නා කෙටි ක්‍රම, බෝග නඩත්තු කිරීම, බෝගවලට අවශ්‍ය පස සහ අනෙකුත් මාධ්‍ය හඳුනා ගැනීම.

බක්, මී, කුඹුක්, පලු, නා, වීර වැනි රූස්ස ශාක පවා ගෙවත්තතේ ඉඩකඩ ඇති අයුරින් වගාකර ගැනීමට අවශ්‍ය දැනුම ලබා ගත හැකිවීම.

ආදී ප්‍රතිලාභ රැසක් ලැබේ.

මෙම ස්ථානයට පැමිණෙන කුඩා දරුවාගේ සිට සියලුම දෙනාට වගාවට අවශ්‍ය වන උපදෙස් ඇතුළත් අත් පත්‍රිකා සහ කුඩා පොත්ද මුද්‍රණය කොට ලබා දෙති. ඊට අමතරව ඔබට අවශ්‍ය පැළ වර්ග, අභිජනනය කළ බීජ ඇට, බඳුන් වර්ග, අනෙකුත් ශාක වර්ග මෙන් විසිතුරු පැළ වර්ග මල් පැළ ආදියද ලබාගත හැකියි.

“හොඳම කාබනික බෝග වර්ග ඇතුළත් ගෙවත්ත” යන සංකල්පයට අනුව පාසල් මට්ටමින් කුඩා දරුවන් වගාවට නැඹුරු කරවමින් තම ගෙවත්ත තුළ වගා කරන කුඩා දරුවන් 100 දෙනකු තෝරා ඉදිරි වසර තුළ ඔවුනට අවශ්‍ය පොත්පත් ඇඳුම්, පාවහන්, පාසල් බෑග් තෑගි කිරීමේ වැඩසටහනද ක්‍රියාත්මය වීමට නියමිතය.

මෙත් බෝ සෙවණ භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කරමින් වගාවන්හි නිරත වන මෙහෙණින් වහන්සේලා, භික්ෂූන් වහන්සේලා, කුඩා කල සිටම කඳුකර උඩරට ප්‍රදේශයේ වගා කටයුතු සිදුකළ අත්දැකීම් බහුල වැඩිහිටි ගොවි මහතකු මෙන්ම ඉදිරියේදී කෘෂිකර්ම උපාධිධාරී මහතකුද සම්බන්ධ කොට ගෙන කාබනික බෝග වගාවට අවශ්‍ය සියලුම දැනුම සහ පුහුණුව ඔබ සැමට මෙම ස්ථානය තුළදී බෙදා දීමට කටයුතු සංවිධානය කරමින් පවතී.

තවද හරිත ගුරුවරයා සහ මෙත් බෝ සෙවණ යූ ටියුබි නාළිකාව, ෆේස්බුක් ගිණුම සහ අන්තර්ජාල වෙබ් පිටුව තුළින්ද මේ පිළිබඳ ඔබට අවශ්‍ය වැඩි විස්තර ලබාගත හැකියි.

www.Green Teacher.com

YouTube/ Facebook –

Green Teacher -හරිත ගුරුවරයා

දිනූෂා මනෝරි නිශ්ශංක

ඡායාරූප – සරත් කුමාර

පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි