මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ගණන ගැණලා වැඩක් නෑ

0
398

ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගත්  රටකි. භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ පිහිටීමත්, අභ්‍යන්තරික වශයෙන් ඇති විවිිධත්වයෙන් යුතු පාරිසරික සාධකත් හේතුකොටගෙන මෙරට සංචාරක පාරාදීසයක් බවට පත් විය. සංචාරකයන්ගේ පැමිණීමෙන් මෙරට ආර්ථිකයටද විශාල ශක්තියක් ලැබුණේ එය විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් වූ නිසාවෙනි. නමුත් පසුගිය වසරවල රට තුළ ඇතිවූ විවිධ අර්බුදයන් හේතුවෙන් ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වන්නට පටන් ගැනිණි. වර්තමානයේ රටේ පවතින ඩොලර් ප්‍රශ්නයටද එය සෘජුව බලපා ඇති බව පෙනේ. බිඳවැටුණු සංචාරක කර්මාන්තය නැවත නඟාසිටුවමින් ආර්ථිකය ශක්තිමත් කරගන්නේ කෙසේ යන්න පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ, වාණිජ හා කළමනාකරණ පීඨයේ, වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයනාංශයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය චමිල තුෂාර සමඟ කළ සාකච්ඡාවකි. 

• භූගෝලීය වශයෙන් ලංකාවේ පිහිටීම සංචාරක ආකර්ෂණය දිනාගැනීමට ප්‍රධාන සාධකයක් නේද?

ප්‍රධාන වශයෙන් ගත්තම භූගෝලීය පිහිටීම අංග කිහිපයක් යටතේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. පළමු කාරණය තමා සංචාරකයන්ගේ පැමිණීමට කොහොමද මේ භූගෝලීය පිහිටීමට බලපාන්නෙ කියන කාරණය. විශේෂයෙන්ම ඉන්දියාව, චීනය ආදී රටවලින් වැඩි වශයෙන් සංචාරකයන් ලංකාවට පැමිණෙනවා. ඒ රටවල ජනගහනය  සහ ශීඝ්‍රයෙන්  ආර්ථිකය වර්ධනය වන නිසා විශාල ප්‍රමාණයකට විදෙස් සංචාරවලට යෑමේ හැකියාවද ඒ රටවලට ලැබී තිබෙනවා. ලංකාවේ පිහිටීම එකී රටවල  සංචාරකයන්ගේ පැමිණීමට බලපාල තියෙනවා. ඇමෙරිකාව, කැනඩාව වගේ රටවලට හැරෙන්න, ලෝකයේ  අනෙකුත් රටවලට  සාපේක්ෂව අඩු කාලයක් ඇතුළත ලංකාවට සංචාරය සඳහා එන්න හැකියාව තිබෙනවා. බොහෝ වෙලාවට බටහිර රටවල සංචාරකයන් එන්නේ එක රටකට විතරක් නෙවෙයි.

ඔවුන්  ගොඩක් වෙලාවට සති දෙකක්, තුනක් වගේ ඉන්න බලාගෙන තමා සංචාරය කරන්නේ. රටවල් දෙක, තුනකට යන්න එකවර පැකේජ් ලබාගෙන ඔවුන් පැමිණෙනවා. ලංකාවට පැමිණෙන බොහොමයක් සංචාරකයන් වැඩි ප්‍රමාණයක්  මාලදිවයින වැනි  රටවල්වලට යනවා. පිහිටීම අතින් ගත්තාම  මාලදිවයින  වගේ රටකටත්  විශාල සංචාරක ආකර්ෂණයක් තියෙනවා. ඒ අතරවාරයේ අපේ රටටද සංචාරකයන් පැමිණෙනවා. එවැනි කාරණාත් සංචාරකයන් ලංකාවට පැමිණීමේදී හිතකර සාධකයක් ලෙස බලපාලා තියෙනවා. ඒ වගේම භූගෝලීය විවිධත්වය, විෂමතාව සංචාරකයන් රට තුළට ආකර්ෂණය කරගන්න බලපානවා. ලංකාව සාපේක්ෂව කුඩා රටක් වුවත් අපි දන්නවා විවිධාකාරයේ දේශගුණික සාධක සහ සංචාරකයන් බලාපොරොත්තු වුණු සංචාරක ස්ථාන තියෙන  නිසාත් ලංකාවට සංචාරකයන් පැමිණෙනවා.

උදාහරණයක් විධියට ලංකාවට ලස්සන වෙරළ තීරයක් තියෙනවා ඒවට ඉතා ඉක්මනින් යන්න පුළුවන්” මධ්‍යම කඳුකරයට යන්න පුළුවන්, ඉතාමත් කෙටි කාලයක් තුළ තේ වතු බලන්න ඕන නම් යන්න පුළුවන්. බොහෝ අවස්ථාවල අනෙකුත් රටවලදී මෙවැනි පහසුකම් ලැබෙනවා අඩුයි. ලංකාවේ භූගෝලීය පිහිටීම, විෂමතාව ගත්තාම සංචාරකයන්ට විවිධ ආකාරයේ තැන්වලට ඉතා කෙටි කාලයක් තුළ යෑමේ හැකියාව තිබීම, සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට එක්තරා ආකාරයක සාධකයක් බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවේ දියුණු ශිෂ්ටාචාරය, සංස්කෘතිය, පුරාවිද්‍යාත්මක නටබුන් හා ඉපැරණි ඉතිහාසය තිබීමත්, ඒවා නැරඹීමට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙනවා. කෙටි කාලයක් තුළ එවැනි ස්ථාන නැරඹීමට හැකියාවද සංචාරකයන් වැඩි වශයෙන් ලංකාවට පැමිණීමට බලපා තියෙනවා කියන්න පුළුවන්. බොහෝ රටවල ලංකාවේ  තේ Ceylon Tea කියන සන්නාමයෙන් හඳුන්වනවා.

ඒ තේ වතු නැරඹීම සඳහාම පැමිණෙන සංචාරකයන්ද සිටිනවා. අනෙකුත් රටවලට සාපේක්ෂව ලංකාවේ වසර පුරාම සංචාරකයන්ට සංචාරය කිරීමේ හැකියාව තිබෙනවා. වෙනත් රටවල ශීත කාලය මාස ගාණක් තියෙනවා ග්‍රීෂ්ම කාලය කියලා තවත් මාස ගාණක් තියෙනවා. ඒනිසා ඒ කාලවල ඒ රටවල සංචාරය කිරීමේ හැකියාව නැහැ. නමුත් ලංකාවේ එහෙම ගැටලුවක් නැහැ. සංචාරකයන් අඩුවෙන් පැමිණෙන මාසවල පැමිණීම වර්ධනය කර ගැනීමට ක්‍රියාමාර්ග ගත යුතුයි.

• වර්තමාන අර්බුද (පාස්කු ප්‍රහාරය, කොවිඩ්  වසංගත, ආර්ථික කඩාවැටීම්) වලට කලින් සංචාරක කර්මාන්තයෙන් අපේ රටට සැලකිය යුතු විදේශ සංචිත ප්‍රමාණයක් ලැබුණා නේද?

2018, 2019 වගේ කාලවල ගත්තොත් අර්බුදවලට කලින්, සංචාරක කර්මාන්තයෙන් තමයි අපට ලැබුණු විදේශ විනිමය ගොඩක් ලැබුණේ. අපි ඒ විදේශ විනිමය ශේ‍ර්ණිගත කළොත් සංචාරක කර්මාන්තය තිබෙන්නේ තුන්වැනි ස්ථානයටයි. 2018

වර්ෂය ගත්තොත් විදේශ විනිමය ඉපයීම අතින් 16%ක ප්‍රමාණයක්ද, 2019 වර්ෂයේ 14%ක වගේ ප්‍රමාණයක්ද විදේශ විනිමය තිබුණා. එම අගයන් ඇමෙරිකානු ඩොලර්වලින් කිව්වොත්, 2018 වර්ෂයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක්ද, 2019 වර්ෂය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.6ක සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ලැබුණා. කොරෝනා අර්බුදයත් සමඟ මෙය අහිතකර පරිදි වෙනස් වුණා. දැන් පවතින විදේශ විනිමය අර්බුදයත් එක්ක බලනකොට මේ අගය  අති විශාල මුදලක්. අද මුහුණදෙන විදේශ සංචිත සම්බන්ධ ගැටලු තව තවත් තීව්‍ර කිරීමට මේ සංචාරකයන්ගේ පැමිණීමේ අඩුව සෑහෙන්න දුරට බලපෑවා. ඒ ලැබුණු ආදායම සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. අපේ රටට අද එන්නේ ඉතාමත් අඩු සංචාරකයන් ප්‍රමාණයක්. එම ප්‍රමාණයත් රටේ තිබෙන අර්බුද හේතුවෙන් අඩු වෙන බවක් තමයි පේන්න තියෙන්නේ.

සංචාරක කර්මාන්තයෙන් විදෙස් විනිමය  පමණක් නෙවෙයි, දේශීය ආර්ථිකයටත් ලොකු ශක්තියක් ලැබුණා. අද වන විට ඒ සියල්ල බිඳ වැටිල (උදාහරණයක් ලෙස හෝටල්, ආහාර පාන, අත්කම් නිර්මාණ ආශ්‍රිත වක්‍ර රැකියා) එයත් අපේ ආර්ථිකයට බලපාන දෙයක් නේද?

සංචාරක කර්මාන්තය තුළින් විදේශ විනිමය ලැබීම් අත්‍යවශ්‍යයි. විදේශ විනිමය සැලකිය යුතු ප්‍රමාණයක් රටට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන බව අප සියලු දෙනා දන්නවා. ඒවගේම ආර්ථිකයේ විවිධ අංශවලට මෙම සංචාරක කර්මාන්තයේ හිතකර බලපෑමක් තිබෙනවා. අද වන විටත් අපි මුහුණ  දීලා තිබෙන ගැටලුවක් තමා රජයේ ආදායම් හා වියදම් පරතරය ඉහළ යෑම.

රජයේ ආදායමට සංචාරක කර්මාන්තයෙන්   ලැබුණු දායකත්වය අඩු වීම නිසා එම පරතරය තව තවත් තීව්‍ර වුණා. එම ආදායම විවිධාකාරයෙන් ලැබෙනවා. සංචාරකයන්ට පනවන බදුවලින් හා  ටිකට්පත් ගාස්තුවලින් ඇතුළු විවිධ මාර්ගවලින් රජයට ලැබුණු එම ආදායම ගත්තොත්, 2018 වසරේ  රජයට ලැබුණු ආදායම රුපියල් බිලියන 13ක් විතර වෙනවා. 2019 වන විට එය ටිකක් අඩු වුණා සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමත් සමඟ. නමුත් රුපියල් බිලියන 9.6ක් පමණ එම වසරේ රජයේ ආදායමට දායකත්වය ලැබුණා. සංචාරක කර්මාන්තය කඩා වැටීමත් සමඟ මෙය රුපියල් බිලියන  03 දක්වා අඩු වුණා. සංචාරක ක්ෂේත්‍රයේ  ආසන්න වශයෙන් සෘජු රැකියා ලක්ෂ දෙකක් පමණත්, වක්‍ර රැකියා ලක්ෂ දෙකක් පමණත් ලබා දෙනවා. සංචාරක ක්ෂේත්‍රය කඩා වැටීමත් සමඟ බොහෝදෙනකුට රැකියා අහිමි වී තිබෙනවා.

සංචාරක හෝටල්වල සිටිය පුහුණු ශ්‍රමිකයන් ලංකාව හැර යන තත්ත්වයක් තිබෙනවා. ලංකාවේ සංචාරකයන්ට සේවා සපයන ස්ථාන බොහොමයක් තිබෙන්නේ සුළු පරිමාණයෙන්. මධ්‍ය පරිමාණ හා මහා පරිමාණවලින්  ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයක්. සුළු පරිමාණ හෝටල්, සුළු පරිමාණ සංචාරක සේවා සැපයීම අද කඩාගෙන වැටිලා. ඒ කඩාගෙන වැටීමත් සමඟ විශාල පිරිසකගේ ආදායම් මාර්ග ඇහිරිලා තියෙනවා. සංචාරක කර්මාන්තය බිඳ වැටීමත් ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍රවලට අද අහිතකර බලපෑමක් කරල තියෙනවා.

• අපේ රටට පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා නිසි වැඩපිළිවෙළක් තිබෙනවාද?

ඒ ගැන නම් ඇත්තටම සෑහීමකට පත් වෙන්න බැහැ. අපි දන්නවා ලංකාවේ සීමිත ස්ථාන කිහිපයකට පමණයි සංචාරකයන් යන්නේ. ඉතාම පහසුවෙන් මේ ස්ථාන හ¾දුනාගෙන, ඒ සංචාරකයන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීම සඳහා, ඔවුන්ව අපහසුතාවකට පත් නොකර එම අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම අවශ්‍ය වෙනවා. නමුත් කනගාටුවට කරුණ වන්නේ සංචාරකයන් වැඩි වශයෙන් යන ස්ථානවල ටිකට් පත් සදහා  විශාල මුදලක් ගන්නවා. එලෙස විශාල මුදල් ගත්තාට  සංචාරකයන්ට අවශ්‍ය කරන මූලික පහසුකම් වන සනීපාරක්ෂක  පහසුකම්වත්   ලබාදෙන්නේ නෑ.

පහසුකම් ලබාදුන්නත් ඒවා නිසි අයුරින් නඩත්තු වන්නේ නැති බවක්ද පේන්න තියෙනවා. සංචාරකයන්ට ටිකට්පත් ලබාදීමේදී වුවත් නිසි වැඩපිළිවෙළක් නැහැ. බොහෝ ස්ථානවල සංචාරකයන් අපහසුතාවට පත්වෙන, රස්තියාදුවන අවස්ථා දක්නට ලැබෙනවා. සංචාරකයන් ගත්තාම කොටසක් ඉන්නවා දුම්රියෙන් යන්න කැමැති. වෙනත් රටවල් ගත්තාම මේ සඳහා වෙනම පැකේජ හඳුන්වාදී තිබෙනවා.  නමුත් ලංකාවේ, සංචාරකයන් ඉලක්ක කර එවැනි තත්ත්වයක් නිර්මාණය කරලා නැහැ. ලංකාවේ සංචාරකයන් ඉලක්ක කරගත් දුම්රිය ඉතා සීමිත ප්‍රමාණයක් පමණයි තිබෙන්නේ.

ඒ දුම්රිය කිහිපය හැරෙන්න පොදු ප්‍රවාහනය ගත්තොත් ඉතාමත් දුර්වල මට්ටමක  තමයි තිබෙන්නේ. ඒ වගේම සංචාරකයන් ගුවන්තොටුපළට පැමිණීමේදී  සහ පිටවීමේදී ඔවුන් මුහුණ දෙන ගැටලු නිසා දැඩි ලෙස අපහසුතාවට පත්වෙනවා. ඒ හරහා සංචාරකයන් තුළ ලංකාව  පිළිබඳ තිබූ ප්‍රතිරූපය එතැනින්ම බිඳවැටෙනවා. ඒ නිසා සංචාරකයන් පැමිණීමත් සමඟ ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමට නිසි වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ සඳහා රජයක් වශයෙන්  සංචාරක අමාත්‍යාංශය සහ අනෙකුත් අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කරලා මේවා නිසි පරිදි සැලසුම් කරලා සංචාරකයන්ට  අවශ්‍ය මූලික පහසුකම්වත් සලසා දිය යුතුයි.

• වරින් වර අපේ රටේ  සිදුවන යම් යම් ප්‍රශ්න හමුවේ අපේ රට පිළිබඳ ඇති ප්‍රතිරූපය බිඳ වැටෙනවා. එසේ නොවී පවත්වා ගැනීම ඉතා වැදගත් නේද?

සංචාරක කර්මාන්තය කියන්නේ ලෝකයේ සිදුවන විවිධ  සිදුවීම්වලට ඉතාමත් සංවේදී  කර්මාන්තයක්. මීට කාලයකට කලින් අපි දැක්කා කුරුලු උණ කියලා එකක් ආවා. එයත් සමඟ ලෝකයේම සංචාරක කර්මාන්තය බිඳ වැටුණා. ඊට පස්සේ යුරෝපයේ ආර්ථික අර්බුදය ආවා. ඒ වගේ කාලවල මිනිසුන්ගේ ආදායම අඩු වෙනවා එතකොට සංචාරය කරන ප්‍රමාණය අඩු වෙනවා. ලංකාවේ වසර 30ක යුද්ධයක් තිබ්බා. පාස්කු ප්‍රහාරය සිද්ධ වුණා. නමුත් යුද්ධය අවසන් වීමත් සමඟ සංචාරකයන්ගේ පැමිණීම වැඩි වුණා. ඒ හරහා ආර්ථිකයට හොඳ දායකත්වයක් ලබාදීමට හැකි වුණා. ඒ වුණත් පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා ආයේ සංචාරක කර්මාන්තය යළි කඩා වැටුණා. වැටුණු කර්මාන්තය නැඟිටගෙන එනකොට වසංගතයට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ වගේ සිද්ධි අපට වළක්වන්න බැහැ. නමුත් අපට කළමනාකරණය පුළුවන් දේවලුත් තියෙනවා.  රටක දේශපාලන ස්ථාවරත්වය කියන දේ අවශ්‍යයි.

රටක කැරලි කෝලාහල සිද්ධ වෙනවා නම්, උද්ඝෝෂණ වැඩ වර්ජන තියෙනවා නම්, සංචාරකයන්ට ආරක්ෂිතව ගමන් කිරීමට හැකියාවක් නෑ කියලා හිතෙනවා නම් ඔවුන්  පැමිණෙන්නේ නැහැ. මේ වගේ අවස්ථාවක් නිසා බොහෝ රටවල සංචාරකයන්ට බපචමඥත ඹචපදඪදඨ ලබා දෙනවා. එහිදී කිසියම් රටකට සංචාරකට යනවා නම් මේ වගේ රටවලට යන්න එපා. යනවා නම් සැලකිලිමත් වෙන්න  කියලා නිවේදන නිකුත් කරනවා. ඒ වගේ දේවල් ලෝකයට ගියාම රටේ ප්‍රතිරූපයට ඒක හොඳ නැහැ. ඒ නිසා සංචාරකයන්ගේ පැමිණීම බොහෝ වෙලාවට අඩු වෙනවා. ඊට අමතරව සංචාරකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා සැලකිලමත් විය යුතු බව සඳහන් කළ යුතුමයි.

• වර්තමානය වන විට බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය, මෙන්ම අප රට ගැන ඇති ප්‍රතිරූපය යළි ගොඩනඟා ගැනීමේ කෙටි කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙළ මොන වගේද?

කෙටිකාලීනව අපට කරන්න පුළුවන් දේ තමා සංචාරකයන්ට අවශ්‍ය මූලික පහසුකම් සැපයීමට අවශ්‍ය කටයුතු සකස් කිරීම. ඒ වගේම අපි මුහුණ දෙන ඉන්ධන, විදුලිය වගේ ගැටලු  සංචාරකයන්ටද  බලපානවා. අපිට දකින්න පුළුවන් වුණා සමහර සංචාරකයෝ සංචාරය අතරමැද, ඉන්ධන පෝලිමේ ඉන්නවා. ඒ වගේ රටකට සංචාරකයන් එන්න කැමැති නැහැ. එතකොට රජයට වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ මේ සඳහා. අපි විශාල වශයෙන් ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙන්නේ විදේශ විනිමය ප්‍රශ්නයයි. සංචාරකයන්ගෙන් විදේශ විනිමය  ලැබෙන නිසා, විදේශ විනිමය ගැටලුව යම්තාක් දුරට හරි සමනය කරගන්න අවස්ථාවක් අපට ලැබෙනවා. ඔවුන්ට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි කියලා මට හිතෙනවා. ඒ සඳහා රජයට කෙටිකාලීන වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ වගේම විදේශ රටවල තිබෙන තානාපති කාර්යාල, මහ මහකොමසාරිස් කාර්යාලවලට විශේෂ වගකීමක් තියෙනවා ලංකාවේ සංචාරක කර්මාන්තය ගොඩනැඟීම සම්බන්ධයෙන් සහ  ප්‍රතිරූපය ගොඩනැඟීම සම්බන්ධයෙන් කටයුතු කිරිමට.

ඒ ඒ  රටවලින් පැමිණෙන සංචාරකයන් වර්ධනය කර ගැනීමට සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය යන ආයතන සමඟ එක්ව කටයුතු කළ යුතු වෙනවා. නමුත් එය සිදු වෙනවාද කියන එකේ ගැටලුවක් තියෙනවා. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම  සඳහා ඉදිරියේදී සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි වැඩි බරක් තැබීමට සිදු වෙනවා. ඒ සඳහා කෙටි කාලීනව වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. දිගු කාලීනව ගත්තොත්  අපි දකිනවා බොහෝ අවස්ථාවලදී සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව සම්බන්ධයෙන් රජය කරන්නේ සංචාරකයන් කී දෙනෙක් ගෙන්නනවාද කියලා ඉලක්කම් සකස් කිරීම පමණයි. නමුත් අපි දැන ගත යුතු කරුණක් වන්නේ සංචාරකයන් ගෙන්වා ගැනීමට ඉලක්ක සකස් කිරීමේදී සංඛ්‍යාත්මක අගයට වඩා වැදගත් වෙන්නේ ආර්ථිකයට ලැබෙන දායකත්වයයි.

අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ වැඩිපුර වියදම් කරන්න පුළුවන් සංචාරකයන් ගෙන්වා ගැනීමට සහ වියදම් කිරීමට අවස්ථාව සලසන්න ඕනේ. ඇත්ත වශයෙන්ම කිව්වොත් ලංකාවේ වියදම් කරන්න මාර්ග අඩුයි. මේවා ඉතා පහසුවෙන් කරන්න පුළුවන් දේවල්. ඔවුන් බොහෝ වෙලාවට වියදම් කරන්නෙ  හෝටල්වලටයි ප්‍රවාහනයටයි. ඒ හැරෙන්න වියදම් කරන මාර්ග අඩුයි. මේවා ඉතා පහසුවෙන් කරන්න පුළුවන් දේවල්. මම කියන්නෙ නැහැ  රජය විසින්ම කරන්න ඕනි කියලා. නමුත් රජය මැදිහත් වෙලා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම අවශ්‍යයි.

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේදී  බොහෝ වෙලාවට ප්‍රවර්ධනය  කරන්නේ තෝරාගත් රටවල් කිහිපයක් පමණයි. නමුත් කරන්න ඕන, අපේ රටට සංචාරකයන් එන රටවල්වලින් සංචාරකයන් ගෙන්වා ගැනීම වැඩි කරගන්නවා වගේම, සංචාරකයන් ඉතා අඩුවෙන් එන සහ අපිට පහසුවෙන් සංචාරකයන් ගෙන්වා ගන්න පුළුවන් රටවලත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමයි. ඒක ඉතාමත් වැදගත්. ඒ සඳහා දීර්ඝකාලීනව වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. මම කියන්නේ නෑ ලෝකයේ සෑම රටකම ප්‍රවර්ධනය කරන්න ඕනි කියලා. ඒ සඳහා විශාල මුදලක් දරන්නට සිදුවෙනවා. නමුත් ශක්‍යතාව තිබෙන වෙළෙඳපොළ හඳුනාගෙන ප්‍රවර්ධනය කිරීම කළ යුතුයි. වැඩිපුර වියදම් කරන්න පුළුවන් සංචාරකයන් ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව තිබෙනවා.

ඔවුන් හරහා ආර්ථිකයට ප්‍රතිලාභ ලැබෙනවා. ඔවුන් වැඩි දවසක් රැඳී සිටිනවා කියන්නේ වැඩිපුර වියදම් කරනවා. ඒ වගේ සංචාරකයන් ගෙන්වා ගැනීම තුළින් අපිට ආර්ථික ප්‍රතිලාභ වැඩි කරගන්න පුළුවන්. ලංකාව කියන්නෙ කුඩා රටක්. අපේ රටට සංචාරකයන් ගෙන්වා ගැනීමේදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහිත හෝටල් ක්ෂේත්‍රය  පුළුල් කරමින්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමත් කළයුතුයි. ඒ සඳහා දීර්ඝකාලීනව සැලසුමක් ඇතිව කටයුතු කළ යුතුයි. මේ සඳහා රජය හා පෞද්ගලික අංශය එකට එක්ව ක්‍රියා කිරීම වැදගත්.

• රට වටා තිබෙන මුහුදු වෙරළ, නටබුන්, ස්මාරක හැරෙන්න, සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට, වර්ධනය කළ හැකි අංශ මොනවාද?

ඕක තමයි අනිත් කාරණාව. ලංකාව පිළිබඳ බොහෝ වීඩියෝ, වැඩසටහන්, දැන්වීම්වල ලංකාව ගැන  තිබෙන්නේ ලස්සන වෙරළක් තියෙන, ලස්සන තැන් තියෙන, බලන්න යන්න පුළුවන්  ගමනාන්තයක් විධියටයි. නමුත් ඊට වඩා දෙයක් තියෙනවා ලංකාවේ. ඒ කිසි දෙයක් යන්නෙ නෑ ලෝකයට. ලෝකේ ගොඩක් සංචාරකයන් යන රටවල තියෙන දෙයක් තමා FESTIVAL EVENTS වගේ දේවල්. නමුත් ලංකාවේ ඒ වගේ දේවල් අඩුයි. උදාහරණයක් විදිහට අපේ මහනුවර ඇසළ පෙරහරට බලන්න ඒ කාලයට විශාල සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණෙනවා.

අගෝස්තු කියන්නේ සංචාරකයන් එන කාලයකුත් නෙවෙයි. ඒත් පෙරහර බලන්නම විශාල සංචාරකයන් ප්‍රමාණයක් එනවා. ඒ වගේ අපේ සංස්කෘතියේ තිබෙන EVENTS ප්‍රවර්ධනය කිරීම සහ අලුත්  EVENTS සංවිධානය කිරීම හරහා සංචාරකයන් වැඩි වශයෙන්ම  ආකර්ෂණය කරගන්න පුළුවන්. එමඟින් සංචාරකයන් ගෙන්වා ගැනීමට සහ එවැනි  EVENTSවල විකුණන  ටිකට්පත් හරහා ආදායමකුත් ලබාගන්න පුළුවන්. අනෙක් කාරණාව තමයි අනෙකුත් රටවල තියෙනවා FOOD FESTIVALකියලා එකක්. මොකද සංචාරකයන් එන්නේ තැන් බලන්න විතරක් නෙවෙයි.

ඒ රටවල සංස්කෘතිය පිළිබඳ අත්දැකීමක් ලබාගන්න. ඒ රටවල  කෑම බීමවල රස බලන්න එන්නේ. ඒ වගේ දේවල්වලට අවධානය දිය යුතුයි. නමුත් අපේ රටේ  ඒ වගේ ක්ෂේත්‍රවලට අවධානයක් දීලා නැහැ කියලයි මට හිතෙන්නේ. FOOD FESTIVAL වගේ EVENT එකක් සංවිධානය කළොත් ඒ ප්‍රදේශවල සිටින ජනතාවට රැකියා අවස්ථාව ලැබෙනවා. ඒ වගේම MUSICAL EVENTS වගේ දේවල් අපේ රටේ නැහැ. MUSICAL EVENTS වගේ දේවල්වලට සංචාරකයන් විශාල වශයෙන් ආකර්ෂණය වෙනවා. බොහෝ රටවල දැවැන්ත MUSICAL EVENTS සංවිධානය කරනවා. ඒවා සංචාරක ආකර්ෂණයට අවශ්‍යයි. ඉන්දියාව, සිංගප්පූරුව වැනි රටවල්ද සංචාරක ආකර්ෂණයට මෙවැනි දේවල් සිදු කරනවා.

• මේ වනවිට රට තුළ තිබෙන ආර්ථික අර්බුද මැද්දෙ, සංචාරකයන් අපේ රටට ගෙන්වාගෙන, විදේශ විනිමය වැඩි කර ගැනීමට රටේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් වගකිවයුතු ආයතනවල වගකීම් කොහොමද?

රජය සෘජුවම සම්බන්ධ වන ආයතන කිහිපයක් තිබෙනවා. සංචාරක අමාත්‍යාංශය, සංචාරක සංවර්ධන අධිකාරිය,  සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වැනි ආයතන. එම ආයතනවලට තිබෙන ප්‍රධාන කාර්යය තමයි ඒකාබද්ධ වැඩපිළිවෙළකට යන එක. ලංකාවේ මේ ආයතන සහ විදේශ රටවල තිබෙන මහකොමසාරිස් කාර්යාල, තානාපති කාර්යාල සහ ඒ රටවල තිබෙන සංචාරක නියෝජිත ආයතන, ඒකාබද්ධව ලංකාවේ ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. දැන් තිබෙන අර්බුද නිසා ලංකාවේ ප්‍රතිරූපය බිඳ වැටිලා තියෙන්නේ. ඒක වෙනස් කරන්න සංචාරක අමාත්‍යාංශයට විතරක් බැහැ. ඒ සඳහා රජයට සම්පූර්ණ වගකීමක් තියෙනවා සංචාරකයන්ට අවශ්‍ය මූලික පහසුකම්වත් ලබා දෙන්න පුළුවන් තැනකට රට ගේන එක.

නැතිනම් සංචාරකයන් එන්නේ නැහැ. ඉන්ධන, ගෑස්, විදුලිය වගේ අත්‍යවශ්‍ය  පහසුකම්වත් ලබා දෙන්න පුළුවන් වැඩසටහනක් ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොමැති වුවහොත් ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමට හැකි වන්නේ නැහැ. එය ඉතා කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කළ යුතුයි.  ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැඟීම ඉතාමත් අත්‍යවශ්‍යයි. සංචාරක අමාත්‍යාංශය, සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වගේ ආයතන වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුයි. සංචාරයට කැමැති සංචාරකයන්ට, එන්න හිතෙන රටක් නිර්මාණය කරන්න මේ ආයතනවලට විශාල  වගකීමක් තිබෙනවා.

සාකච්ඡා කර ලිව්වේ-රුවන් පුෂ්පකුමාර

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය, කැලණිය විශ්වවිද්‍යාලය.