මෙන්සස් වෙන්න ඇයි මෙච්චර පමා?

0
227

කාන්තාවන් හට තිබෙන ගැටලු අතරින් ප්‍රධාන ගැටලුවක් වන්නේ ඔසප් චක්‍රය පිළිබඳ ඇති විවිධ ප්‍රශ්නයි. එයින් ඔසප් චක්‍රය අක්‍රමවත් වීම බොහෝ කාන්තාවන් අත්විඳින තත්ත්වයකි. එය කාන්තාවකගේ සමස්ත ජීවිතයටම බලපාන යම් යම් කාරණා පිළිබඳ ඉඟි පළ කරන බැවින් ඔසප් චක්‍රයේ අක්‍රමිකතා පිළිබඳ ඩඥප පාඨකයන්ව දැනුවත් කරන්නට අපි සිතුවෙමු.

ඔසප් වීම යනු කාන්තාවක වැඩිවියට පත්වීමේ සිට ආර්තවහරණය දක්වා චක්‍රයක් ආකාරයට සිදුවන ක්‍රියාවලියකි. යෝනි මාර්ගයන් රුධිරය පිටවීමක් මඟින් එය පෙන්නුම් කරන අතර සමාජයේ සාමාන්‍ය මතය වන්නේ දින 28කට වරක් ඔසප් චක්‍රය සිදුවන බවයි. නමුත් එය සෑම කාන්තාවකටම පොදු කරුණක් නොවේ. බහුතරයකට දින 28කට වරක් ඔසප් වුවත් දින 26 වැනි අඩු දින ගණන්වලින් ඔසප් වන අයද සිටිය හැකිය. එසේම ඔසප් වීමට දින 35ටත් වැඩි කාලයක් ගතවේ නම්, මාස 2ත් 3ත් අතර කාලයක ඔසප් වීම සිදුවේ නම්, එය අක්‍රමවත් ඔසප් චක්‍රයකි.

අක්‍රමවත් ඔසප් චක්‍රයක පවතින ප්‍රධානම ගැටලුව වන්නේ කාන්තාවකගේ ඩිම්බකෝෂයෙන් ඩිම්බයක් මෝරා පිටවීම සම්බන්ධව පවතින ගැටලුයි. මේ සඳහා බලපානු ලබන ප්‍රධාන කරුණු ලෙස තයිරොයිඩ් ග්‍රන්ථියේ පවතින රෝග, දියවැඩියාව, අධික කොලොස්ටරෝල් ප්‍රධාන තැනක් ගනු ලබයි. එසේම අධික තරබාරුකමද අක්‍රමවත් ඔසප් චක්‍රයක් සඳහා ප්‍රධාන වශයෙන් බලපානු ලැබේ. අක්‍රමවත් ඔසප් චක්‍රයකට තවත් හේතු බොහොමයක් බලපානු ලබන අතර,

1. තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාවලිය අඩපණ වීමෙන් තයිරොයිඩ් හෝමෝන ශ්‍රාවය අඩුවේ. මෙය මන්ද පරාභතාවය (Hypothyroidism) ලෙස හඳුන්වයි. මෙහිදී අධික රුධිර වහනය, වේදනාව, තෙහෙට්ටු බව, සීතල දැනීම, බර වැඩිවීම වැනි ගැටලු මතු වේ. එසේම තයිරොයිඩ් ග්‍රන්ථියෙන් තයිරොක්සින් හෝර්මෝනය අධිකව ස්‍රාවය වීමක් සිදුවේ නම් එය අතිපරාභතාවය (Hyperthyroidism) ලෙස හඳුන්වයි. එහිදී හදිසියේ බර අඩුවීම, කාංසාව, හෘද ස්පන්දනය, වැඩිවීම, ඔසප් චක්‍රයේ රුධිර වහනය වන දින ගණන අඩුවන අතර රුධිර ප්‍රමාණයද අඩු වේ. එය ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට බලපානු ලැබේ.

2 බර වැඩිවීම

තරබාරු බව අක්‍රමවත් ඔසප් චක්‍රයට පැහැදිලි හේතුවකි. මෙමඟින් හෝර්මෝන සහ ඉන්සියුලින් මට්ටම අතර ගැටුමක් ඇතිවන අතර එය ඔසප් චක්‍රයට බලපානු ලැබේ.

3. අධික ව්‍යායාම

ව්‍යායාම අධික වීම, ඔසප් චක්‍රය හා බැඳුණු හෝර්මෝනවලට බලපෑමක් ඇති කරයි. කාන්තා මලල ක්‍රීඩිකාවන්ට, බැලේ නැටුම් ශිල්පිනියන් හට ඔසප් චක්‍රය නතර වීම හෝ සුළු වශයෙන් ඔසප් වීම ඇතිවිය හැකිය.

4 මානසික ආතතිය

මානසික ආතතිය මඟින් මොළයේ කොටසකට තාවකාලිකව ඇතිවන බලපෑම නිසා හෝර්මෝන නිෂ්පාදනය පාලනය වීමෙන් ඔසප් චක්‍රයට යම් බලපෑමක් ඇති කරයි.

5. ඇතැම් ඖෂධ ලබා ගැනීම නිසා

ඇතැම් ඖෂධ ඔසප් චක්‍රයට බාධා ඇති කරයි. ප්‍රතිකාර සඳහා ගන්නා හෝමෝන පෙති. රුධිරයේ ඝනකම අඩුකරන ඖෂධ, තයිරොයිඩ් රෝග සඳහා ගන්නා ඖෂධ, අපස්මාරය සඳහා ගන්නා ඖෂධ, මානසික අවපීඩනය සඳහා ගන්නා ඖෂධ, පිළිකා සඳහා ගන්නා ඖෂධ වර්ගවලින් ඔසප් දින ගණන් අක්‍රමවත් වන අතර රුධිරය පිටවන ප්‍රමාණයද අඩු වේ.

6. ගර්භණීභාවය

මෙහිදී ගර්භණීභාවය සම්පූර්ණ වන තුරු එනම් දරුවා බිහිවන තුරු ඔසප් වීම සිදුනොවන අතර ප්‍රසූතියෙන් පසුව බොහෝ කාන්තාවන් හට මාසයක් දෙකක් යනතුරු ඔසප් වීම සිදු නොවේ.

7. මවුකිරි ලබාදීම

Prolactin හෝර්මෝනය මඟින් මවුකිරි නිපදවීම සිදුවන අතර මෙමඟින් ප්‍රජනක පද්ධතියේ ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරොන් ක්‍රියාවලිය අඩපණ කරන බැවින් ඔසප් වීම අඩු දින ගණනක් පැවැතීම හෝ රුධිර වහනයක් නොමැති විය හැකිය.

8. අධික ලෙස බර අඩුවීම හා කෑම ගැනීමේ ගැටලු

අධික ලෙස බර අඩුවීමෙන් ඔසප් චක්‍රය අක්‍රමවත් වේ. එයට හේතුව වන්නේ ඩිම්බ නිෂ්පාදනයට අවශ්‍ය හෝර්මෝන නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් කැලරි නොමැති වීමයි. එවිට ශරීර ස්කන්ධ දර්ශකය 18.5 වඩා අඩුවීමත් සමඟ ඔසප් චක්‍රය නැවතේ.

මෙවැනි ගැටලු ප්‍රධාන වශයෙන් බලපාන අතර වයස් මට්ටම අනුව ඇති වන මානසික පීඩනයද ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට බලපානු ලැබේ. වයස අවුරුදු 12ත් 14ත් අතර පසුවන දැරියන් බහුතරයකගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට පටන් ගනු ලබන්නේ වයස අවුරුදු 16ත් 17ත් පමණ වයසේදීය.

එයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ තරගකාරී අධ්‍යාපන රටාවයි. අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පෙනී සිටින විට ඔවුන් තුළ ඇති වන බිය නිසා ඇති වන මානසික පීඩනය හෝර්මෝන ක්‍රියාකාරිත්වය වෙනස් කිරීමට බලපායි. එමෙන්ම විභාගවලට පෙනී සිටීමේදී කරනු ලබන කැපකිරීම් නිසා ශාරීරික වෙනස් වීම් ඇතිවන අතර එයින් හෝර්මෝන අසමතුලිතතාව ඇති විය හැකිය.

තරුණ වියේදී ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සිදුවන්නේ වයස අවුරුදු තිහ පමණ වන විටය. එම වයසට පැමිණීමේදී විවාහ වී නොසිටීම, තමා බලාපොරොත්තු වන ආකාරයේ රැකියාවක් නොලැබීම, ප්‍රේම සබඳතා බිඳ වැටීම වැනි කරුණු නිසා බොහෝ යුවතියන් මානසිකව පීඩාවට පත්වෙති.

විවාහයෙන් පසු ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ තමා බලාපොරොත්තුවන අවස්ථාවේදී දරුවන් නොලැබීම. නිසා ඇති වන මානසික පීඩනයයි. එසේම දරුවන් ලැබූ විට මතුවන පවුල් අර්බුද නිසාද මතුවන මානසික පීඩනය ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට බලපානු ලැබේ.

බොහෝ විට ඔසප් වීම සිදුවීම පාලනය වන්නේ හෝර්මෝන පද්ධතිය මඟිනි. ඒ සඳහා උපකාරී වන හෝර්මෝන රැසක් තිබෙන අතර ප්‍රධාන වශයෙන්ම ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් නමැති කාන්තා හෝර්මෝනය එයට මූලිකවම බලපානු ලැබේ. එයට අමතරව ටෙස්ටෙස්ටරොන් නමැති පුරුෂ හෝමෝනය, ඉන්සියුලින්, තයිරොක්සින් ආදී හොර්මෝන රැසක්ද ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට බලපාන අතර ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට ඇතැම් අයට මානසික සාධකද බලපානු ලැබේ. එනම්,

                – ආදර සබඳතා බිඳ වැටීම.

                – පවුලේ සමීපතමයකුගේ

                   මරණයක් සිදුවීම.

                – තමා ජීවත් වූ සුපුරුදු

                   පරිසරයෙන් වෙන්වී වෙනත්

                   ප්‍රදේශයකට යෑමට සිදුවීම.

වැනි කරුණු පෙන්වා දිය හැකිය. අක්‍රමවත් ලෙස ඔසප් චක්‍රය සිදුවීමට වර්තමානයේදී පොලි සිස්ටික් ඕවරී සින්ඩේ‍රාම් රෝගයද බෙහෙවින් බලපාන අතර මෙම රෝගයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ සාමාන්‍ය ජීවන රටාවේ වෙනස් වීම්ය. එනම් නිසි ව්‍යායාම්වල නොයෙදීම, සමබල ආහාර වේලක් වෙනුවට ක්ෂණික ආහාර වර්ග පාන ආදී කැලරි අධික ආහාර වර්ග නිතර නිතර ගැනීම මඟින් සිරුරෙහි හෝර්මෝනවල ක්‍රියාකාරිත්වය වෙනස් වීම වැනි දෑ පෙන්වා දිය හැකිය. එයට අමතරව මෙම රෝගයේ ලක්ෂණ ලෙස මුහුණේ සහ සිරුරේ රෝමකූප වර්ධනය, හිසකෙස් ගැලවී යෑම ආදී ලක්ෂණද දැක්විය හැකිය.

ඔසප් චක්‍රය ක්‍රමවත්ව පවත්වා ගැනීමට නම් ඔබ ඔබේ ශරීර සෞඛ්‍ය පිළිබඳ බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතුය.

ඔබ අධික තරබාරු තත්ත්වයට පත්වී සිටින කාන්තාවක් නම් තරබාරුව පාලනය කර ගැනීමට යම් යම් ක්‍රියාකාරකම් සිදුකළ යුතුය. මුලින්ම සිදුකළ යුත්තේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට බලපා ඇති හේතුව නිසිලෙස හඳුනා ගැනීමයි.

ඉන්සියුලින් හෝර්මෝනයේ වෙනස්වීමක් ඇතිනම් එම නිසා මතුවී ඇති දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබාගත යුතුය. කොලෙස්ටරෝල් අධික වී ඇත්නම් එය පාලනය කරගත යුතුය. තයිරොක්සීන් හෝර්මෝනයේ වෙනස්වීමක් හටගෙන ඇත්නම් ඒ සඳහාද ප්‍රතිකාර ලබාගත යුතුය. තවත් වැදගත් කරුණක් වන්නේ යම් මානසික පීඩාවක් නිසා ඇතිවූ ඔසප් චක්‍රයේ අක්‍රමිකතා එම මානසික පීඩනය පාලනය වූ පසු යළි ඇති වීමයි.

එසේම ඔබට ඔසප් චක්‍රය ක්‍රමවත් කර ගැනීමට අවශ්‍ය නම්,

–              උසට සරිලන බරක් තබා ගන්න.

–              සමබල ආහාර වේලක් ලබා ගන්න. (නැවුම් එළවළු පලතුරු ආහාරයට එකතු කර ගන්න)

–              දිනපතා ව්‍යායාම්වල යෙදෙන්න.

–              මානසික ආතතීන් අවම කර ගැනීම සඳහා පොත් කියවීම, සංගීතයට සවන්දීම, වැනි මානසික සුවය ලබාදෙන ක්‍රියාකාරකම්වල නිරත වන්න.

සචිනි බස්නායක