ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සාර්ථක ගමනක

0
15

ශ්‍රී  ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තෙවැනි තරගයේ පළමුව ලකුණු රැස්කළ ඕස්ට්‍රේලියානුවන් සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6කට ලකුණු 291ක් රැස් කර ත්තේය.  කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක ආරොන් ෆින්ච් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව ලබා නොදුන් දුෂ්මන්ත චමීර ලකුණු 9ක් ලබා සිටි වෝනර් පළමු කඩුල්ල ලෙස ක්‍රීඩාගාරය වෙත හරවා යැවීය. ඉන් අනතුරුව ක්‍රියත්මක වූ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ලකුණු 10ක් ලබා සිටි මිචෙල් මාෂ් දවා ගැනීමට සමත් විය.

ඉන් අනතුරුව නායක ෆින්ච්ට එක්වූ මානස් ලැබ්ස්චේන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක් එක් කළ අතර, ජෙෆ්රි වැන්ඩර්සේගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ස්ටම්ප් කිරීමකට හසුව ලැබ්ස්චේන් දැවී යෑමත් සමගින් එම සම්බන්ධතාව බිඳවැටිනි. කෙසේ වෙතත් මානස් ලැබ්ස්චේන් ලකුණු 29ක් රැස්කරගත්තේය. 

මේ අතර ඕස්ට්‍රේලියානු නායක ආරොන් ෆින්ච් සිය එක්දින දිවියේ 30 වැනි අර්ධ ශතකය වාර්තා කර ගත්තේය.

ලැබුෂ්්චේන්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි ඇලෙක්ස් කේරි සිය නායකයා සමඟින් නැවතත් සම්බන්ධතාවයක් ගොඩනැගීමේ උත්සාහයක නිරත වුවද ස්ලිප්හි පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වාගේ සුපිරි පන්දු රැකීම හමුවේ ෆින්ච් සිවු වැනි කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 62ක් රැස්කරගෙන සිටියේය.

තත්ත්වය එසේ තිබියදීත් ඕස්ට්‍රේලියානු මැදපෙල වගකීම භාරගත් ඇලෙක්ස් කේරි 5 වැනි කඩුල්ල වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් සමඟින් එක්ව ලකුණු 72ක් එක් කළේය. නමුත් අර්ධ ශතකය පෙනෙන මානයේ ලකුණු 49ක් ලබා සිටියදී ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කරීමේ වරදට හසුව කේරි 5 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියේය. එම දැවී යෑමෙන් පසුව පිටියට පිවිසි ග්ලේන් මැක්ස්වෙල් මුහුණ දුන් දෙවැනි පන්දුවෙන්ම ලබා දුන් අසීරු උඩපන්දුවක් ධනංජය ද සිල්වාගේ අතින් ගිළිහී ගියද මැක්ස්වෙල් ලකුණු 33ක් ලබා සිටියදී ලබාදුන් අසීරු උඩ පන්දුව විශිෂ්ට ලෙසින් රැකගැනීමට දුනිත් වෙල්ලාලගේට හැකියාව ලැබිණි. ඒ අනුව මැක්ස්වෙල් 6 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වන විට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 233ක් ලෙසින් සටහන්විය.

අවසානයේදී වගකීම තම කරමතට ගත් ට්‍රැවිස් හෙඩ් නොදැවී ලකුණු 70ක් රැස්කළ අතර කැමරන් ගී්‍රන් නොදැවී ලකුණු 15ක් රැස්කරගත්තේය.

කෙසේ වෙතත් මෙම තරගයේදී ශ්‍රී  ලංකාව එක් වෙනස්කමක් සමඟින් පිටියට පිවිසියේය. ඒ අනුව ආරම්භක පිතිකරුව ධනුෂ්ක ගුණතිලක වෙනුවට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබිණි. එමෙන්ම ආබාධයක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු මැදපෙල පිතිකරු ස්ටීවස් ස්මිත් වෙනුවට ඊයේ තරගයට මිචෙල් මාෂ් කැඳවා තිබිණි. එමෙන්ම මෙම තරගය  ශ්‍රී  ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති සිය වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලෙසින් ද වාර්තා අතරට එක්විය.

ගමිත දෙහිපිටිය

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට