Marvel සිනමා විශ්වයට එකතුවුණු පාකිස්තානු පුංචි වීරවරිය

0
668

අනේ මටත් දවසක සුපිරි වීරයෙක් වෙන්න ඇත්නම්! කොමික් රසිකයන්ට අනිවාර්යයෙන්ම මේ හැඟීම දැනිලා ඇති. ෆෑන් ෆික්ෂන් ලියන්න, ෆෑන් ආට්ස් අඳින්න, කොස්ප්ලේ කරන්න, කොමික් ඉවෙන්ට්වලට යන්න, තමන් කැමැතිම සුපිරි වීරයො ගැන දවල් හීන දකින එක අපි කවුරුත් කරන දෙයක්නෙ… දවසක, ඔයාගේ ඒ දවල් හීනය සැබෑවක් වුණොත්!!!

කමලා ඛාන් නම් ඒ හීනය සැබෑවක් කරගත්තා. කමලා ඛාන් කියන්නේ කොමික් උණ තිබෙන පුංචි කෙල්ලෙක්. 2013 වසරේ Captain Marvel (Vol 7) #14 කතාවෙන් කොමික් ලොවට ආ Ms. Marvel කතාව රසිකයන් අතර කොච්චර ජනප්‍රිය වුණාද කියනවා නම් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ටීවි සීරීස් එකකුත් ලබාගත්තා. ඉතිං, ජුනි 8 වැනිදා ඉඳන් පුංචි තිරයට ආව මේ තරුව ගැන trailer ඔස්සේ මෙතෙක් දැනගත්ත දේවල් ගැන කතා කරන්න මේක හොඳ අවස්ථාවක්.

හා හා පුරා කියලා trailer එක පටන්ගන්නේ Ant-Man ගැන ෆෑන් ආට් එකක් අඳින දර්ශනයකින්. Ant-Manට තමන්ගේ ශරීරයේ ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන් වගේම කොමික්වලට අනුව Ms. Marvel ට තමන්ගේ උස වෙනස් කරන්න, අත් පය දික් කරන්න වගේ Morphogenic හැකියා තිබෙන නිසා Ant-Manගෙ චිත්‍රයක්ම ඇඳීම අහම්බයක් වෙන්න බෑ. මාවල් සිනමා ලෝකෙ බලවත්ම බවලතුන් වෙන Captain Marvel, Wasp සහ Valkyrie සිටින ෂර්ට් ඇඳීම, Captain Marvel ගේ ඇඳුමින් කරනා සුපිරි වීර ගොඩබෑම (Superhero Landing), Avengers Event වලට සම්බන්ධ වීම වගේ සිද්ධිවලින් ඇය මාවල් කොමික්වල ලොකු රසිකයකු බව පෙන්නුම් කරනවා. කමලාගේ වචනවලින්ම කිවහොත් කමලා, “ෆැන්ටසි ලෝකයේ ගෙවෙනවා වැඩියි”. ඒ නිසා කරදර බෝමයකට මුහුණ දෙන්න වෙන හැඩක් තමයි පෙනෙන්නට තිබෙන්නේ.

Captain Marvel ගේ අඩි පාරේ යමින් Ms. Marvel වන මේ යෞවනිය Captain Marvelට දක්වන දැඩි කැමැත්ත ගැන trailer එක ඔස්සේ පුන පුනා පෙන්වීම පුදුමයක් නෙවෙයි. Spider-Man: Homecoming චිත්‍රපටයේ සැන්විච් කඩය පුපුරා යන දර්ශනය මතක් කරමින් Circle Q නම් කඩයක් පුපුරා යන අවස්ථාවක් trailer එකේ අඩංගු වෙනවා. සමහර විට ලොකු අත්වැරදීමකින් පස්සේ තමන්ගේ “සුපිරි බලයක් ලැබෙන්නේ ලොකු වගකීමක් එක්කමයි” කියන පාඩම ඇය ඉගෙන ගන්නේ එතැනින් වෙන්නත් පුළුවන්. පර්දාව ඇඳගෙන පල්ලියක යාඥා කරන දර්ශනයක්. ඔව්, මේ පාකිස්තානු ඇමෙරිකානු සම්භවයක් තිබෙන ගෑනු දරුවා තමයි MCU සුපිරි වීර බිමට ආව පළමු මුස්ලිම් චරිතය.

කොමික්වලට අනුව නම් ටෙරිජන් බෝම්බයක් නිසා තමන්ගේ ඉන්හියුමන් හැකියාව සක්‍රිය වෙන Ms. Marvel ට බලය ලැබෙන ආකාරය trailer එකෙන් පැහැදිලි නොවුණත් cosmic බලයක් ලැබෙන බව නම් පැහැදිලියි. කමලා පලඳින අද්භූත වළල්ල අනුව නම් කමලාගේ MCU කතාව කොමික් කතාවෙන් වෙනස් වන්න පුළුවන් බවක් තමයි පේන්නේ.

මාවල් සිනමා විශ්වය කියන්නේ trailer එකකින් මනින්නට පුළුවන් දෙයක් නෙවෙයි. අක්කා පෙන්නලා නංගි දෙනවා වගේ මීට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් කතාව ඇතුළේ වෙන්න පුළුවන්. ඒත් මාවල් ආයතනය Ms. Marvel හඳුන්වා දුන්නේම සැබෑ මාවල් රසිකයන්ව නිරූපණය කරන්න කියන දේ අමතක කරන්න එපා. කවුද දන්නෙ. බලයක් ලැබුණත් නොලැබුණත් අපි හැමෝටම එක්තරා විධියක සුපිරි වීරයෙක් වෙන්න පුළුවන්! අපිව සුපිරි වීරයෙක් විධියට පෙනෙන්නේ අපේ සුරතල් බල්ලාටද, පූසාටද, පවුලේ කෙනෙක්ටද නැත්තම් මුළු රටටමද කියන එක වැදගත් නැහැ. හොඳ හදවතක් තිබෙන යහපත් මනුෂ්‍යයෙක් වෙන එකයි වැදගත්.

සෙව්මිණි බණ්ඩාරනායක