දෙවියන් සෑම කෙනෙක් තුළම වාසය කරයි

0
46

හින්දු ආගම දේවවාදී ආගමකි. බ්‍රහ්මයා විසින් ලෝකයේ අවසාන යථාර්ථය බොහෝ දෙවිවරුන්ගේ මාර්ගයෙන් මිනිසුන්ට ප්‍රකාශ කර ප්‍රසිද්ධ කර ඇත. හින්දු භක්තිකයන් මෙම දෙවිවරුන්ට නමස්කාර කරන්නේ බ්‍රහ්මයාගේ එක් එක් අවතාර ලෙසයි. හින්දු ආගමේ ප්‍රධාන සංකල්පය වන්නේ ත්‍රිමූර්තියයි. එය පිරිමි දෙවිවරුන් තිදෙනකුගේ කණ්ඩායමකි. එනම් බ්‍රහ්ම (මැවුම්කරු), විෂ්ණු (රක්ෂකයා) සහ ශිව (විනාශ කරන්නා) වේ. 

මේ ආකාරයට දෙවියන්ගේ ප්‍රධාන ආකාර තුනක් ඇත. ලෝකය මැවීම, ලෝකය සංරක්ෂණය සහ ලෝකය විනාශය කිරීම යන ක්‍රියාවන් ත්‍රිත්වය මෙම දෙවිවරු තිදෙනා විසින් සිදු කරනු ලබයි. එමෙන්ම හින්දු ආගම තුළ ත්‍රිමූර්තියට අමතරව ත්‍රිදේවි යනුවෙන් කාන්තා දෙවිවරුන් තිදෙනකු පිළිබඳවත් සඳහන් වේ. ත්‍රිදෙවි යනු සරස්වතී, ලක්ෂ්මි සහ පාර්වතී වේ. ඔවුන්ද ත්‍රිමූර්තිවලට සමාන වැදගත්කමක් දරයි.

හින්දු ආගමේ මූලික සංකල්පය එම ත්‍රිමූර්තියෙන් සහ ත්‍රිදේවීන්ගෙන් යුක්ත වෙයි. හින්දු ආගමේ ඉගැන්වීම් සඳහන් වන්නේ ශුද්ධ වූ ලියවිලි තුළයි. සැබෑ හින්දු ජීවන රටාවක් අනුගමනය කරන්නේ කෙසේදැයි ඔවුන් පෙන්වා දෙයි. හින්දු ආගමේ නමස්කාරයට මඟ පෙන්වන ශුද්ධ ලියවිලි කිහිපයක් තිබේ.

එම ලියවිලි හින්දු භක්තිකයන්ට තොරතුරු සහ ඉගෙනුමක් ලබා දෙන අතර, ඔවුන්ගේ ජීවිතයට මඟ පෙන්වන්නකු ලෙස ක්‍රියා කරයි. හින්දුන් සිය ජීවිත තුළ මුහුණ දෙන දුක් කරදර ආදී දේවල්වලදී මෙම ලියවිලි තුළින් ඔවුන්ගේ ජීවිතවලට අවශ්‍ය මඟපෙන්වීම සිදු කරනු ලබයි. එම ශුද්ධ වූ ලියවිලි සහ ඒවායේ වන්දනාව පිළිබඳ සඳහන් වන මූලික අන්තර්ගතය මෙසේය.

සම්හිතා – දෙවියන්ට ප්‍රශංසා කිරීමේ ගීතිකාවලින් සමන්විත වේදවල පැරණිතම කොටස් ලෙස මෙම සම්හිතා හ¾දුන්වයි. හින්දුන් නිවෙසේ සිට සහ කෝවිල්වල සිට සිදු කරන නමස්කාරයේ කොටසක් ලෙස සම්හිතා හැඳින්වේ.

බ්‍රාහ්මණ – චාරිත්‍ර වාරිත්‍ර සහ යාඥාවන් වේ. නමස්කාරයේදී පූජකයන්ට ඔවුන්ගේ ක්‍රියා පිළිවෙත් සඳහා උපකාරී වේ.

ආරණ්‍යක – නමස්කාරය සහ භාවනාව පිළිබඳ සැලකිලිමත් වේ. එමෙන්ම වන්දනාමාන කිරීම පිළිබඳව ප්‍රායෝගික මඟපෙන්වීමක් ලබා දේ.

උපනිෂද් – හින්දු ආගමේ ගුප්ත සහ දාර්ශනික ඉගැන්වීම්වලින් සමන්විත උපනිෂද් හින්දු භක්තිකයන්ට ලෝක ස්වභාවය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට ඉඩ සලසයි.

භගවත් ගීතාව – හින්දු ධර්ම ග්‍රන්ථයක් වන අතර භගවත් ගීතාව වන්දනාකරුවන් සඳහා මඟ පෙන්වීමක් සිදු කරයි. හින්දු නමස්කාරය දෙවියන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව එය පැහැදිලි කරයි.

නොසන්සුන් සහ අස්ථායී මනස ඉබාගාතේ යන සෑම විටකම, එය නැවත ගෙන ඒම කළ යුතු අතර දෙවියන් වහන්සේ කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුය.

(භගවත් ගීතාව – 6.26)

භගවත් ගීතාවේ තවත් ජේදයකින් පෙන්නුම් කරන්නේ හින්දුන් විසින් දෙවියන්ට ශ්‍රේෂ්ඨතමයා වශයෙන් නමස්කාර කළ යුතු බවයි.  දෙවියන් වහන්සේ සියලු දේ තුළ සිටින බවද මෙම ජේදයේ සඳහන් වේ. මා සමඟ එක්වී පිහිටුවා ඇති යෝගියා (දෙවියන් වහන්සේ),  සියලු සත්ත්වයන් තුළ වාසය කරන උත්තරීතර ආත්මය ලෙස මට නමස්කාර කරයි. සියලු ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරත වුවද මා තුළ පමණක් වාසය කරයි.

(භගවත් ගීතාව 6.31)

දෙවියන් වහන්සේ සෑම තැනකම සොයාගත හැකිය යන මෙම අදහස හින්දු භක්තිකයන්ට විවිධ ආකාරවලින් වැ¾දුම් පිදුම් කිරීමට ඉඩ සලසයි. නිදසුනක් වශයෙන්, ඔවුන්ට යෝග අභ්‍යාස තුළින්, ස්වභාවධර්මය තුළින්, කරුණිකව ක්‍රියා කිරීම තුළින් සහ දෙවියන් වහන්සේ සෑම තැනකම සහ සෑම දෙයකම සිටින බව සිහියෙන් සිටීම මඟින් දෙවියන් වහන්සේට නමස්කාර කළ හැකිය.

වන්දනාමාන කළ යුතු තැන්

හින්දු භක්තිකයන් දේවමාලිගාවට පැමිණිය යුත්තේ කවදාද යන්න පිළිබඳව ශුද්ධ ලියවිල්ල තුළ නීති රීති මඟින් දක්වා නොමැත. කෙසේ වෙතත්, බොහෝ හින්දු භක්තිකයන් සැලකිය යුතු දිනවල හෝ උත්සවවලදී පූජනීය ස්ථානයක් ලෙස කෝවිල භාවිත කරයි. එක් එක් කෝවිල් එක් එක් දෙවියන්ට කැප කර ඇති අතර එම දෙවියන්ගේ ප්‍රතිමා හෝ රූප එම කෝවිල්වල ඇත. එම පිළිම හෝ රූප මූර්ති ලෙස හැඳින්වේ. හින්දුන්ගේ නමස්කාරය බොහෝ විට පූජා ලෙස හැඳින්වේ.  එයට රූප (මූර්ති) නමස්කාරය, යාඥා කිරීම, මන්ත්‍ර කීම සහ පූජාවන් සිදු කිරීම වැනි විවිධ අංග ඇතුළත් වේ.

නමස්කාරයේ ලක්ෂණ

කෝවිල තුළ දී සිදු කරන නමස්කාරය ගැන සාකච්ඡා කරන විට හින්දු භක්තිකයන් විශ්වාස කරන සමහර කෝවිල් චාරිත්‍ර ඇත. ඒවා ඔවුන් වන්දනාමානය සඳහා අවධානය යොමු කර ඇති දෙවියන් සමඟ සන්නිවේදනය කිරීමට ඔවුන්ට උපකාර කරයි. නිදසුනක් වශයෙන්, ඔවුන්ගේ නමස්කාරයේ කොටසක් ලෙස, ඔවුන් කෝවිල ඇතුළත කොටසෙහි දේව ප්‍රතිමාවක් (මූර්ති) ඇති දේවාලයක් වටා දක්ෂිණාවර්ථව ගමන් කරයි. දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා පලතුරු හා මල් වැනි පූජාද රැගෙන යා හැකිය.

නිවසේ දී සිදුකරන නමස්කාරය

බොහෝ හින්දු භක්තිකයන්ට තමන්ගේ නිවෙසේ තනාගත් කුඩා සිද්ධස්ථානයක් ඇත. එහි ඔවුන්ට වැදගත් වූ ඔවුන් වන්දනාමාන කරන, තෝරාගත් දෙවිවරුන්ගේ රූප තැන්පත් කර තිබෙනු දක්නට ලැබේ.  හින්දු භක්තිකයන් බොහෝ විට කෝවිලකදී නමස්කාර කරනවාට වඩා තම නිවෙසේ නමස්කාර කිරීමට නැඹුරු වෙති.  ඔවුන් සාමාන්‍යයෙන් පූජා කිරීමට තම නිවෙසේ දේවාලය භාවිත කරයි.  එම දේව කුටිය නිවෙසේ වඩාත්ම ශුද්ධ ප්‍රදේශය ලෙස සැලකේ.

පෙර පැවැසූ පරිදි දේවාලයක හෝ වෙනත් ගොඩනැඟිල්ලක නමස්කාරය සිදු කිරීම අත්‍යවශ්‍ය බව හින්දු ආගමේ සඳහන් නොවේ.  එය එළිමහනේද සිදු කළ හැකිය. හින්දු භක්තිකයන් එළිමහනේ වන්දනාමාන කරන ශුද්ධ ස්ථාන අතර ක¾දු සහ ගංගා ද ඇතුළත් වේ.

මෙම පූජනීය ස්ථානවලින් එකක් වන්නේ හිමාලය ලෙස හඳුන්වන කඳු පන්තියයි.  හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ මෙම කඳු හින්දු දෙවියා වන හිමාවත් නියෝජනය කරන බැවින් ඒවා දෙවියන්ට අත්‍යවශ්‍ය බවයි.  ඊට අමතරව, හින්දු භක්තිකයන් බොහෝ ශාක හා සතුන් පූජනීය ලෙස සලකති.  එම නිසා, බොහෝ හින්දු භක්තිකයන් නිර්මාංස වන අතර සෑම විටම ජීවීන් කෙරෙහි ආදරයෙන් කරුණාවෙන් කටයුතු කරන බවයි.

භගවත් ගීතාව හින්දු භක්තිකයන් “ප්‍රේමණීය භක්තියෙන්” (9.14) දෙවියන් වහන්සේට නමස්කාර කිරීමට දිරිගන්වයි. එහි “මම පූජා කිරීමේ ක්‍රියාව” (9.16) යනුවෙන්ද දක්වා ඇත. මෙමඟින් හින්දු භක්තිකයන් නමස්කාරයේ කොටසක් ලෙස නිවෙසේ සහ ඔවුන්ගේ සිද්ධස්ථානවල පූජා කිරීමට දිරිගන්වයි.

නමස්කාරය සිදු කරන ක්‍රම

හින්දු භක්තිකයන් දේව මන්දිරයේ සහ නිවෙසේ යාච්ඤා කිරීමේදී විවිධ නමස්කාර ක්‍රම භාවිත කරයි.  එම නමස්කාර ක්‍රම මෙසේය.

භාවනාව – පුද්ගලයකු තම මනස සන්සුන්ව සහ පැහැදිලි කර ගැනීම සඳහා වස්තුවක් හෝ සිතුවිල්ලක් කෙරෙහි අවධානය යොමු කරමින් කරනු ලබන නිහඬ ක්‍රියාකාරකමකි.

පූජා – එක් දෙවියකු හෝ වැඩි ගණනකට ගෞරව කිරීම සඳහා සිදු කරනු ලබන භක්තිමය නමස්කාරය සහ යාච්ඤාව.

හවන් – සාමාන්‍යයෙන් උපත්වලින් පසුව හෝ එවැනි වෙනත් වැදගත් සිදුවීම්වලදී පුලුස්සා දමනු ලබන චාරිත්‍ර පූජා ක්‍රමයකි.

දර්ශන් –  භාවනාව හෝ යෝග දෙවියන් සිටීම කෙරෙහි අවධානය යොමු කරයි.

ආරතී – පූජාවන්හි සියලුම අංග හතර එනම් ගින්න, පොළොව, ජලය සහ වාතය නියෝජනය වන දේවතාවුන් ඉදිරිපිට සිදු කරන උත්සවයකි.

භජන් – නමස්කාරයේ කොටසක් ලෙස ගායනය සහ වාදනය කරන සංගීතය.

කිර්තාන් – නමස්කාරයේ කොටසක් ලෙස කතා කිරීම හෝ කියවීම.

ජප – නමස්කාරය කෙරෙහි අවධානය යොමු කිරීමේ මාර්ගයක් ලෙස මන්ත්‍රයක් භාවිතයෙන් පුනරුච්චාරණය කිරීම.

භගවත් ගීතාව නමස්කාරයේ වැදගත්කම පිළිබඳව දක්වයි. හින්දු භක්තිකයන් දෙවියන් වහන්සේ කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, නොකඩවා ඔහුට කැප විය යුතු බවත් දැනුවත් කිරීම සඳහා භගවත් ගීතාවෙන් කරුණු පැහැදිලි කරයි. එමෙන්ම ඔවුන්ව නමස්කාරය සඳහා දිරිගැන්වීමට මඟ පෙන්වීමක් ලෙස භගවත් ගීතාව තුළ මේ පිළිබඳව සඳහන් කර ඇත. මෙම නමස්කාරය අවසානයේ ඔවුන්ට මෝක්ෂය සාක්ෂාත් කර ගැනීමට උපකාර වනු ඇති බවද භගවත් ගීතාවේ සඳහන් වේ.

ඇත්ත වශයෙන්ම, ඔවුන්ගේ අතීත විනයෙහි ශක්තිය මත ඔවුන්ගේ කැමැත්තට විරුද්ධව පවා දෙවියන් වහන්සේ වෙත ඇදී යන බවක් ඔවුන්ට හැඟේ. එවැනි සොයන්නන් ශුද්ධ ලියවිල්ලේ චාරිත්‍රානුකූල මූලධර්මවලට වඩා ස්වභාවිකවම නැඟී සිටියි. බොහෝ අතීත ජන්මවල රැස් කරගත් කුසල් සමඟ, මෙම යෝගීන් තවදුරටත් දියුණුව සඳහා අවංක උත්සාහයක යෙදෙන විට, ඔවුන් භෞතික ආශාවන්ගෙන් පිරිසුදු වී මේ ජීවිතයේම පරිපූර්ණත්වයට පත්වේ.

(භගවත් ගීතාව 6.44 -47)

හින්දු ආගමේ මූලික ලක්ෂණය වන නමස්කාරය එසේත් නැත්නම් දෙවියන් වැඳීම පිළිබඳව සඳහන් වන්නේ මේ ආකාරයටයි. දෙවියන් සෑම කෙනෙක් තුළම සෑම තැනකම වාසය කරන බවත් එබැවින් සෑම දෙනාටම සෑම විටම ආදරයෙන් ගෞරවයෙන් සහ කරුණාවෙන් කටයුතු කිරීම මඟින් දෙවියන්ට නමස්කාර කළ හැකි බවත් හින්දු ආගම තුළින් කියැවේ.

කුශාන්ති අනුරාධා බණ්ඩාර