දෙවියන්ව විශ්වාස කරන්නේ මිථ්‍යා  දෘෂ්ටිකයන්ද?

0
58

දේව විශ්වාසයක් ඇති කරගත් තැනැත්තා ‘මිථ්‍යා දෘෂ්ටිකයකු’ බව ඇතැමුන් පවසනවා. මෙසේ පවසන අය පවා තමන් කිසි දවසක නොදුටු එමෙන්ම නොදැකිය හැකි විවිධාකාර දේවල් ගැන විශ්වාසයක් ඇති කරගෙන ජීවත්වන බව පළමු කොටසින් පැහැදිලි කළෙමු.

එනම් කර්මය ඵල දීම, මිනිසාගේ උපත, මිනිසාගේ මරණයෙන් පසුව සිදුවන දේවල් සම්බන්ධව කිසි දිනෙක ප්‍රායෝගිකව නොදුටු දේවල් සම්බන්ධව සෑම ජනයාම විවිධාකාර විශ්වාස ඇති කරගෙන ජීවත්වන බව පෙනෙන්නට තිබෙනවා.

එසේම සොබාදහම මෙම ක්‍රියාව සිදුකරන බවද ඔවුන් පවසනවා. සොබාදහම යම් කිසි දවසක මේ බව මිනිසාට දැනුම් දුන්නාද? එසේ සොබාදහම මේ ගැන දැනුම් දීමක් කර තිබුණේ නම්, එය මිනිස් වර්ගයාගේ පටන් ගැන්මේ සිටම දන්වා තිබිය යුතුය.

නමුත් එක් එක් කාලවලදී එක් එක් දේශකයන් විසින් මෙවැනි මතවාද දේශනා කරනු ලැබූ බව ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යනවා. එනම් එම දේශකයාගේ දේශනාවට පෙර ජීවත්වූ ජනයා මේ සම්බන්ධව දැන සිටියේ නැහැ යන්න එයින් පැහැදිලි වෙනවා.

සොබාදහම මිනිස් වර්ගයා සැමට එකම නීතියක්, නැත්නම් පොදු නීතියක් පැවැතිය යුතුය. එසේ නැත්නම් එය අසාධාරණයක් වන්නේය.

එසේම ආගම් අතර අදෘශ්‍යමාන දේවල් සම්බන්ධව පරස්පර විරෝධී විශ්වාස කිරීම් දකින්න ලැබෙනවා. මෙම පරස්පර විරෝධී විශ්වාසවලදී කවර අන්දමේ විශ්වාස වැරදිද? කවර අන්දමේ විශ්වාස නිවැරදිද? යන්න ගැනද සොබාදහම මිනිස් වර්ගයාට දන්වා තිබිය යුතුය. එවැනි දැනුම් දීමක්ද දකින්නට නොමැත.

සොබාදහම මෙම කාරණාවේදී නිහඬ බවක් පෙන්වන බව කිව යුතුය.

නමුත් ඉස්ලාම් දහම මේ අන්දමේ කාරණා සියල්ලටම පැහැදිලිව පිළිතුරු දෙයි.

1. එනම් මිනිස් වර්ගයාට සත්‍ය හා අසත්‍ය දැන්වූ කාලවකවානුව මිනිස් වර්ගයාගේ ආරම්භයේ සිටම සිදුවන බව ඉස්ලාම් දහම පැහැදිලිවම පවසයි.

නමුත් සොබාදහම යැයි පවසන දෙය මිනිස් වර්ගයාට සත්‍ය හා අසත්‍ය ගැන මිනිසාට දැන්වූ බව පෙනෙන්නට නැත. මිනිසා යම් යම් දේවල් උප කල්පනය කරමින් සොබාදහම මත පටවන බව මෙයින් පෙනේ.

2. එසේම අදෘශ්‍යමාන දේවල් සම්බන්ධව කවර ආකාරයේ විශ්වාසය නිවැරදිද? කවර ආකාරයේ විශ්වාස වැරදිද? යන කාරණාව ගැනද ඉස්ලාම් දහම පැහැදිලිවම පවසයි.

 නමුත් පරස්පර විරෝධී විශ්වාස කිරීම් සම්බන්ධව සොබාදහම මිනිසාට කිසිදු දෙයක් දැන්වූ බවද දකින්නට නොමැත.

3. අසවල් කාර්යයන් කුසල කර්ම වෙනවා. අසවල් කාර්යයන් අකුසල කර්ම වෙනවා යැයි සොබාදහම මිනිසාට දැන්වූ බව කිසිදු පොත පතක දකින්නට නොමැත.

මිනිසාම අකුසල් කර්ම අසවල් ඒවාය. කුසල් කර්ම මේවා යැයි තීරණය කර, සොබාදහම එම කුසල සහ අකුසලවලට අනුව ඵල දෙනවා යැයි පවසනවා.

 නමුත් සොබාදහම මිනිසාගේ කර්මවලට ඵල ලබා දෙන්නේ නම්, සොබාදහම මිනිස් වර්ගයාට අසවල් කාර්යයන් කුසල් කර්ම වෙනවා. අසවල් කාර්යයන් අකුසල් කර්ම වෙනවා යැයි දන්වා තිබිය යුතුයි.

මෙහිදී කුසල් හා අකුසල් කාර්යයන් තීරණය කර ඇත්තේ මිනිසාය. ඵලය ලැබෙන්නේ සොබා දහමෙන්ය. මිනිසා ගත් මෙම තීරණවලට සොබාදහමේ එකඟතාව ලැබී තිබෙනවා යැයි කීමට සාක්ෂි තිබෙනවාද?

නමුත් ඉස්ලාම් දහමේ කුසල් හා අකුසල් කාර්යයන් පවසා ඇත්තේ අල්ලාහ් නම් දෙවි¾දුන්ය. කුසල් හා අකුසල් කාර්යයන්වලට ඵලය ලබා දෙන්නේද තමාම බව ඔහු පවසයි.

4. සෑම මිනිසකුම තමාගේ ජීවිතයේ කුසල් කර්ම හා අකුසල් කර්ම මිශ්‍රව කරයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙය අඩු වැඩිවේ. එනිසා ඵලය ලබාදීමේදී කුසල් කර්ම හා අකුසල් කර්ම සියල්ල සැලකිල්ලට ගෙන ඵලය ලබා දිය යුතුය.

එසේ නැතිව එක කුසල කර්මයක් හෝ එක අකුසල කර්මයක් සැලකිල්ලට ගෙන ඵලය ලබාදීම අසාධාරණයකි. කර්මවලට ඵලය සොබාදහමෙන් ලැබෙනවා යැයි පවසන්නන් එය කුසල කර්මයක් නැත්නම් එය අකුසල කර්මයක් හේතු කොටගෙන ඵල ලැබෙනවා යැයි පවසනවා.

එසේ නම්, ඉතිරි කුසල කර්ම හා අකුසල කර්මවලට කුමක් සිදුවූයේද? මෙයද බලවත් අසාධාරණයකි.

නමුත් කුසල් කාර්යයන් හා අකුසල් කාර්යයන් සියල්ල සැලකිල්ලට ගෙන මිනිසාට ඵලය ලබා දෙන බව අල්ලාහ් නම් දෙවි¾දුන් පැහැදිලිවම පවසනවා.

(මිනිස් වර්ගයාට සත්‍ය හා අසත්‍ය දැන් වූ කාල වකවානුව ගැන මිනිසා ඉතාමත් ගැඹුරින් සිතා බැලිය යුතුය.)

මිනිස් වර්ගයාට සත්‍ය හා අසත්‍ය පැහැදිලි කර දැන්වීම මිනිස් වර්ගයාගේ ආරම්භයේ සිට වර්තමානය දක්වාම සිදුවූ බව කුර්ආනය පැහැදිලිවම පවසයි.

මෙහිදී මිනිස් වර්ගයාගේ ආරම්භයේ සිට වර්තමානය දක්වා වූ කාල පරිච්ඡේදයක් ගැන පවසන හෙයින් මෙය මිනිසකුගේ දැනුම් දීමක් නොවන බව පැහැදිලි වෙනවා.

හේතුව මිනිසකුගේ යම් දැනුම්දීමක් ඇත්තේ නම් එය යම් කාල පරාසයකට පමණක් අයත් වෙනවා.

එම දේශකයාගේ උපතේ සිට මරණය දක්වා එම කාල පරාසය අයත් වෙනවා. එම දේශකයා මිනිසෙක් වන නිසා ඔහුට උපතක් හා මරණයක් තිබිය යුතුය. එනිසා මිනිස් දේශකයාගේ දේශනයන්ද ඔහුගේ උපත හා මරණය අතර පමණක් සිදු විය යුතුය.

එම නිසා මිනිසා විසින් ඉදිරිපත් කරනු ලැබූ ආගමික විශ්වාස එක්තරා කාලයකදී පමණක් දේශනා කළ දේශනාවන් යැයි පිළිගැනීමට සිදු වෙනවා.

නමුත් අමරණීය නැත්නම් සදා ජීවත්වෙමින් සිටින කෙනකු විසින් දැනුම් දෙනු ලබන ආගමික උපදේශ, යම් කාල සීමාවකට පමණක් සීමා වූ දේශනා නොවේ.

ඔහු අමරණීය නැත්නම් සදා ජීවත් වෙමින් සිටින හෙයින් ඔහුගේ ‘උපදේශය’ නැත්නම් ‘දැනුම් දීම’ මිනිස් වර්ගයාගේ ආරම්භයේ සිට වර්තමානය දක්වාම විය යුතුය.

එසේම කෙනෙක් අමරණීය නැත්නම් සදා ජීවත්වන කෙනෙක් නම්, ඔහු මිනිසකු වන්න බැහැ යන්නද අනිවාර්යයෙන්ම පිළිගන්න සිදුවෙනවා. හේතුව මිනිසාට උපතක් හා මරණයක් ඇත යන්න කවුරුත් පිළිගන්නා කාර්යයකි.

එනිසා මිනිසා විසින් නිර්මාණය කරනු ආගම් හා මිනිසකු නොවන සදා ජීවත්වෙමින් සිටින කෙනකු විසින් දන්වනු ලැබූ දහම අතර වෙනස දැනගැනීම ඉතාමත්ම පහසු කාර්යයක් වන්නේය.

මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ දහම යම් කාල සීමාවකට පමණක් අයත් වේ. නමුත් මිනිසා නොවන සදා ජීවත්වෙමින් සිටින කෙනකු විසින් දන්වනු ලැබූ දහමට කාල සීමාවක් නොමැත.

(ඉස්ලාම් දහම, සදා ජීවත් වෙමින් සිටින කෙනකු සම්බන්ධව ඉතාමත්ම පැහැදිලිව පවසයි.)

(සැබැවින්ම) නැමදුම් ලැබිය යුත්තා අල්ලාහ් හැර වෙන කිසිවකු නැත. ඔහු නිත්‍ය ජීවමානය, සදාකාලිකය. මඳ නින්ද හෝ තද නින්ද හෝ ඔහුව නොඅල්වන්නේය. (කුර්ආනය. 2:255)

කුර්ආනයේ 2 වන පරිච්ඡේදයේ 255 වැනි වගන්තියේ අල්ලාහ් නම් දෙවි¾දුන් පවසන්නේ කුමක්දැයි? දැන් බලමු.

“සැබැවින්ම නැමදුම් ලැබිය යුත්තා අල්ලාහ් හැර වෙන කිසිවකු නොමැති බවද,

එයට හේතුව නිත්‍ය ජීවමානව සිටින බවද, ඔහු සදාකාලික බවද අල්ලාහ් ඔහු ගැන කුර්ආනයේ පවසයි.

නිත්‍ය ජීවමාන මෙන්ම සදාකාලිකව සිටින කෙනෙක් අල්ලාහ් හැර ලොව වෙන කිසිවකු නොමැති බැවින් මිනිසා නැමදුම් කළ යුත්තේ තමාට පමණක් බවද අල්ලාහ් මෙම වැකියෙන් පවසයි.

එසේම මිනිසා හෝ වෙනත් ජීවීන් මෙන් ඔහුට මඳ නින්ද හෝ තද නින්ද හෝ නොපැමිණෙන බවද අල්ලාහ් මෙම වැකියේ වැඩිදුරටත් පවසයි.

මෙම වැකිය මිනිසා විසින් පවසනු ලැබූ වැකියක් නොව ලොවම පාලනය කරන කෙනකු විසින් පවසනු ලැබූ වැකියක් බවත් කිව යුතුය.

මිනිසාගේ දැනුමට කිසිසේත් හසු නොවන එසේම මිනිසාගේ උපකල්පනයටද හසු නොවන වැදගත් ගුණාංග කීපයක් ගැන මෙහි කියවේ.

එනම් නිත්‍ය ජීවමානව එසේම සදාකාලිකව සිටින එසේම මඳ නින්ද හෝ තද නින්ද නොපැමිණෙන කිසිදු ජීවියෙක් ලොව නොමැත. එනිසා මෙය යම් කෙනකුගේ උපකල්පනයක් යැයි කීමටද නොහැකිය.

සොබාදහම මිනිසාට සත්‍ය අසත්‍යය අවබෝධ කරදී, කර්මවලට ඵල ලබාදීමක් කරනවා නම්, ඒ බව මිනිසාට පැහැදිලි කිරීමක් කර තිබිය යුතුය. 

එසේ නොදන්වා මිනිසාට ඵල ලබාදීම අසාධාරණ කාර්යයක් වන්නේය. නමුත් සොබාදහම යන්න මිනිසාට සත්‍ය අසත්‍ය ගැන පැහැදිලි කිරීමක් කළ බව කිසිදු තැනක දකින්නට නොමැත.

නමුත් අල්ලාහ් නම් එකම දෙවිඳුන් මිනිසාට සත්‍ය හා අසත්‍ය ගැන පැහැදිලි කළ බව ඔහු විසින් පහළ කරනු ලැබුවා වූ අවසාන වේදකය වන කුර්ආනය පැහැදිලිවම පවසයි.

මිනිසාට සත්‍යය අසත්‍යය පැහැදිලි කරදීම සම්බන්ධව අල්ලාහ් නම් දෙවිඳුන් කුමක් පවසනවාදැයි? දැන් බලමු.

ජනයින් සියල්ලෝම එකම සමූහයක් ලෙසම සිටියහ. පසුව ඔවුහු (තමන් අතර) මතභේද ඇති කරගත්හ. ඔබගේ ස්වාමියාගේ වදන පෙරට නොවූයේ නම් ඔවුහු කුමක් මතභේද ඇති කර ගත්තෝද එහි ඔවුනතර තීරණය ලබාදී තිබෙන්නේය. (කුර්ආනය. 10:19)

මිනිස් සමාජයේ ආරම්භක අවධියේ මිනිසුන් අතර පැවති ආගමික විශ්වාසය හා පසුව එහි ඇති වූ විවිධාකාර විශ්වාස ගැන අල්ලාහ් කුර්ආනයේ 10 වන පරිච්ඡේදයේ 19 වැනි වගන්තියේ පවසයි. මෙම වගන්තියේ අල්ලාහ් නම් දෙවිඳුන් පවසන්නේ කුමක්දැයි දැන් බලමු.

ජනයින් සියල්ලෝම එකම සමූහයක් ලෙසම සිටියහ. (කුර්ආනය. 10:19)

මිනිස් සමාජයේ ආරම්භයේදී සිටි ජනයින් සියල්ලන්ම අල්ලාහ් නම් දෙවි¾දුන් කෙනකු සිටින බව විශ්වාස කර, අල්ලාහ්ට පමණක් නැමදුම් කරගෙන සිටි බව අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි.

පසුව ඔවුහු (තමන් අතර) මතභේද ඇති කරගත්හ. (කුර්ආනය. 10:19)

පසුව සමාජයේ ව්‍යාප්තිය ඇතිවනවාත් සමඟම අල්ලාහ් ගැන විශ්වාස කිරීමේ විෂයෙහි මතභේද ඇති කර ගනිමින් මිනිසුන් විවිධාකාර විශ්වාස ඇති කරගත් බවද අල්ලාහ් නම් දෙවිඳුන් ඉහත කුර්ආන් වගන්තියෙන් පවසයි.

ඔබගේ ස්වාමියාගේ වදන පෙරට නොවූයේ නම් ඔවුහු කුමක් මත භේද ඇති කරගත්තෝද එහි ඔවුනතර තීරණය ලබාදී තිබෙන්නේය. (කුර්ආනය. 10:19)

අල්ලාහ් නම් දෙවිඳුන් කෙනකු සිටින බව විශ්වාස කිරීමේ විෂයෙහි මතභේද ඇති කරගත් අයට දඬුවම් නියම කිරීමේ තමාගේ තීරණය ලබාදීම, මරණයට පත් මිනිසුන් සියල්ලන්වම නැවත වතාවක් ප්‍රාණවත් කර සිදුවන්නේය යන තමාගේ වදන කලින්ම පැවසූ වදනක් වන අතර එම වදනට පටහැනිව තමා කිසි විටෙක ක්‍රියා නොකරන බවද අල්ලාහ් නම් දෙවිඳුන් ඉහත වගන්තියේ පවසයි.

මේ සම්බන්ධව තවත් විස්තරාත්මකව පවසන කුර්ආන් වැකිද කුර්ආනයේ දකින්නට ලැබෙනවා.

නියතව අල්ලාහ් හමුවෙහි (අනුමත කරනු ලැබූ) ධර්මය ඉස්ලාමය (එනම් අල්ලාහ්ට පමණක් යටත් බව පෙන්වීමේ ක්‍රියා පිළිවෙත)ය. වේදකය දෙනු ලැබූවන් තමන්ට දැනුම ලැබුණ පසුවද තමන් අතර තිබූ ඊර්ෂ්‍යාව හේතුවෙන්ම හැර මතභේද පෙන්වූයේ නැත. කවරහු අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරත්ද (ඔවුන්ව) නියතව අල්ලාහ් විභාග කිරීමෙහි තීව්‍රවන්තයාය. (කුර්ආනය. 3:19)

මතු සම්බන්ධයි…

විශ්‍රාමික ගණිත ගුරු

වයි.එල්. ජිනාන් යාකෝබ්