ජෙනීෆර් බොලිවුඩය අතික්‍රමණයට සූදානම්

0
77

ඉන්දීය ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනප්‍රියත්වයට පත් වූ ජෙනිෆර් වින්ගෙට් බොලිවුඩ් පුරයට පා තැබීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඔබත් මමත් ඇයත් යන නමින් දෙරණ නාළිකාවේ විකාශය වූ, සිංහල හඬකැවූ හින්දි ටෙලි වෘතාන්තය හරහා ජෙනිෆර්ට ලංකාව තුළත් විශාල ජනප්‍රියත්වයක් හිමිවුණා. සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්‍ෂණය කළ සරස්වතීචන්ද්‍ර ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ ඇය, ඉන්දීය ටෙලි කර්මාන්තය තුළ ඉහළම මුදලක් අය කරන නිළියන්ගෙන් කෙනෙක් ලෙස සැලකෙනවා.

ජෙනිෆර් එකිනෙකට වෙනස් විවිධ චරිත හරහා සිය දක්ෂතාව පෙන්වූ නිළියක්. ජෙනිෆර්ගේ මෙම බොලිවුඩ් ආගමනය පිළිබඳව ඇයගේ රසික රසිකාවියන් බොහෝ කාලයක සිට නොඉවසිල්ලෙන් බලා සිටියා. ජෙනිෆර් සමඟ තිරය බෙදාගනු ලබන්නේ ජනප්‍රිය හින්දි නළු කාර්තික් ආර්යන් විසින් බවයි පැවසෙන්නේ. ඔවුන් දෙදෙනා සම්බන්ධ වී සිටින ව්‍යාපෘතිය ගැන වැඩිදුර තොරතුරු මේ වනතෙක් අනාවරණය නොවුණත් එය අනිවාර්යයෙන්ම චිත්‍රපටයක් බව නම් නිසැකයි. මේ ගැන වැඩිදුර තොරතුරු ඉදිරියේදී හෙළිකරන බවට බොලිවුඩයෙන් ආරංචි වනවා. ජෙනිෆර්ගේ බොලිවුඩ් ආගමනය ඇයගේ වෘත්තීය ජීවිතය වෙනස් මඟකට යොමු කරවන සාර්ථක එකක් බවට පත්වේවිදැයි අපි බලා සිටිමු.

කුශාන්ති අනුරාධා බණ්ඩාර