චීන-ඇමෙරිකන් සීතල යුද්ධයට ලංකාව බිලිවෙන හැටි

0
219

ශ්‍රී  ලංකාව මුහුණ දී සිටින දැවැන්ත සමාජ, ආර්ථික, දේශපාලන අර්බුදය ගෝලීය බලවතුන්ගේ භූ දේශපාලනික උපායමාර්ගික වැඩසටහනක අතුරුඵලයක් ද යන්න දේශපාලන විචාරකයන්ගේ සංවාදයට බඳුන් වී තිබේ. 2020දී චීනය දුප්පත්කම තුරන් කළ අතර මේ වනවිට ලෝකයේ ඩොලර් ටි්‍රලියන 4ක විශාලතම විදේශ විනිමය සංචිතය හිමි රාජ්‍ය බවට පත්ව සිටී.

චීනය එක මාවතක් එක තීරයක් වැඩසටහන ආසියාව + අප්‍රිකාව + යුරෝපය කේන්ද්‍රීය කොට දියත් කර තිබේ. ලෝකයේ ආර්ථික බලවතා ලෙස පසුගිය සියවස ඇමෙරිකාව විසින් දැරූ ආස්ථානය මේ වනවිට චීනය විසින් අතික්‍රමණය කරමින් සිටින අතර ඇමෙරිකාව චීනයට වඩා ඉදිරියෙන් සිටින්නේ තාක්ෂණික ක්ෂේත්‍රයේ පමණි. මතවාදී කරළියෙහි චීනය හා ඇමෙරිකාව අතර නිරන්තර ගැටුම් සිදුවෙමින් තිබේ.

එක්සත් ජනපදය චීනයේ එක් මාවතක් එක් තීරයක් උපාය මාර්ගයට මුහුණදීම සඳහා ආසියා + පැසිපික් වැඩසටහන දියත් කළ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණීමෙන් පසු එම සංකල්පය ඉන්දු + පැසිපික් වශයෙන් වෙනස් කළේය. ජනාධිපති ඔබාමා පාලන සමයේ “ආසියාවට හැරෙමු” යනුවෙන් දියත් කළ භූ දේශපාලන වැඩසටහන ඉන්දු + පැසපික් උපාය මාර්ගයක් ලෙස ජනාධිපති ජෝ බයිඩන් යටතේ ඉදිරියට ගෙනයමින් තිබේ. එහිදී ඇමෙරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව යන රාජ්‍යයන් එකම දේශපාලන සන්දර්භයක පිහිටා ක්‍රියා කරමින් සිටී.

චීනය එක තීරයක් එක මාවතක් වැඩසටහන සඳහා ගෙවුණු වසර 10 තුළ ආසියාවේ සිට මැදපෙරදිග දක්වා ශ්‍රී  ලංකාව ඇතුළු රාජ්‍යයන්හි චීන ණය සහ ආධාර වශයෙන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කර තිබේ. මැලේසියාව, පාකිස්තානය, නේපාලය, ඇංගෝලාව ආදී බොහෝ රටවල නව වරායන් සහ ගුවන්තොට ඉදිකිරීම සඳහා චීනය ණය මුදල් යොදවා ඇත. මේ වනවිට එසේ චීන මුදල් ආයෝජනය කොට ඉදිකළ වරායන් මත්තල හා හම්බන්තොට මෙන් ක්‍රියාකාරිත්වයක් නැති ණය උගුල් බවට පත්ව තිබීම වෙනත් කාරණාවකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පසුගිය දෙවසරක පාලනය තුළ ගෝලීය දේශපාලන ක්‍රියාකාරීත්වයේදී මේ දක්වා මෙරට බොහෝ ආණ්ඩු අනුගමනය කළ ආකාරයට නොබැඳි පිළිවෙතක් අනුගමනය කළේ නැත. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූයේ ජාත්‍යන්තර කටයුතුවලදී ශ්‍රී  ලංකාව නියුට්‍රල් හෙවත් නිෂ්ක්‍රීය ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය. නමුත් ශ්‍රී  ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ ලංකාව සැබෑ ලෙසම නිෂ්ක්‍රීය ආස්ථානයක සිට කටයුතු කරනවාද යන්න ප්‍රශ්නයකි.

2019 වසරේ මැතිවරණයන්හිදී ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන ලද්දේ එකිනෙකට ඉඳුරාම වෙනස් ප්‍රතිපත්තිය. ගෝඨාභය දේශීය ව්‍යවසායයන් වර්ධනය කරන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය ඉදිරිපත් කළ අතර එජාපයේ රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළේ ඊට ඉ¾දුරාම වෙනස් බටහිර ආයෝජනයන්ට මුල් තැන දෙන ප්‍රතිපත්තියකි. ගෝඨාභය රාජ්‍ය අංශය පුළුල් කෙරෙන අදහස් ඉදිරිපත් කළ අතර රනිල් වික්‍රමසිංහ පෞද්ගලික අංශය පුළුල් කරන ප්‍රතිපත්ති ඉදිරිපත් කළේය.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති පරාජය වූ අතර ඔහුට ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුවේ එක අසුනක් හෝ දිනාගත නොහැකි විය. ගෝඨාභයගේ ප්‍රතිපත්ති අනුමත කරමින් 69 ලක්ෂයක් ඔහුට ඡන්දය දුන්නේය. එහෙත් දෙවසරක් ඇවෑමෙන් පසුගිය මැයි 9 වැනිදා සියල්ල උඩුකුරු යටිකුරු විය. 69 ලක්ෂය විසින් රනිල් එකම ගැලවුම්කරුවා ලෙස වැලඳ ගන්නා ලදී. 

රනිල් වික්‍රමසිංහට අගමැති පුටුවට ඒමට පාර කැපුණේ එක්සත් ජනපද තානාපති කාර්යාලයට අතේ දුරින් පිහිටි අරලියගහ මන්දිරයෙන් පිටත් වූ රාජපක්ෂ අනුගාමිකයෝ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පිහිටි ගෝඨාගෝගමට කඩා වැදීමෙනි. කිසිවකුට අමතක නොවන ඒ බිහිසුණු කළු සඳුදා රාත්‍රියේ මැර කණ්ඩායම් විසින් ආණ්ඩුවේ මැති – ඇමැතිවරු රැසකගේ ගේ ‍ෙදාර ගිනිබත් කරන ලදී. එම සිදුවීම් තුළ රාජ්‍ය බුද්ධි අංශ හා ආරක්ෂක අංශ නිෂ්ක්‍රීය වීම පසුබිමෙහි හිතන්නට බොහෝ කරුණු තිබේ.

කළු සඳුදා භීෂණයෙන් රනිල් වික්‍රමසිංහගේ ආගමනයට එරෙහිව ආණ්ඩුවේ පොහොට්ටු මන්ත්‍රිවරුන්ගෙන් එල්ල වීමට තිබූ අභියෝගය මකා දමනු ලැබීය. එය තවත් ආකාරයකට විස්තර කරනවා නම් ශ්‍රී  ලංකාවේ එක්සත් ජනපද ප්‍රතිපත්තියට තිබූ බාධාව කළු සඳුදා ගැටුම්වලින් ඉවත් කළා වෙන්නට ද බැරි නැත.

ජනාධිපතිවරයා විසින් අගමැති තනතුරට රනිල් වික්‍රමසිංහ තෝරා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (3) වගන්තිය උල්ලංඝනය කිරීමකි. රනිල් කිසිසේත්ම පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත දිනාගත් තැනැත්තා නොවේ. ඔහු අගමැති ධුරයට පත්කිරීමෙන් මේ වනවිට විධායකය හා ව්‍යවස්ථාදායකය දෙකම එක්සත් ජනපදය න්‍යායපත්‍රයට අනුගතව තිබේ. එසේ නම් දැනට ඉතිරිව පවතින්නේ අධිකරණය පමණි.

රනිල්ගේ ආගමනයෙන් ජනතා පරමාධිපත්‍ය ප්‍රතික්ෂේප වී ඇත. පොහොට්ටු ආණ්ඩුවේ සැබෑ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ පිළිගෙන තිබේ. රනිල් වික්‍රමසිංහ ඔහුගේ ඇමෙරිකානු ප්‍රතිපත්ති සමඟ ජනතාව විසින් පලවා හරින ලද්දේ වසර දෙකහමාරකට පෙරය. එදා රනිල් mcc ගිවිසුමට අස්සන් කිරීම වළක්වන ලද්දේ මහජන කෝපය විසිනි. කෙසේ වුවද පරාජිත මැතිවරණය රනිල් වික්‍රමසිංහගේ හංස ගීතය බවට පත්ව තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවට ගෙනා ප්‍රතිපත්ති තබා වෙනස් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටී. ඔහු ක්‍රියා කරනු ඇත්තේ එක්සත් ජනපද උපායමාර්ගයන්ට යටත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  මඟපෙන්වීමට අනුවය. ඇතැම් විට එම්.සී.සී. ගිවිසුමද නොපමාව කරළියට එනු ඇත.

එක්සත් ජනපද න්‍යායපත්‍රයන්ට අනුව පෝට්සිටිය, මත්තල ගුවන්තොටුපොළ, හම්බන්තොට වරාය, හොල්මන් නගර බවට පත්වනු ඇත.

ඊට විකල්ප වශයෙන් කෙරවළපිටියේ එල්.එන්.ජී. බලාගාරය, ඇමෙරිකානු නිව් ප්රෝටස් සමාගම විසින් ද, මන්නාරම හා සාම්පූර්හි විදුලි බලාගාර සහ කොළඹ වරායේ බටහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගම විසින්ද ඉදිකෙරෙණු ඇත. ශ්‍රී  ලංකාව මේ මොහොතේ මුහුණදෙන සියලු අර්බුද හා ගැටුම් යට කී බල කේන්ද්‍රයන්ගේ ගැටුම්වල ප්‍රකාශනයන් ද යන්න වෙනම සලකා බැලිය යුතුය. ශ්‍රී  ලංකාව සම්බන්ධයෙන් නිදහස, ස්වාධීන, ස්වෛරී කතා තිබෙන්නේ වාග්කෝෂවල පමණය. ගෝඨාභය – බැසිල් – රනිල් සියල්ලෝම සිටින්නේ තරාදියේ එකම පැත්තකය.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා පාර්ලිමේන්තුව දෙවනත් කළ හරීන් සහ මනුෂ එකවරම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු මැලේසියාවේ sonic sonic නමැත්තකු බව ප්‍රකාශ කිරීමත් හරීන් ප්‍රනාන්දුට ගොනා සහ මීමා වැනි එකිනෙක කිසිදු සම්බන්ධයක් නැති ඉඩම් සංචාරක අමාත්‍යාංශය ත්‍යාගයක් වශයෙන් ලැබීමත් මෙම සිදුවීම් මාලාවේ කොතැනක ස්ථානගත වන්නේදැයි වෙනම තෝරා බේරා ගත යුතුය.

ඉන්ධන අර්බුදය විසින් මුළු රටම බිහිසුණු ප්‍රපාතයකට ඇද දමා තිබේ. රුසියාවෙන් අඩු මිලට ලබාදෙන ඉන්ධන නොගන්නේ මන්දැයි අගමැති රනිල්ගෙන් විමසූ කල මාධ්‍යයට ඔහු පිළිතුරු දී තිබුණේ, තවදුරටත් සාම්ප්‍රදායික මාර්ග ඔස්සේ ඉන්ධන ලබාගැනීමට වෑයම් කළ යුතු බවය. අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පේනතෙක් මානයක ශ්‍රී  ලංකාවට කිසිදු විකල්පයක් නැත. අගමැති රනිල් ප්‍රකාශ කළ පරිදි ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු බැංකුව හෝ වෙනත් කිසිම රාජ්‍යයක් මේ වන තුරුත් ලංකාවට ආධාර ලබා දී නැත. මුදල් අච්චු ගහනවා හැරෙන්නට රනිල් වික්‍රමසිංහටද වෙනත් විස¾දුමක් නැත. ඔහු අර්බුදයේ මාධ්‍ය ප්‍රකාශකයා බවට පත්ව සිටී.

පසුගියදා රුසියාවට අයත් එරොෆ්ලොට් ගුවන්යානය කටුනායක නවත්වා ගැනීම චීන – ඇමෙරිකන් භූ දේශපාලන ගැටුමේ තවත් ප්‍රතිඵලයකි. ශ්‍රී  ලංකාව එරොෆ්ලොට් ගුවන් යානා රඳවා නොගන්නා බවට ලිඛිත පොරොන්දුවක් දී තිබියදී එය සහමුලින් අමතක කොට ගුවන්යානය රඳවා ගැනීම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඉතා බරපතළ සිදුවීමකි.

ශ්‍රී  ලංකාව විසින් කඩ කරන ලද්දේ රුසියානු ගුවන් සමාගමට වරක් නොව දෙවරක්ම දෙන ලද පොරොන්දුවකි. රටට බොහෝ උදවු ඇති, දිගුකාලීන මිතුරු සබඳතා ඇති, රටක් එලෙස අමනාප කරගැනීම අපේක්ෂා කළ නොහැකි අන්දමේ සිදුවීමකි. එම සිදුවීම පිටුපස සිටි බලවේග කවුරුන්දැයි රට දැනගත යුතුය.

විදුලිබල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින ශ්‍රී  ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයට ජනාධිපති රාජපක්ෂ ප්‍රතිඥාවක් දුන්නේ එදින විදුලිබල පනත සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේ කාරක සභා අවස්ථාවේදී විදුලිබල සමිති විසින් ඉදිරිපත් කරන යෝජනා විදුලිබල පනතට ඇතුළත් කරන බවය. එහෙත් කාරක සභා අවස්ථාවේ සංශෝධන ඇතුළත් කරගැනීමෙන් තොරවම විදුලිබල පනත සම්මත කර ගත්තේය. ජනාධිපතිවරයා ප්‍රථමයෙන් එකඟ වූ පරිදි විදුලි බලාගාර සඳහා ආයෝජකයන්ට අවස්ථාව ලබාදීමේදී ටෙන්ඩර් පටිපාටි අනුගමනය කළ යුතුය යන කොන්දේසි විදුලිබල පනතට ඇතුළත් කළා නම් අදානි සමාගමට මන්නාරම සාම්පූර් බලාගාර පැවරීමට ඉඩ ලැබෙන්නේ නැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කළ  අපරිණත මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් ලංකාවේ ආර්ථිකය කඩා වැටීම හා රට ආර්ථික, සමාජ, දේශපාලනයක අගාධයකට වැටීම කලාපීය භූ දේශපාලනය තුළ මහ බලවතුන්ට වාසිදායක පසුබිමක් නිර්මාණය කර තිබේ. එය මේ නිමේෂයේදී කැරකැවෙන්නේ එක්සත් ජනපදයට වාසිදායක දිශානතියකය.

ඩොලර් සංචිත බින්දුවටම සිඳී යෑම හේතුවෙන් නන්නත්තාර වී සිටින ශ්‍රී  ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම සඳහා සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ විසින් මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත. ඔහු පුන පුනා ප්‍රකාශ කර සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුවෙන් තරමක් ප්‍රමාද වී හෝ ණය මුදල් ලැබෙන බවය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස හා ශ්‍රී  ලංකා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති රාමුවට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමෙන් පසු තමන්ට ඉදිරිපත් කරන ලෙස ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති කොන්දේසි පිළිබඳව ආණ්ඩුව මේ දක්වා කිසිදු ප්‍රකාශයක් කර නැත. ඒ අනුව ශ්‍රී  ලංකාව මුහුණ දී සිටින සමාජ, දේශපාලන, ආර්ථික අර්බුදය විස‍ෙ¾දන බවට මේ මොහොතේ කිසිදු සහතිකයක් නැත.

උදේනි සමන් කුමාර