ගෑනු ළමයින්ගෙ ප්‍රතිචාර නම් අඩුවක් නෑ

0
73

බින්දු යනු මේ දිනවල කා අතරත් ජනප්‍රිය චරිතයක්. ස්වර්ණවාහිනී නාලිකාවේ සතියේ දින 5 තුළ විකාශනය වන “පාර වසා ඇත” ටෙලිනාට්‍ය නරඹන ඔබට නම් ඔහුව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. නිතර සිනාමුසු මුහුණින් කටයුතු කරන ඔහු නමින් දිදුල ඉඳුවර ද සිල්වා. හදගැස්ම අප සමඟ ඔහු සම්මුඛ වූයේ මේ ආකාරයටයි.

ඔබ කලාවට අවතීර්ණ වූ ආකාරය මතක් කළොත්?

මා කලා ක්‍ෂේත්‍රයට පැමිණියේ පාසල් වේදිකාවෙන්. මගේ පාසල හොරණ විද්‍යාරතන විශ්වවිද්‍යා පීඨය. පාසලේ 6 ශේ‍ර්ණියේදී නාට්‍ය ගුරුතුමා වුණේ ගමගේ සුභාෂණ කුරුගල සර්. එතුමා මාව ඔහුගේ නාට්‍යය නිර්මාණ සඳහා සම්බන්ධ කර ගත්තා.

පසුව 2011 වසරේදී 7 ශේ‍ර්ණියේ සිසුවෙක් විධියට රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට සම්බන්ධ වුණා. එහිදී “චූටි බබා ලොකු ළමයෙක්” නාට්‍යයෙහි රංගනය උදෙසා විශිෂ්ට රංගන කුසලතා සම්මානත්, 2012දී “මමයි මමයි හරි යාළුයි” නාට්‍යයට හොඳම නළුවා සම්මානයත්, ජාතික ළමා නාට්‍යය උළෙලේ හොඳම නළුවා සම්මානයත් හිමි වුණා. 2017 වසරේ A/L කාලෙදි රාජ්‍ය ළමා නාට්‍යය උළෙලට “වැට අද්දර වේදිකාව” නමින් මගේම නාට්‍යයක් ඉදිරිපත් කළා. එයට හොඳම අධ්‍යක්‍ෂවරයාට හිමි සම්මානය ලබා ගත්තා. 2012දී හොඳම නළුවා සම්මානය  ලැබීමත් සමඟ ලැබූ ජනප්‍රියත්වය මත සමන් කුමාර ලියනගේ සර්ගේ “පිත්තල කොරණ්ඩෑරුම” සහ “සඳසාවි” නාට්‍යය හරහා පුංචි තිරයට සම්බන්ධ වුණා.

පසුව ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතාගේ “නිර්භීතයි අපි” ළමා ටෙලි නාට්‍යයටත්, සුරංග සතරසිංහ මහතාගේ ‘නාටක මාරයි’ ඇතුළුව ටෙලි කීපයකටම සම්බන්ධ වුණා. දැන් මා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ සිනමා අධ්‍යක්‍ෂණය 2 වැනි වසර ශිෂ්‍යයෙක්. මා සාරද චන්දුම සමඟ (නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රත්නේ) “Money For a Life” නමින් Short Film එකකුත් නිර්මාණය කළා. එයට හොඳම අධ්‍යක්‍ෂණය/ හොඳම පිටපත් රචනය වැනි සම්මාන කිහිපයක්ම හිමි වුණා. ඒවගේම වසර 7ක විරාමයකට පසු දැන් ශිවා මාමාගේ පාර වසා ඇත ටෙලි නාට්‍යයටත් සම්බන්ධව වැඩ කරනවා.

ඉඳුවරට ගැහැනු ළමයින්ගෙන් වැඩිපුර ප්‍රතිචාර ලැබෙනවාලු නේද?

(සිනාසෙමින්) අපෝ එහෙම එක් පාර්ශ්වයකින් පමණක් නොවෙයි ගැහැනු – පිරිමි භේදයකින් තොරව ප්‍රතිචාර ලැබෙනවා. නමුත් ඉතින් ගැහැනු ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලත් අඩුවක් නම් නැහැ.

පාර වසා ඇත ටෙලි නාට්‍යයේ බිංදුගේ චරිතය පිළිබඳවත් නොකියම බැහැ?

ඔහු තරමක් සමාජයෙන් දුරස්ථව හැදී වැඩෙන සමාජයට තරමක් බිය, තරමක් මෝඩ, අන් අයගේ විහිළු තහළුවලට ලක්වන තරමක් වෙනස් චරිතයක්. නමුත් පසුකාලීනව ක්‍රම ක්‍රමයෙන් සමාජය සමඟ ගනුදෙනු කරමින් සමාජශීලී පුද්ගලයකු බවට පරිවර්තනය වනවා.

බිමල් ජයකොඩි වැනි ප්‍රවීණයකු සමඟ වැඩ කරන්නට ලැබීම ගැන කතා කළොත්?

ඇත්තටම ඔහු ඉතාම නිහතමානී ක්‍ෂේත්‍රයෙහි සිටින අති දක්‍ෂතම, ප්‍රවීණතම කලාකරුවෙක්. ඔහු තුළ ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙනවා. එවැනි ප්‍රවීණයකු සමඟ වැඩ කරන්න ලැබීම වාසනාවක්.

ඔබ විවිධත්වයෙන් යුතු චරිත නිරූපණයට වැඩි කැමැත්තක් දක්වන අයෙක්ද?

ඔව්. අද වන තුරු විවිධත්වයෙන් යුතු චරිත ලැබී තිබෙනවා. ස්වාමීන් වහන්සේ කෙනකුගේ චරිත, නාටක මාරයි ටෙලි නාට්‍යය තුළදී අතිශය විනෝදකාමී සහ හාස්‍යමය චරිතයකුත් කළා. දැන් පාර දිගේ ටෙලි නාට්‍යයේ චරිතාංග චරිතයක් කරනවා. එක් කුලකයකට පමණක්ම සීමා වූ චරිත නිරූපණයට මා තුළ කැමැත්තක් නැහැ. එනිසා මා වඩාත්ම කැමැති විවිධාකාරයේ චරිත තුළින් චරිතාංග රංගන ශිල්පියකු විධියට වැඩ කරන්නයි.

තරුණ පරපුර සමඟ ක්‍ෂේත්‍රය තුළ වැඩකටයුතු කිරීම තරමක් අපහසුයි යැයි චෝදනාවක් තිබෙනවා. ඔබ එම කතාවට එකඟද?

ඇත්තටම ඒ සම්බන්ධව නිශ්චිත පිළිතුරක් ලබා දෙන්න අපහසුයි. මොකද එවැනි අත්දැකීමක් මා ලබා නැහැ. මා මට ලැබෙන සෑම චරිතයකටම උපරිම සාධාරණය ඉෂ්ට කරනවා. එවිට මා කිසිදු නිර්මාණයකදී චෝදනාවකට ලක් වන්නේ නැහැ. සෑම නිර්මාණයකදීම මා සමඟ වැඩකටයුතු කරන රංගන ශිල්පීන් ඇතුළු සියලු දෙනා සමඟ ඉතා සුහදව, සහයෝගයෙන් වැඩ කරනවා.

වර්තමානයේ උද්ගතවී ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ තරුණ රංගන ශිල්පියකු වශයෙන් කලාව තුළින් පමණක්ම ජීවත් විය හැකිද?

අප යම්කිසි ක්‍ෂේත්‍රයක “බ්‍රෑන්ඩ්” එකක් බවට පත් විය හැකි නම්, ඔහුට හෝ ඇය ජීවත් වීම උදෙසා වෙනත් ක්‍ෂේත්‍රයක නියැළීම අත්‍යවශ්‍යය නැහැ යන්න තමයි මගේ අදහස.

තරුණ රංගන ශිල්පියකු විධියට අද රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳවත් යමක් කියමු?

තාරුණ්‍ය කියන්නේ අරගලය කලාවත් සමඟ ලස්සනටම ඉදිරියට ගෙන යා හැකි පිරිසක්. සිනමාව ගත් විටදී අද වන විට අපේ ගෝල්ෆේස් අරගල භූමිය තුළ සිනමා ශාලාවක් පවා නිර්මාණය වී තිබෙනවා. එක් මතයක් උදෙසා පක්‍ෂ-පාට භේදයකින් තොරව අද මුළු රටම පාරට බැස සිටිනවා.

අරගලයක සැබෑ අරුත මහජනතාවට දැනවීම උදෙසා කලාව ඉතාම ලස්සනට ප්‍රයෝජනයට ගන්නා ආකාරය, අද තරුණ පරපුර ගෙනයන ක්‍රියාවලිය තුළින් හොඳින්ම වටහාගත හැකියි. අරගලයක් හොඳම සහ හරිම විදිහට ඉදිරියට ගෙන යා හැකි හොඳම මාධ්‍යයක් ලෙස කලාව හැඳින්විය හැකියි.

වේදිකා නිර්මාණ සඳහා ආරාධනා ලැබුණේ නැද්ද?

පාසල් වේදිකාවෙන් පසු ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වීමට නොහැකි වුණා. අදටත් මා  වැඩියෙන්ම ආදරය කරන්නේ වේදිකාවට. කුසල් මදුරංග අයියාත් අප පාසල් වේදිකාවේ ගමගේ සර්ගෙන් බිහිවූ දක්ෂයෙක්. කට්ට කාලා මේ ක්‍ෂේත්‍රයට පැමිණ අද මා සිටින තැන පිළිබඳව ඇත්තටම සතුටුයි. අපි මේ ක්‍ෂේත්‍රයේ රහ හොඳට දන්නවා. අපේ ජීවිතවල ලස්සනම මතකයන් නිර්මාණය වුණේ පාසල් වේදිකාව තුළින්.

තාරුණ්‍යයෙහි රංගන ශිල්පීන් බහුතරයක් දෙනා ජනප්‍රියත්වය හඹා යන්නන්නේ. ඔබත් එවැනි අයෙක්ද?

ජනප්‍රියත්වයට අපි හැමෝම ආසයි. නමුත් පළමුව ඒ පිළිබඳ ඉගෙන ගෙන අධ්‍යයනයක් සහ හැදෑරීමක් සහිතව අවබෝධයෙන් යුතුව සෙමින් ගමනක් යන්න මම කැමැති. එක්වරම පිපී එක් වරම පර වන්නට නම් කොහොමත් කැමැති නැහැ.

ඔබගේ අනාගත බලාපොරොත්තු ගැන කතා කළොත්?

අධ්‍යාපන කටයුතු සමඟ රංගන කටයුතුත් සමබරව කරගෙන යෑමත්, තිරපිටපත් රචකයෙක්, අධ්‍යක්‍ෂවරයකු විධියටත් කලාවේ නියැළෙන්න ආසයි. මම කැමැති මගේම දෙයක් තුළින් සමාජයේ හොඳ විධියට නමක් නිර්මාණය කර ගැනීමටයි.

පවුලේ විස්තරත් කියමු?

මගේ ගම ඉංගිරිය. මගේ පවුලේ ඉන්නේ අම්මයි, අප්පච්චියි, මමයි, නංගියි.

ඉඳුවර කියන්නේ සැබෑ ජීවිතයේ පෙම්වතෙක්ද?

අනේ නැහැ. තවම මට පෙම්වතියක් නැහැ.

ස්තුතිවන්ත විය යුතු පිරිසකුත් ඇති නේද?

මාව රංගනයට ගෙන ආ ගමගේ ගුරුතුමාට, මට හමුවූ සොඳුරුම කලාකරුවෙක් වන ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතාට. සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා, සහාය අධ්‍යක්‍ෂවරයා, කාර්ය මණ්ඩලය ඇතුළු නාට්‍යය තුළ මට උදවු උපකාර කරන සියලුම දෙනාට, මට ආදරය කරන ප්‍රේක්‍ෂකයන්ට බොහොම ස්තුතියි.

දිනූෂා මනෝරි නිශ්ශංක