කලබල නගරයේ  සිත නිවන මෙත් සිසිල ගෝතම තපෝවනය

0
36

ලංකාවේ සතර දිග්භාගය පුරා විසිරී පැතිරී පවතින ආරණ්‍ය සිය දහස් ගණනක් තිබෙනවා. ඒ බොහෝ ආරණ්‍යයන් ප්‍රමාණයක් පිහිටා තිබෙන්නේ ගස්වැල්වලින් සපිරි හුදෙකලා වනවාසී ප්‍රදේශයන්වලය. එයට හේතුවක් තිබෙනවා. ආරණ්‍යවාසී බොහෝ භික්ෂුන් වහන්සේලා ඇලුම් කරන්නේ හුදෙකලා ජීවිතයක් ගත කිරීමටය.

උන්වහන්සේලා බවුන් වඩවා සිත දියුණු කර ගනිමින් සසරෙන් එතෙර වීමට අපමණ වීර්යයක් දරයි. එය නිදහසේ සිදුකර ගැනීමට නම් නිස්කලංක වටපිටාවක් තිබිය යුතුමය. ඝෝෂාකාරී වටපිටාවකින් යුක්ත, වාහන දුම්වලින් සහ දූවිලිවලින් පිරුණු, කසළ දුර්ගන්ධයක් ඇති නාගරික ප්‍රදේශයකට ලඝු වූ භූමියක් තුළ සිත දියුණු කිරීමේ ක්‍රියාවලියේ නිරත විය නොහැකිය. එබැවින් ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා තෝරා ගන්නේ ග්‍රාමීය ප්‍රදේශයක් ඇති, කුරුලු ගීත ඇසෙන, ගතට සැහැල්ලුවක් ගෙනදෙන සුළඟක් හමන, වියැළුණු කොළ පයට පෑගෙන වනවාසී ප්‍රදේශයන්ය.

නමුත් නාගරික ප්‍රදේශවල වැඩවාසය කරන භික්ෂුන් වහන්සේට මෙන්ම නාගරික ප්‍රදේශවල ජීවත්වන සැදැහැවතුන්ටද  එවැනි ආරාමයක් සොයා ගොස් තම සිත සුවපත් කර ගැනීමට ඇති ඉඩ ප්‍රස්තාව බොහොම අල්පය. කාර්යබහුල ජීවිතයක් ගෙනයමින් ජීවත්වීමට උත්සාහ දරන ඔවුන්ට ඒ සඳහා මිඩංගු කිරීමට කාලයක් නැති තරම්ය. අද අප කතා කිරීමට සැරසෙන්නේ එවැනි ජීවිතයක් ගත කරන අයට මඳ වේලාවකට හෝ සිත් සනසවා ගැනීමට සුදුසු ආරාමයක් පිළිබඳවය.

ලංකාවේ සේනාසන ඉතිහාසයේ කොළඹ වෙළෙඳ අගනගරයට ආසන්නයේම පිහිටා ඇති මෙම ආරාමය ගෝතම තපෝවනයයි. මුල්ලේරියාව නව නගරයට ආසන්නව පිහිටා ඇති කලපලුවැව ග්‍රාමයේ මෙය පිහිටා තිබෙනවා. ලංකාව පුරාම ඇති තපෝවන ආරණ්‍ය සේනාසනයන්හි ප්‍රධාන මධ්‍යස්ථානය වන්නේද ගෝතම තපෝවනයයි.

මේ සඳහා මුල් අඩිතාලම දමා ඇත්තේ 1962 සැප්තැම්බර් 09 වැනිදාය. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ පූජ්‍ය කුඩාවැල්ලේ වංගීස අධිකරණ සංඝනායක ස්වාමීන් වහන්සේ විසිනි.  උන්වහන්සේ 1982 වර්ෂයේදී අපවත් වූයේ බෞද්ධ භාවනාව ජාත්‍යන්තරයටද ගෙන යෑමට විශාල පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව බව කියැවේ. තපෝවන සේනාසනය අක්කර 15ක භූමියක් පුරා විසිරී පැතිරී තිබෙනවා. ධර්ම ශාලාවක්, පිරිවෙන, බෞද්ධ මන්දිරය, පුස්තකාලය සහ භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලාට වැඩවාසය කිරීමට සුදුසු පරිදි ගොඩනැඟූ කුටිවලින්ද සමන්විත වේ.

මෙහි ධර්මශාලාව අඩි 120ක් දිග සහ අඩි 60ක් පහළින් යුක්ත නිසා සැදැහැවතුන් වැඩි පිරිසකට මේ තුළදී ධර්මය ශ්‍රවණය කිරීමට සහ භාවනා ඉගෙන ගැනීමට හැකියාව තිබෙනවා. මුල්ලේරියාවේ ගෝතම තපෝවනය තුළ සුවිශේෂී වූ බුදුපිළිම වහන්සේ නමක්ද තැන්පත් කොට තිබෙනවා. මෙය සුවිශේෂී වන්නේ තනි මහෝගනී ලීයකින් පමණක් නිර්මාණය කර තිබීම නිසාය. තපෝවන වන සෙනසුන ගොඩනැඟීමට 1962 වර්ෂයේදී මුල් අඩිතාලම දැමුවද  එය සම්පූර්ණ වශයෙන් සේනාසනයක් ලෙස ඉදිවන්නේ 1983 වර්ෂයේ ජූලි මාසයේදීය. නාගරික වැසියන්ට පහසුවෙන් ළඟාවීමට හැකි වීමත්, විශේෂිත වූ භාවනා ක්‍රම නිසාත් මෙය මහජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වීමට ලක්වී තිබෙනවා.

මේ තුළ බවුන් වඩන භික්ෂුන් වහන්සේලාට වැඩවාසය කිරීමට සුදුසු පරිදි ගොඩනැඟුණු කුටි කිහිපයක්ම තිබෙනවා. ඈත පිටිසර ග්‍රාමයක මෙන්ම තුරුවැල්වලින් වටවූ, කුරුලු ගීත ඇසෙන මඳ පවන හමන වනගත ප්‍රදේශය අභ්‍යන්තරයට වන්නට මෙම කුටි පිහිටා තිබීම නිසා උන්වහන්සේලාගේ භාවනාවට බාහිර බාධක ඇතිවීම සීමාසහිතයි. එබැවින් නිස්කලංකව සන්සුන්ව උන්වහන්සේලාට සිත දියුණු කිරීමේ කාර්ය කරගත හැකිය.

අෑත අතීතයේ පටන්ම භාවනානුයෝගී වනගත භික්ෂුන් වහන්සේලා එක්රැස් කිරීමට සහ උන්වහන්සේලාට දානය පිළිගැන්වීමට භාවිත කළ සාම්ප්‍රදායික ක්‍රමයක්ද මෙහි යන ඔබට දැක ගත හැකිවෙනවා. එනම් මහත ලී දඬුවකින් පොත්ත ඉවත් කළ ගසකට ගැසීමය. එමඟින් නිකුත්වන හඩින් භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය වන යම් සන්නිවේදනයන් ලබාදෙයි. ගෝතම තපෝවන ආරණ්‍ය සේනාසනය තුළ තිබෙන තවත් වැදගත් අංගයක් වන්නේ පුස්තකාලයක් පිහිටා තිබීමයි.

පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ සහ ගිහි ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජනයට මෙය ගොඩනඟා තිබුණද, මෙහිදී යන ඕනෑම අයකුටම තමන්ට අවශ්‍ය දැනුම ලබාගැනීමට මෙය භාවිත කළ හැකිය. එමෙන්ම තපෝවන සෙනසුන මඟින් විශේෂ වූ සංඝ කර්ම, උපසම්පදා විනය කර්ම, පොහොය කර්ම, ප්‍රාතිමෝක්ෂ දේශන ආදී කාර්යයන්ද සිදුකරයි.

භාවනාව කියන්නේ අපගේ සිත සුවපත් කර ගැනීමට ඇති එකම විකල්ප මාර්ගය වෙයි. විකල්ප මාර්ගය ලෙස සඳහන් කළේ අපි සියල්ලන්ටම පැවිදි දිවියට ඇතුළත්ව වනවාසී වී බවුන් වැඩිම ප්‍රායෝගිකව ඉටුකළ නොහැකි නිසාය. එම නිසා ලෞකික ජීවිතය පවත්වා ගනිමින් අපගේ මනස යම්තාක්දුරට හෝ එකඟ කරගෙන යථාර්ථය දැකීමට උත්සාහ කරනවා නම් එය මෙලොවත් පරලොවත් දෙකටම වැදගත් වේ. මන්ද අපි නිරන්තරයෙන් කුමක් හෝ අරමුණක් පසුපස හඹා යමින් සිටින නිසා සිතේ කෙලෙස් ඇති වී මනස වියවුල් වේ. එය අවම කර ගැනීමට නිස්කලංක පරිසරයකට ගොස් පරිසර සුන්දරත්වය විඳගනිමින් සිතටත් සැනසීමක් ලබාගැනීමට ආරණ්‍යයක් කියන්නේ කදිම තෝතැන්නක්.

ගෝතම තපෝවනයට යන ඔබට කුටිවල වැඩවාසය කරන භික්ෂුන් වහන්සේලාට දානය පිළිගැන්වීමට සහ ධර්මය ශ්‍රවණය කිරීමට හැකියාව තිබෙනවා. එමෙන්ම පුස්තකාලය මඟින් අවශ්‍ය කරන දැනුම ලබාගැනීමටත් හැකියාවක් තිබෙනවා. එමෙන්ම නාගරික ජීවිත ගත කරන ඔබට පහසුවෙන් ළඟාවීමටද හැකියාව තිබෙන නිසා එයට අවශ්‍ය කාලයද වෙන්කර ගැනීමටත් පහසුය.

දුමිඳු ලංකා බණ්ඩාර