කරන පව් සංසාරයේ කොතැනකදී හෝ ගෙවීමට සිදුවනු ඇත

0
68

බෞද්ධයන් වන අප කර්මය පිළිබඳව අවබෝධ කර ගැනීම සසර ගමන සුවපත් කරගැනීමට අතිශයින් ඉවහල් වේ. අපගේ සසර ගමන පිළිබඳ නොදැන යෑමට වඩා දැනගෙන යෑම හොඳය. බුදු දහම යනු කවරකුට වුවද ප්‍රත්‍යක්ෂ කර දැනගත හැකි ප්‍රායෝගික ඉගැන්වීම් රැසකින් සමන්විත දහමකි.

 තම වටපිටාව දෙස කල්පනාකාරීව බලන කෙනකුට කර්ම නියාමයන්ට අනුව ඇතැම් දේ සිදුවන බව වටහාගත හැකිය. කෙසේ වෙතත් බුදු දහමෙහි සඳහන් වනු ලබන්නේ උත්සාහය සහ කල්පනාව තිබෙනවා නම් කර්මය පවා අපට වෙනස් කරගත හැකි බවයි.

මිනිසාගේ ජීවිතයේ සිදුවන සෑම ක්‍රියාකාරිත්වයකටම කර්මය බලපාන බව බුදු දහමේ ඉගැන්වෙනු ලබයි. කර්මය යනු කුමක්ද? ඒවා හටගන්නේ කෙසේද? සෑම කටයුත්තක්ම කර්මය අනුව සිදුවෙනවාද? යන්න බෞද්ධයන් වන අප නිවැරැදිව තේරුම් ගත යුතුය. සරලවම කර්මයක් යනු යම් පුද්ගලයකු විසින් කරනු ලබන ක්‍රියාවයි. බුදු දහමට අනුව කර්මය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය. එනම්,

කුසල කර්ම

අකුසල කර්ම

අහේතුක කර්ම එම කොටස් 3යි. අලෝභ, අද්වේශ, අමෝහ යන කුසල කර්ම මුල්වීමෙන් කරනු ලබන ක්‍රියාවන් කුසල කර්ම වශයෙන්ද, ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල කර්ම අකුසල මූල වශයෙන්ද, අහේතුකව සිදුවන ක්‍රියාවන් අහේතුක කර්ම වශයෙන්ද හැඳින්විය හැකිය. එසේම බුදු දහමට අනුව කර්මයේ විවිධ ප්‍රභේද ඇත. යම් පුද්ගලයකු විසින් කරනු ලබන කර්ම විපාක කොටස් හතරකට බෙදා දක්වා ඇත.

දිට්ඨධම්මවේදනීය

උපපජ්ජවේදනීය

අපරාපරියවේදනීය

අහෝසි කර්ම වශයෙන් ඒවා හැඳින්විය හැකිය. දිට්ඨධම්මවේදනීය කර්මය යනු යම්කිසි ක්‍රියාවක් එනම් කුසල හෝ අකුසල කර්මයක් සිදුකිරීමෙන් පසු මෙලොවදීම විපාක දෙන කර්මයි. උපපජ්ජවේදනීය කර්මය යනු ඊළඟ භවයේ විපාක දෙනු ලබන කර්මයන්ය. අකුසල කර්ම අනුව බැලුවහොත් ඊළඟ ආත්මයේ නිසැක වශයෙන් විපාක දෙනු ලබන කර්ම වන්නේ ආනන්තරීය පාප කර්මයන්ය. අපරාපරිය වේදනීය කර්මය යනු සසරේ දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් ගමන් කරන සසර භවයේදී විවිධ අවස්ථාවන්වල විපාක දෙනු ලබන කර්මයි.

අහෝසි කර්මය යනු පලදීමට අවකාශ නොලබා අහෝසි වන කර්මයි. උදාහරණයක් ලෙස අංගුලිමාල මහ රහතන් වහන්සේ ගිහි කල දහස් ගණනින් මිනිසුන් ඝාතනය කළද එම ප්‍රාණඝාත අකුසල් කර්මයේ සියලු විපාක ලැබීමට අවකාශයක් ලැබුණේ නැත.

අංගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රයට අනුව කර්මය යනු,

“චේතනාහං භික්ඛවේ

කම්මං වදාමි

චේතයිත්වා කම්මං කරෝති

කායේන වාචාය මනසා”

(මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි. සිතින් සිතා කයෙන් වචනයෙන් මනසින් කර්ම සිදුකරයි.) මෙම අර්ථ දැක්වීම මඟින් බුදු දහමේ ස්ථාවර බව මැනවින් පැහැදිලි වේ.

මෙම විග්‍රහයට අනුව කර්මය පිළිබඳ මූලික අර්ථයන් දෙකක් දැක්විය හැකිය. එනම්,

01. චේතනාව මූලික වීමෙන්ම පමණක් ක්‍රියාවක් කර්මයක් බවට පත් වේ.

02. කර්මය සිත, කය, වචනය යන ත්‍රිවිධ ද්වාරයෙන්ම සිදුවේ.

අකුසලය පීඩාකාරීය. කරන්නාටත් විඳින්නාටත් වේදනාකාරීය. අකුසලය ‘ගොනා පසුපස ඇදෙන කරත්තය මෙන්’ දුක් විපාක ගෙන දෙන බව ධම්මපද දේශනාවක විග්‍රහ වේ.

“මනසා චෙ පදුට්ඨෙන

භාසතිවා කරොතිවා

තතොනං දුක්ඛ මන්චෙති

චක්කංච වහතො පදං”

(අයහපත් වූ සිතෙන්, කයෙන්, මනසින් කරනු ලබන ක්‍රියාවේ ප්‍රතිඵලය වේදනාකාරී වූවකි. දෙනගෙන් ‍ෙදාවා ගන්නා කිරි මිදෙනුයේ දින කිහිපයකට පසුවය. එමෙන්ම අළු යට සැඟවුණු ගිනි පුපුර නොපෙනුනත් අත පිලිස්සෙයි.)

අපගේ ජීවිත ක්‍රියාත්මක වනු ලබන්නේ කුසල අකුසල කර්මවල ක්‍රියාත්මකභාවය අනුවය. සෑම දෙයක්ම සිදුවන්නේ කර්මයට අනුව යැයි තේරුම් ගත හැකි කෙනකු ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට වන සෑම දෙයක්ම ඔහුට හෝ ඇයට උපේක්ෂාවෙන් සාධාරණීයකරණය කරගත හැකිය.

මෙයට හොඳම උදාහරණය වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මජ්ජිම නිකායේ සඳහන් වන දේවදූත සූත්‍රයයි. දේවදූත සූත්‍රයෙන් උන්වහන්සේ දේශනා කර ඇත්තේ යම් කෙනකු මියගිය පසු දුගතියක උත්පත්තිය ලබන ආකාරය පිළිබඳවයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ නිරයන් අටක් තිබෙන බවයි. එය අටමහ නිරය නමින් හඳුන්වා ඇති අතර නිරයෙහි උපත ලද විට යම රජ්ජුරුවන් විසින් ප්‍රශ්න පහක් අසනු ලබයි. එම අසන ලද ප්‍රශ්න පහට කිසිවකුට හෝ පිළිතුරු ලබාදීමට නොහැකි වුවහොත් සිදුවන දේ යම රජ්ජුරුවන් අපූරු ලෙස විග්‍රහ කර ඇත. එහි ප්‍රධාන වශයෙන් දැක්වෙනු ලබන්නේ කර්මය පිළිබඳවයි. යම රජ්ජුරුවන් ප්‍රශ්න කරනු ලබන්නේ,

“එම්බල පුරුෂය, නුඹ මෙහි පැමිණියේ නුඹගේ මව, පියා සිදුකළ පව් ගෙවන්නවත්, තමාගේ ළමයින්ගේ පව් ගෙවීමටවත් නොවෙයි, නුඹ පැමිණියේ නුඹ සිදුකළ පව් ගෙවීමටයි.”

ලෙසය. එම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ අප සිදුකළ පව් සංසාරයේ කොතැනක හෝ ගෙවීමට සිදුවන  බවයි. එයට වයස ප්‍රශ්නයක් අදාළ නොවේ. අපට යම් දෙයක් සිදුවනවා නම් එම කර්මය ලැබෙන්නේ අප සිදුකළ ක්‍රියාවන් මතය. එහි ප්‍රබලත්වය සහ බරපතළකම අපට යම් යම් සිදුවීම්වලින් පැහැදිලිව ගම්‍ය වෙයි. උදාහරණයක් ලෙස පසුගිය දිනයක කුඩා දියණියක් පාපතර මිනිසකුගේ ග්‍රහණයට ලක්වී මියගියාය. එය බොහෝ දෙනකු දන්නා කතාවකි. මුළු රටක, ලොවක, අවධානය කුඩා දියණිය වෙත යොමු විණි. බොහෝ දෙනකු පැවසුවේ එම දියණිය “පව්” යනුවෙනි. එසේ අනුකම්පා කරනු ලැබුවේ ඇගේ වයස නිසාය. මල් කැකුළු වැනි කුඩා දියණියන් හට කවුරුත් ආදරේය.

එම ආදරේ නිසාම කුඩා දියණියට “පව්” යැයි පවසති. නමුත් ඇය විඳි අකුසල කර්මය පෙර සිදුකළ පවක් යැයි අප තේරුම් ගත යුතුය. මෙම කුඩා දියණිය සසරේ සිදුකළ අකුසල කර්මය කුමක්ද යන්න වග අප කිසිවකු කල්පනා කළේ නැත. කිසිවකුත් මෙම කුඩා දියණියට සිදු වූ අපරාධය ධර්මය පැත්තෙත්් දුටුවේ නැත. එබැවින් ඔවුන් තම තමන්ටම ශෝකය ප්‍රකාශ කරගනු ලබයි.

නමුත් අප ධර්මය පිළිබඳ අධ්‍යයනයක් සිදුකරනවා නම් ධර්මය පිළිබඳ අපට යම්කිසි අවබෝධයක් තිබෙනවා නම් මෙවැනි කාරණා පිළිබඳ බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ කුමක්ද යන වග පැහැදිලි කරගත හැකිය. අප ලිපිය ආරම්භයේදීම සඳහන් කරනු ලැබුවේ කර්මයට අනුව සියල්ල සිදුවන බවය. එහිදී මෙම කුඩා දරුවාගේ අකුසලය වන්නේ ඇයව මරා දැමූ පාපතර මිනිසාය. ඇය සසරේ ගෙනා අකුසල් අනුව ඇයව මරා දැමූ පුද්ගලයා ඇගේ සමීපතමයකු ලෙස ඇගේ නිවෙස අසලම උපත ලබා ඇත. මෙම දරුවා මෙම ස්ථානයේම උපත ලබා ඇත්තේ ඇතැම් විටෙක මෙම කර්මය විපාක දීමටම විය හැකිය.

අප දානයක් පූජා කළ විට ආයුෂ, සැප, බල, වර්ණ හෝ ප්‍රඥා යන ආනිසංස ලැබෙයි. මෙහිදී අපට මුලින්ම ලැබෙන්නේ ආයුෂයි. ආයුෂ තිබෙනවා නම් පමණක් අපට අනෙක් කාරණා හතරම භුක්ති විඳිය හැකිය. ආයුෂ නැති වුවහොත් අනෙක් කාරණා හතරම අහෝසි වී යයි. එබැවින් අප ආයුෂ වර්ධනය වන පින්කම් කළ යුතුය.

මෙහි විරුද්ධ පැතිකඩ විමසා බැලුවහොත් උදාහරණයක්  ලෙස වැඩිහිටි නිවෙසක සිටින මහලු කෙනකු කුණු දූවිලි තවරාගෙන සිටියි. ඔහුට හෝ ඇයට ජීවත් වීමට ආයුෂ තිබුණත් අනෙකුත් දේවල් ලැබී නැත.

සංසාර ගමනේ ආයුෂ වර්ධනය වන පින්කම් සිදුකළත් අනෙක් කරුණු හීන වී ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනෙක් කාරණය වන්නේ, මිහිපිට උත්පත්තිය ලබන කිසිම කෙනකුට කිසිම අසාධාරණයක් නොවන බවයි. එසේ නම් ධර්මය අනුව මෙම කුඩා දැරියට කිසිදු ලෙසකට අසාධාරණයක් සිදු වී නැත. ඔබට කුමන අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වුවත් එය ධර්මයට අනුව අසාධාරණයක් නොවේ. ඇතැම් විට නිවැරැදි අයට වැරදි යැයි බොහෝ චෝදනා එල්ල විය හැකිය. එම නිවැරැදි භාවය ඔප්පු කර ගත නොහැකි අවස්ථා අපමණ ඇත. එසේ නම් වරදින් නි‍ෙදාස් කොට නිදහස් කෙනකු සිර ගෙදරට යන්නේ නොකරන ලද වරදකටය. නොකරන ලද වරදකට සිර ගෙදරකට යෑමට සිදු වන්නේද සංසාරයේ කළ අකුසල් නිසාය.

මෙම වටපිටාව තුළ සමාජය තුළ ධර්මය අධර්මය බවට පත්වනවා නම් එතැන හටගන්නේ බුදු දහමේ විනාශයයි. මෙවැනි විෂමාකාරී සිතුවිලි පහළ වන්නේ යම්කිසි හේතුවකටය. එනම් අප මේ ඇදී යන්නේ අන්ත කල්ප විනාශයටය. අන්ත කල්ප විනාශයට ළං වනවා යනු මිනිසුන්ගේ සිත් තුළ අනුකම්පාව, දයාව, කරුණාව පිරිහී යාමයි. මනුෂ්‍යයකුට තවත් මනුෂ්‍යයකු පෙනෙන්නේ වෘකයකු ලෙසිනි.

සමාජය මෙවැනි තත්ත්වයකට ඇදී යනවා නම් අප තවත් කම්පා විය යුතු නැත. සෑම දෙයක්ම සිදුවන්නේ කර්මය සහ කර්මපථය මතය. ඔබට ලැබෙන්නේ ඔබ සංසාරයේ වැපිරූ දේවල්ය. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු එකසිය හැටක් වැඩ වාසය කළේය. උන්වහන්සේ දීර්ඝායුෂ සම්පත්තිය භුක්ති විඳිය හැකි ආකාරයෙන් පින් දහම් රැස් කළේය. ගිලනුන් හට ඇප උපස්ථාන කළේය. රෝගීන්ගේ ශරීරයේ ඔෟෂධ ගල්වා ඔවුන් සුව කළේය. එවැනි පින්කම්වල ආදීන ලෙස බක්කුල  හිමියන් හට ආයුෂ වැඩි විය.

වයස අවුරුදු අටක් පමණ වන කුමාරයකු බ්‍රාහ්මණයකු මුණගැසී වන්දනා මාන කිරීමට ගිය විට බ්‍රාහ්මණයා මෙම කුමාරයාට සෙත් පත්නේ නැත. එය කුමාරයාගේ මවට ප්‍රහේළිකාවකි. පසුව මව බ්‍රාහ්මණයාගෙන් හේතුව ඇසූ පසු බ්‍රාහ්මණයා පවසන්නේ මෙම කුමාරයා දවස් හතක් පමණක් ජීවත් වන බවත් සසරේ සිදුකළ අකුසල කර්මයකින් යක්ෂයකුගේ බිල්ලට හසුවී සිටින බවත්ය. බ්‍රාහ්මණයා පවසන්නේ හැකි ඉක්මනින් බුදුරජාණන් වහන්සේ මුණගැසෙන ලෙසයි.

බුදුරජාණන් වහන්සේ මුණගැසුණු පසු උන්වහන්සේ පිරිත් මණ්ඩප බැඳ පිරිත් සජ්ජායනා කර කුඩා දරුවාව සසරෙහි තිබූ කර්මයෙන් ගලවා ගනියි. පසුව ඔහු අවුරුදු එකසියවිස්සක් ජීවත් වන බව පවසා ආයුවඩ්ඩන කුමාරයා ලෙස නම් තබයි. අවසානයේ බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක,

අභිවාදන සීලිස්ස

නිච්චං වද්දාපචායිනෝ

චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති

ආයු වණ්ණෝ සුඛං බලං

සිල් ගුණදම්වලින් සපිරි වැඩිහිටි ගුණ නුවණින් යුතු යහපත් උතුමන්ට යමෙක් නිතර වැඳුම් පිදුම් කරත් නම් ආයුෂ හා පැහැපත් බව සැප හා බලයෙන් යුතු බව යන මේ සිවු කරුණු ඔහුට නිරතුරුවම ලැබෙන්නේය.

අවාසනාවකට අද වර්තමාන සමාජයේ අපව කර්මයෙන් ගලවා ගැනීමට කෙනකු නැත. මරණයෙන් ගලවා ගැනීමට කෙනකු නැත. අද අප සැවොම අසරණ වී ඇත. සමාජයේ අප සියලු දෙනා අසරණ වී තිබෙන්නේ ධර්මයන් නැති නිසාය. ධර්මය අධර්මය ලෙස දැකීමත් අධර්මය ඉස්මතු කර පුන පුනා තමාගේ ජීවිතයට එකතු කර ගැනීමත් නිසා මෙම සමාජය වල්මත් වී මෙම සමාජය පිරිහී ඇත. ධර්මය පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකර ධර්මය පිළිබඳ සම්මා දිට්ඨියෙන් දැක කටයුතු කිරීමට හැකි කෙනකු සිටිනවා නම් මිථ්‍යා දෘෂ්ටියෙන් මිදී ධර්මය අවබෝධ කරගත හැකි නම් ඔහු අනිවාර්යයෙන්ම මෙම සංසාරයෙන් මිදී නිවන කරා ළඟා වේ.

සචිනි බස්නායක

පූජ්‍ය මාතර විජයසීහ හිමි

තරුණ දම්සභා බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ