ඊජිප්තු ශිෂ්ටාචාරය රසගන්වපු මිථ්‍යා කතා

0
785

ඔබත් මමත් ජීවත් වන වර්තමානය, බොහෝ අබිරහස් සහ කුතුහලයන් යටපත් කරමින් සහ ඒවා සඟවමින් දිව යන්නක්. වර්තමානය සේම එකලද, එනම් මීට වසර සිය දහස් ගණනකට පෙර පැවැති පුරාණ ශිෂ්ටාචාරයන් තුළද මෙම අබිරහස් සහ මිථ්‍යාවන් නොඅඩුව පැවතිණි.

ඒ අතරින් පුරාණ මිසරයෙහි හෙවත් වත්මන් ඊජිප්තුවෙහි පැවැති එම මිථ්‍යාවන් එදා ලෝකයෙහි මෙන්ම අද ද එකසේ ජනප්‍රිය සහ ප්‍රසිද්ධිය. ප්‍රධාන වශයෙන්ම මිසර දෙවිවරුන්, අබිරහස් සත්ත්වයන් සහ අබිරහස් සංසිද්ධීන් ආදී කුතුහලයෙන් සපිරි අංගවලින් නිර්මාණය වූ පුරාණ මිසර මිථ්‍යාවන් තුළ අතිශයින්ම කුතුහලය සපිරිය. එසේ නම්, පුරාණ මිසරයේ ඒ අතීත මිථ්‍යාවන් සොයා යන ගමනේදී හමුවන ප්‍රසිද්ධ මිථ්‍යාවන් කිහිපයක් පිළිබඳව මෙසේ විමසා බලමු.

1. “Ra” ගේ මිථ්‍යා කතාව

“Ra” ‍යනු ලෝකයේ සියලුම දෙවිවරුන් නිර්මාණය කළ මෙන්ම සූර්යා ලෙසද සිටිනා දෙවියන් බව පුරාණ මිසර මිථ්‍යාවන් හි සඳහන්ය. එමෙන්ම,  ඔහු මිසරයේ පළමු පාරාවෝ රජු ලෙස පෘථිවිය  පාලනය කළ අතරම එම නිසා මිසරයේ එකල සිටි රජවරුන් තමන් Ra ගෙන් පැවත එන බව පවසමින් රජකම් කර ඇත. එමෙන්ම, ඔවුන් Raගේ පුතුන් ලෙස තමන්ව හඳුන්වා දී ඇති බවත් පුරාණ මිසර ඉතිහාසය තුළ සඳහන්ය.

2. Anubis මරණ මිථ්‍යාව

Anubis යනු, මරණය සම්බන්ධ සංසිද්ධීන් සඳහා අධිපති දෙවියන් වන අතර ඔහු මළවුන්ගේ අධිපති ලෙසද පුරාණ මිසර මිථ්‍යාවන් තුළ  සඳහන්ය. එමෙන්ම, ඔහු මියගිය ආත්මයන් පාතාල ලොවට ගෙනයෑම, සොහොන්වල ආරක්ෂකයා සහ මමිකරණයෙහි නිර්මාතෘ ලෙසද සැලකේ.

3.  “Thoth” පොතෙහි මිථ්‍යාව

“Thoth” යනු, සර්පයන් විසින් ආරක්ෂා කරනු ලබන, නයිල් නදිය පතුලෙහි ඇති පෙට්ටියක තැන්පත් කර ඇති දෙවිවරුන් පිළිබඳ සියලුම විස්තර අඩංගු පොත වේ. ඊජිප්තුවෙහි රජ කළ විවිධ පාරාවෝ රජවරුන් මෙය පිටතට ගැනීමට උත්සහ කළ නමුත් එය සාර්ථක නොවූ බව ඉතිහාසයෙහි සදහන් වේ.

4.  බළලුන් සහ Bastet

Bastet යනු, දරු ප්‍රසූතිය, සශ්‍රීකත්වය, බළලුන් සහ ගෘහයට අධිපති දේවතාවිය වන අතර ඇය රෝග සහ නපුරු ආත්මයන්ගෙන් නිවෙස සහ නිවැසියන් ආරක්ෂා කළ බවට පුරාණ මිසර මිථ්‍යාවන් තුළ සඳහන්ය. මිසර චිත්‍ර ශිල්පීන් සහ ප්‍රතිමා ශිල්පීන් බළල් හිසක් සහිතව ඇයගේ සිතුවම් සහ පිළිම නිර්මාණය කර ඇත්තේ ඇය බළලුන්ට අධිපතිනිය හේතුවෙනි.

5. Hatshepsut ගේ කතාව

Thoth පොතෙහි අනාවැකිය අනුව ඇය මිසරයේ පළමු කාන්තා පාරාවෝ වන අතර ඒ සඳහා ඇය පත්කරනු ලබන්නේ Ra ගේ (Ra යනු දෙවියන් නිර්මාණය කළ පුද්ගලයා) ප්‍රාර්ථනාවක් අනුව බවද පුරාණ මිසර මිථ්‍යාවන් තුළ සඳහන් වේ.

6.  රතු සෙරෙප්පු යුවතියගේ කතාව

ලොව ප්‍රකට සින්ඩරෙල්ලා කතාවට පෙර ඊජිප්තුවෙහි අප්‍රකට සින්ඩරෙල්ලා කතාවක් තිබූ බව ඔබ දන්නවාද? රෝඩෝපීස් නම් ග්‍රීක යුවතිය ඊජිප්තුවෙහි වහල් භාවය සඳහා විකුණන ලද අතර ඇයව මිලදී ගෙන ඇත්තේ කරුණාවන්ත මහලු ඊජිප්තු මිනිසෙක් විසිනි.

එහිදී, ඔහු විසින් ඇයට සියලුම සැප සම්පත් ලබාදී ඇති අතර ඇයට වටිනා, සිත්ගන්නා සුලු සහ අලංකාර රතු සෙරෙප්පු යුගලක් තිබී ඇත. දිනක් රාජාලියකු විසින් ඇයගේ සෙරෙප්පු යුගලයෙන් එක් රතු සෙරෙප්පුවක් රැගෙන එකල පාරාවෝ වන අමාසිස් රජු වෙත ගෙන එන ලදී. ඉන්පසුව, අමාසිස් රජු ඇය සමඟ ආදරය කළ අතර බොහෝ කලක් ඔවුන් එකට ජීවත් වී දෙදෙනාම එකම දිනයේ මියගිය බව අතීත මිසර මිථ්‍යාවන්හි සඳහන් වේ.

7. Bes

Hapi දෙවිවරුන් නිරූපණය අතිශයින්ම විවිධාකාරව සිදුවී ඇති බව එහි ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී ඔබට පැහැදිලි වනු ඇත. මෙහිදී අනෙකුත් ඊජිප්තු දෙවිවරුන්ට සාපේක්ෂව Bes දෙවියන් නිරූපණය කර ඇත්තේ හිසේ සිට දෙපතුල දක්වා බණ්ඩි පාද සහිතව මෙන්ම ඔහුගේ දිව නිරතුරුවම පිටතට ඇදී යන විකාර වාමනයකු ලෙසයි. ඔහු විනෝදාස්වාදයේ දෙවියන් ලෙස නම් කර ඇති අතර දරු ප්‍රසූතියේ දෙවියන් ලෙසද නම් කර ඇත. ඔහු විසින් ඊජිප්තු වැසියන් ආරක්ෂා කර ඇත්තේ රාත්‍රියෙහි නපුරු බලවේගවලින්, යක්ෂයන්ගෙන් සහ ම්ලේච්ඡ සතුන්ගෙනි.

8. Hapi

Hapi යනු , නයිල් ගඟට අධිපති දෙවියන් වන අතර ප්‍රධාන වශයෙන්ම ඔහු නයිල් ගඟෙහි ගංවතුර ඇති කිරීම සිදුකළ බව සඳහන්ය. මෙලෙස ගංවතුර ඇති කිරීම මඟින් නයිල් ගං ඉවුරෙහි බෝග වගාවන්ට ඉතාමත් හිතකර, සරු පෝෂක තැන්පත් විය. මෙනිසා ඊජිප්තුවරුන්ට ඔවුන්ගේ බෝග වගාවන් සාර්ථක කර ගැනීමට හැකිවූ බව පුරාණ මිසර ඉතිහාසය තුළ සඳහන් වේ. ඔහු,  නිරූපණය කරන ලද්දේ ජලජ පැළෑටිවලින් නිර්මාණය කරන ලද හිස් පලඳනාවක් පැලඳ සිටින බඳුනක් වැනි බඩක් ඇති මිනිසකු ලෙසයි.

9. Tefnut

Tefnut යනු, වර්ෂාව, පිනි සහ තෙතමනය සඳහා අධිපති දේවතාවියයි. එමෙන්ම ඇය, වාතයට අධිපති දෙවියන් වන ෂූ ගේ බිරියයි. පුරාණ මිසර මිථ්‍යාවන් තුළ ඇයව නිරූපණය කර ඇත්තේ සිංහයකුගේ හිස සහිත කාන්තාවක් ලෙසයි.

10. Khonsu

Khonsu යන්නෙහි අරුත, රාත්‍රියෙහි සඳ හරහා ගමන් කරන්නා  යන්නයි. Khonsu යනු , සඳට අධිපති දෙවියන් වන අතර ඔහුව නිරූපණය කර ඇත්තේ චන්ද්‍ර තැටියක් පැලඳ සිටින උකුස්සකුගේ හිසක් ඇති මිනිසකු ලෙසයි. එමෙන්ම, ඊජිප්තු වැසියන්ගේ විශ්වාසය අනුව එම අඩ සඳ තැටියෙන් නිරූපණය වන්නේ කාන්තාවක් වන අතර, එම නිසා ඔහු දරු ප්‍රසූතියේ සලකුණ ලෙසද අතීත මිසර ඉතිහාසයෙහි සඳහන් වේ.

11. Osiris

පුරාණ ඊජිප්තු දෙවිවරුන් අතරින් ප්‍රධාන දෙවි කෙනකු ලෙස Osiris දෙවියන් පිළිබඳව සඳහන් වේ. ඔහු මරණය, නැවත නැඟිටීම සහ ඊජිප්තුවෙහි කෘෂිකාර්මික සශ්‍රීකත්වය සඳහා ප්‍රධාන සංකේතය වන නයිල් නදිය සහ එහි ජලය සංකේතවත් කරයි. ඔහුගේ මරණයෙන් පසු අයිසිස් නම් ඔහුගේ බිරිය විසින් නැවත ඔහුගේ ශරීරය එක්කර මමියක් ලෙස සැකසූ බව සඳහන්ය.

ඔහුගේ දෑත්වල සහ මුහුණේ කොළ පැහැති සම පමණක් නිරාවරණය වන ලෙස ඔතා ඇති ඇඳුම් ඇඳ සිටි ඔහු මමීකෘත රජකු ලෙස නියෝජනය විය.

12. Horus

Horus යනු , යුද්ධය සහ දඩයම් කිරීම සමඟ සම්බන්ධ වූ දෙවි කෙනකු වන අතර ඔහු උකුස්සකු ලෙස හෝ උකුස්සකුගේ හිස ඇති මිනිසකු ලෙස නිරූපණය කර ඇත. එමෙන්ම, ඔහු රාජ්‍යත්වයේ සලකුණ වූ අතර ඇතැම් කාලයන්හි ඊජිප්තුව පාලනය කළ රජවරුන් Horus ගේ නියමයෙන් පාලන කටයුතු සිදුකරන බවට විශ්වාසයන් පැවතුණි. 

13.  Hathor

Hathor යනු, මාතෘත්වය සහ සාරවත් බවට අධිපති දේවතාවියක් වන අතර ඇය දරු ප්‍රරසූතියේදී කාන්තාවන් ආරක්ෂා කරන බව එකල විශ්වාස කෙරිණි. එමෙන්ම, ඇය නිරූපණය කරනු ලැබුවේ ගවයකු ලෙස, ගවයකුගේ හිස ඇති කාන්තාවක් ලෙස හෝ ගවයාගේ කන් ඇති කාන්තාවක් ලෙසයි.

14. අයිසිස් සහ ඔසිරිස් ඝාතනය සහ පළිගැනීම

 ඔසිරිස් යනු, මිසර මිථ්‍යාවන්හි වැඩි වශයෙන් සඳහන් වන වැදගත් සහ ප්‍රධාන දෙවි කෙනෙක් වූ අතර ඔහුගේ බිරිය වූයේ අයිසිස් දේවතාවියයි. පවුලෙහි වැඩිමහල් දරුවා ලෙස ඔසිරිස් සිංහාසනයට පත් වූ අතර මිනිසුන් ඔහුට ආදරය කළහ. ඒ නමුත් ඔහුගේ සහෝදරයා වන සෙට් දෙවියන් මේ පිළිබඳව ඊර්ෂ්‍යාවට පත්වී ඔසිරිස්ගෙන් පළිගැනීමට උත්සාහ කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, සෙට් විසින් ඔසිරිස්ව මරා,    කෑලිවලට කපා, ඊජිප්තුව පුරා කෑලි විසුරුවා හරින ලදී.

කෙසේ වෙතත්, ඔසිරිස්ගේ බිරිය වන අයිසිස් හට  විශාල ඉන්ද්‍රජාලික බලයක් තිබුණි.  ඇය ගොඩබිම හරහා ගොස්, ඔසිරිස්ගේ ශරීර කැබලි සියල්ලම එකතු කර, ඒවාට ජීවය ලබාදී ඔහුව නැවත නැඟීසිටුවන්නට ඇයට හැකි විය.  වැඩි කල් නොගොස්, ඔවුන් එක්ව හෝරස් නම් දරුවකු පිළිසිඳ ගත් නමුත් ඔසිරිස්ට නැවත ඔහු පෙර වාසය කළ දේශයට ආපසු යෑමට නොහැකි වූ නිසා ඔහු පාතාලය පාලනය කිරීම සිදුකළ බව පුරාණ මිසර මිථ්‍යාවන්හි සඳහන්ය.

15. Ma’at හෙවත් සදාචාරයේ දේවතාවිය

Ma’at යනු, සත්‍යය, යුක්තිය සහ සදාචාරයේ දේවතාවියයි.  ඇය Raගේ දියණිය වූ අතර චන්ද්‍ර දෙවියන්ගේ බිරියයි. මරණින් මතු ජීවිතයේ සදාකාලික ප්‍රීතිය ලැබිය යුත්තේ කාටදැයි තීරණය කිරීමට ඇය මියගිය අයගේ හදවත් කිරා මැන බැලූ බව ඉතිහාසය තුළ සඳහන් වේ. එමෙන්ම, ඇය සතු ඇයගේ පිහාටුව මෙය තීරණය කරන සාධකය විය.  තරාදියක් මත තැබූ පසු, මියගිය අයගේ හදවත ඇගේ පිහාටුවට වඩා බර නම්, ඔවුන්ට පාරාදීසයට යෑමට අවසර නැත.  හදවත බර වැඩි යැයි සැලකේ නම්, යක්ෂයකු එය ගිල දමනු ඇත. මියගිය පුද්ගලයා දෙවන වරටත් මියයනු ඇත.

16. සෙට් සහ හෝරස් සටන

 ඉහතින් සඳහන් කළ ලෙස හෝරස් යනු ඔසිරිස් දෙවියන්ගේ සහ අයිසිස් දේවතාවියගේ පුත්‍රයාය. ඔසිරිස් දෙවියන්ගේ මරණයෙන් පසු ඔහුගේ සොහොයුරු සෙට් දෙවියන් ඊජිප්තුවේ පාලකයා ලෙස වැඩ භාර ගන්නා ලදී. කෙසේ වෙතත්, හෝරස් විසින් සෙට් හට සිංහාසනය සඳහා අභියෝග කළ අතර එම නිසා, හෝරස් සහ සෙට් අතර සටනක් ඇති විය. දෙදෙනා අතර පැවති මෙම  සටන කෙලෙසකවත්  නිරාකරණය නොවීය. මෙය මිසර මිථ්‍යාවන් තුළ සඳහන් වන ප්‍රසිද්ධ සටනකි.

17. Amon

දෙවිවරුන්ගේ රජු වන ආමොන්, පාරාවෝවරුන්ගේ අනුග්‍රාහකයකු වූ අතරම සශ්‍රීකත්වයේ දෙවි කෙනකු ලෙසද මිසර මිථ්‍යාවන්හි සඳහන් වේ.  ඔහුට පිහාටු ඔටුන්නක් තිබූ අතර බැටළුවකුගේ හිසකින් හෝ මිනිස් හිසකින් ඔහුව නිරූපණය කරන ලදී.

18. Men

 මිසර මිථ්‍යාවන් තුළ සඳහන් වන තවත් දෙවි කෙනෙකි. ඔහු, කිරණ සහිත සූර්ය තැටියක් මඟින් නිරූපණය කරයි.

 19. Khepri

 නැවත ඉපදීම සහ සදාකාලික ජීවය පිළිබඳ අදහස් සංකේතවත් කරන පුරාණ මිසර මිථ්‍යාවන්හි සඳහන් වන තවත් වැදගත් දෙවි කෙනෙක් වේ.

20. Anubis දෙවියන් කළු පැහැ වීමට හේතුව

 හිවලකුගේ කළු හිසකින් නිරූපණය කර ඇති අනුබිස් දෙවියන් අතීත ඊජිප්තුවරුන් මියගිය විට මමිකරණය කිරීමට උදවු කළ බව ඉතිහාසය තුළ සඳහන්ය.  කළු යනු වාර්ෂික බෝග වගා කිරීමට අවශ්‍ය නයිල් ගඟේ සාරවත් පස නියෝජනය කරන වර්ණයක් බැවින් ඊජිප්තුවරුන් විශ්වාස කළේ කළු වර්ණය වාසනාව සහ නැවත ඉපදීම සංකේතවත් කරන බවයි.

ඉහත සඳහන් කළ පරිදි පුරාණ මිසර මිථ්‍යාවන් 20ට අමතරව තවත් කුතුහලය සපිරි දෙවියන් හා බැඳුණු මිථ්‍යා කතා රාශියක් මිසර ඉතිහාසය තුළ හමුවේ. ලොව ඉපැරණි මෙන්ම ඉතාමත් වැදගත් ඉතිහාස කතා අතරින් මිසරය හෙවත් වර්තමාන ඊජිප්තුවෙහි ඒ කුතුහලය පිරුණු මිථ්‍යා කතා සඳහා එදා මෙන්ම අදද  ලෝකය තුළ ප්‍රමුඛස්ථානයක් හිමි වී ඇත.

අතීතයේ සිට පැවත ආ මිථ්‍යාවන්  විශ්වාස කළ යුතු නමුත් ඒවායෙහි තරයේ එල්බ සිටීම නොකළ යුතුමය. කෙසේ වුවද, වැදගත් නටබුන් රාශියක් ලොවට ඉතිරි කළ පුරාණ මිසර ඉතිහාසයෙහි තවත් එක් අමතක කළ නොහැකි පෙදෙසක් පිළිබඳව විමසා බැලූ ඒ මිථ්‍යා මතවලින් පිරුණු චාරිකාව මෙලෙස නිමා කරන්නෙමි.

අරුණි මධුෂානි