ඇක්ෂන් කිව්වම රඟපාන එක විතරක් මදි ගොඩක් දේවල් ඉගෙන ගත යුතුයි

0
59

මේ දිනවල කාගෙත් සිත් බැඳගත් මනබන්ධනීය ටෙලිනාට්‍යයක් විකාශනය වන බව අපිට දැනගන්න ලැබුණා. ඔහුගේ මේ නෙත් බන්ධනීය නිර්මාණ කාර්යය වසර ගණනාවක් පුරාවට ගලා පැමිණි නදියක් වැනිය. ඇතැම් විට එය බඹර වළල්ලකට මුසුවුණා පමණක් නොව ‘කළු දළ රළ’කටද මුසුවිණි. අද හදගැස්ම හා එක් වෙන්නේ තිසුල දීප තඹවිට නම් ප්‍රවීණ අධ්‍යක්ෂවරයා.

කොහොමද මේ දවස්වල ඔබේ වැඩ කටයුතු?

මේ දවස්වල දවසම ගතකරන්නෙ බන්ධනා එක්ක. බන්ධනා කියන්නෙ ස්වර්ණවාහිණියෙ රාත්‍රි 9.00ට විකාශනය වන ටෙලිනාට්‍ය. ඒ වගේම ජීවන් කුමාරතුංග කියන ප්‍රවීණ රංගන ශිල්පියාගෙ සිනමාපටයක් වන ‘ජීවා’ කියන නිර්මාණයේ අවසන් අදියරේ තමයි ඉන්නෙ. එහෙම තමයි මේ දවස් ගෙවෙන්නෙ.

බන්ධනා ගැන විස්තර කතා කරමු?

බන්ධනා ඇත්තටම ආදරණීය නිර්මාණයක්. මගේ නම කියපු ගමන් ප්‍රේක්ෂකයා දන්නවා මම කරන නිර්මාණ හරි හෘදයාංගමයි කියන එක. මම මගේ නිර්මාණ තුළදි හැඟීම් පිළිබඳව විශේෂයෙන් සැලකිල්ලක් දක්වනවා. බන්ධනා මේ වනවිටත් කොටස් තිස් ගණනක් විකාශනය වෙලා තිබෙනවා. බන්ධනා ටෙලිනාට්‍යට මේ වනවිටත් දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මේ නිර්මාණයේ තිර පිටපත රචනා කරන්නේ සහ නිෂ්පාදකවරිය වන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්, මාධ්‍යවේදිනියක් ඒ වගේම ලේඛිකාවක් වන බුද්ධිනී ජයවර්ධන.

ඔබේ නිර්මාණ  මඟින් ගැඹුරු සමාජ පණිවිඩයක් ලබා දෙනවා නේද?

යම් හරවත් වගේම ගුණාත්මක පණිවුඩයක් ලබා දෙන්න ඕනෑ කියන තැන මම ඉන්නවා. මෑතක ඉඳන් බොහෝ දෙනා ජීවත් වෙන්නේ මට කළොත් මම කරලා පෙන්වනවා කියන මානසිකත්වයෙ. මේ දේවල්වලට එරෙහිව තමයි නිර්මාණකරුවා නිර්මාණයේ යෙදෙන්න ඕනෙ. ඒ පණිවුඩය අරගෙන අඩුම තරමේ මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් හරි යහමඟට යනවානම් තමයි මගේ සතුට. දැන් මිනිස්සු යම් ගැටලුවක් ආවම ප්‍රතිචාර දක්වන්නෙ හරිම අමුතු විදියට. මගේ අදහස බොහෝ වෙලාවට හැමදේටම උත්තරය තියෙන්නේ නිහඬ වීම තුළ කියන එක. ඒ අදහස ප්‍රේක්ෂකයා අතරට ගෙනයෑම තමයි මගේ මූලිකම අරමුණ.

මේ වගේ කාලයක නිර්මාණයක් කරන එක මොන වගේ අත්දැකීමක්ද?

ඇත්තටම මේ කාලෙදි වැඩක් කරනවා කියන්නේ හරිම අභියෝගයක්. මේ අර්බුදය හැමදේටම බලපාල තිබෙන්නෙ. ඒත් මගේ නිර්මාණකරණය කියන්නේ අවුරුදු ගණනාවක් පුරා ගලා ආපු දෙයක්. කොරෝනා කාලෙදි වුණත් අපි දිගටම වැඩ කළා. මාත් සමඟ නිර්මාණවලට දායක වෙන පිරිස අතර මම අලුත් පරණ කියලා භේදයක් තියාගන්නේ නැහැ. හැමෝම එක පවුලක් වගේ වැඩ කරන්නේ. මගේ අවුරුදු ගණනාවක පළපුරුද්ද සහ දැනහැඳුනුම්කම් නිසා මගේ සමීපයේ ආදරණීය කණ්ඩායමක් එකතුවෙලා තිබෙනවා. ඒක මට ආශීර්වාදයක්. මොන අර්බුදය ආවත් අපිට වැඩ කරන්න පුළුවන් වෙන්නේ මේ නිසා. මේක අපේ නිර්මාණයටත් ආලෝකයක් වෙනවා.

මේ අර්බුදයත් එක්ක මිනිස්සු ටෙලිවිෂනය සමඟ වඩාත් සමීප වෙලා කියන දේ ඇත්තක්ද?

ඇතටම මම කාරණාව සමඟ එකඟයි. මේ තිබෙන ආර්ථික අපහසුතා සමඟ ෆිල්ම් හෝල්වලට ප්‍රේක්ෂකයා රැගෙන ඒමේ ප්‍රශ්නයක් තිබෙනවා. අනික් දෙය කාලය. මේ වගේ කාලයක චිත්‍රපටයක් වෙනුවෙන් පැය ගණනක් වැය කරන්න මිනිස්සු සූදානම් නැහැ. නමුත් අපේ සිනමාව සමඟ අත්වැල් බැඳගත්ත ඉතා ආදරණීය ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. අපේ අලුත්ම සිනමා නිර්මාණයේ වැඩ 99%ක් වගේ අවසන්. නමුත් මේ අර්බුදය ඒක තිරගත කිරීමට හරස්වෙලා. ඒ නිර්මාණය ඉතා ප්‍රබල ගණයේ වාණිජ සිනමාපටයක්. ඒ නිර්මාණය මොන වෙලාවෙද  එළියට දාන්නේ කියල අපි බලන් ඉන්නේ.

නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් ගැන ඔබේ අදහස?

කලා ක්ෂේත්‍රයට එකතුවෙන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් හෝ අනෙක් සියලු වර්ගයේ කලාකරුවන් අත්දැකීම් ලබාගැනීම තමයි වැදගත්ම දේ විදිහට මම දකින්නේ. ඇත්තටම අපිට මේ දේවල් ඉගෙනගන්න වෙන ක්‍රමයක් නැහැ. වැඩ කරන ගමන්ම තමයි අපිට ඉගෙන ගන්න වෙලා තිබෙන්නේ. බොහෝ නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් ඒක ඉතා හොඳින් ග්‍රහණය කර ගන්නවා.

එහෙම අත්දැකීම් නැති වුවමනාවක් නැති පිරිසකුත් නැතුව නොවෙයි. විශේෂයෙන්ම කියන්න ඕනෑ කෙටි පාරවල් හොයන්නේ නැතුව හරිමඟ යන්න කියන එක. මේ ක්ෂේත්‍රයේ එක පාරම ගහෙන් ගෙඩි එන්නා වගේ නිර්මාණ ශිල්පියෝ කලාකරුවෝ බිහිවුණේ නැහැ. ඔවුන්ට වසර ගණනාවක් පුරා ආපු ගමනක් තිබුණා.

මාර්ගයක් තිබුණා. උපතින්ම හැකියාව රැගෙන ආපු පිරිසකුත් සිටියෙ නැතුව නෙමෙයි. බහුතරයට මම අර කියපු විදිහේ දිගු කාලීන ශ්‍රමයක් වගුරපු කලාකරුවෝ. මේ අත්දැකීම් සාර්ථකව ජීවිතයට මුසුකරගත්තා. කලාකරුවා තමයි විශිෂ්ටත්වයට පත්වෙන්නේ. ඇක්ෂන් කිව්වම රඟපාන එක විතරක් නොවෙයි. ඊට පෙර මුණගැසෙන මොහොතෙ සිට හදාරන්න ගොඩක් දේවල් තිබෙනවා. මේක ප්‍රේක්ෂකයට පේන රූපරාමුවලට එහා ගිය බරපතළ දෙයක්.

ඔබ මෙ රටේ සිටින විශිෂ්ට කැමරා ශිල්පියෙක් මේ ගැන කතා කළොත්?

ඔබ ඔය කතාකරන්නේ බඹර වළල්ල වගේ සිනමාපටයක් ගැන වෙන්න ඕනෑ. ඒක මගේ ජීවිතයේ වෙනස් ආකාරයක කැමරා අධ්‍යක්ෂණයක්. ඒ විදියේ සිනමාපට නිතර හැදෙනවා නම් මම කැමැතියි. මම ඒ වර්ගයේ නිර්මාණවලට ප්‍රබල විදියට ආදරය කරනවා. 43 වැනි හුස්ටන් අන්තර් ජාතික සම්මාන උලෙළේදී ඒ සිනමා නිර්මාණයට ජගත් සම්මානයක් ලැබුණා.

ඒත් මිනිස්සුන්ට මේ මොහොතෙදි ඒවගේ සිනමා නිර්මාණයක් විඳින්න තරම් නිදහසක් නැහැ. මිනිස්සු හෙම්බත් වෙලා. ඒ නිසාමයි ‘ජීවා’ කියන සිනමාපටය නිර්මාණය වෙන්නෙ. බඹර වළල්ල වගේ සිනමාපටයකට විශාල ප්‍රේක්ෂක ප්‍රජාවක් එකතු කර ගැනීමේ අපහසුවක් තිබෙනවා. නමුත් ඒ වර්ගයේ නිර්මාණවලින් ප්‍රේක්ෂකයා වෙතට යන අදහසට ඒ සමඟ හැදෙන කතිකාවට මම ඉතා කැමැතියි. ඒ වර්ගයේ නිර්මාණ සමඟ හැදෙන වටිනාකම් කියලා නිම කරන්න බැහැ.

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා ගැන ඔබේ අදහස?

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා ගැන කතා කරද්දි 60% වගේ පිරිස රහක් තිබෙන තැන නවතිනව කියල පේන්න තිබෙනවා. නමුත් අඩු මුදලට ආපු නිර්මාණ, ඉන්දියානු සම්භවයක් තිබෙන නිර්මාණ මෙරටට ආවා. ඒවට ගොදුරු වූ පිරිසක් නැත්තේ නැහැ. ගැටලුව වෙලා තිබෙන්නේ සාරි මෝස්තරයක් හරි මොකකට හරි මෝස්තරයකට ගිජුවෙන මවුපියන්ගේ ක්‍රියාකලාපය නිසා දරුවෝ ඒ නිර්මාණයේ වැරදි කොටස් ග්‍රහණය කර ගැනීම. මේක තමයි මම වැරැද්දක් විදිහට දකින්නේ.

මේ නිර්මාණ ආගමනයත් එක්ක අපේ හර පද්ධතීන් තුළට වැරදි දේවල් එක් වෙන්න ගන්නවා. කෘෘරත්වය, පළිගැනීම වගේ දේවල් තමයි ඒ හරහා දරුවන්ගේ මනසට යන්නේ. මේක කිරලා මැනලා ගන්න බැරි ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. මීට අවුරුදු විස්සකට විසිපහකට පෙර ආපු නිර්මාණවල අයහපත් ප්‍රතිඵල අද අපි භුක්ති විඳිනවා. මේ හරහා වූ හානිය ඉතා බරපතළයි. අද තරුණ ළමයි තුළ ඒ හානිදායක මනෝභාවයන් දැක බලාගන්න පුළුවන්. වැඩිහිටියො මේක නිවැරදිව කියලා දෙන එක තමයි වැදගත්.

ඉදිරියට එන නව නිර්මාණ ගැන කතා කරමු?

ඉදිරියට එන්න තිබෙන නිර්මාණ ගැන කියනවා නම්. සනත් අමරනායක රචනා කර සරත් ගුණසේකර නිෂ්පාදනය කරපු ‘කළු දළ රළ’ නම් ටෙලිනාට්‍ය විකාශනය වෙන්න නියමිතයි. සිනමා නිර්මාණයක් විදියට ජීවන් කුමාරතුංග කියන විශිෂ්ට රංගන ශිල්පියාගේ ප්‍රථම අධ්‍යක්ෂණ ආගමනය සිදුවෙනවා ‘ජීවා’ කියන සිනමාපටය හරහා. තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර කියන දෙපළ තමයි ‘ජීවා’ සිනමාපටයේ නිෂ්්පාදනය සිදු කරන්නෙ.

ක්ලීටස් මෙන්ඩිස්, සංගීතා වීරරත්න, මීනා කුමාරි, දර්ශන් ධර්මරාජ්, කැලුම් ආර්යන්, ආනන්ද අතුකෝරල, ජීවන් හඳුන්නෙත්ති, රෝහිත ඩයස් මල්ශාන් දිව්‍යාංජලී, කුමාර රණපුර, හිමායා සමුදි, ගයාන් මාපලගම, රොහාන් විජේතුංග, සුදත් විජේසේකර කියන ශිල්පී ශිල්පිනියන් මේ නිර්මාණය රංගනයෙන් හැඩගන්වනවා. අවසානයේ කේ. බී හේරත් රචනා කළ ඒ වගේම නිව්ටන් ගානපති නිෂ්පාදනය කළ ‘හතර වරම්’ කියල නිර්මාණයක් නිකුත් වීමට නියමිතයි. මට ‘ජීව’ ගැන ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා ඒ වගේම බන්ධනා ගැනත්.

ගිහාන් සචින්ත