අලි දෙන්නම් කොටි දෙන්නම් ණය ගන්නම් කියලා රනිල් ආවා අන්තිමට මොකුත් නෑ

0
62

අද වෙනකොට අපේ ඇස් පනාපිටම රටේ අර්බුද ඔඩු දුවලා තියනවා. මොකක්ද මේ රටට වෙන්නේ?

දැන් රට කඩන් වැටිලා ඉවරයි. මිනිස්සුන්ට කන්නත් නෑ. මහින්ද අමරවීරම කියනවා සර්පයෝ කන්න වෙයි, කැරපොතු කන්න වෙයි කියලා. ලොකු ආහාර හිඟයක් ඉස්සරහට එනවා. දරුවන්ට කන්න දෙන්න නැතුව අම්මලා දරුවන් ගඟට විසි කරනවා. ඒ විතරක් නෙමෙයි රැකියාවට යන්න බෑ. තෙල්  නෑ. උයන්න බැහැ ගෑස් නෑ. මේ ප්‍රශ්න එකකට වත් උත්තරයක් පෙනෙන තෙක් මානයක නැහැ. ජනතාවගේ ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙනවා. තව ටික දවසකින් හාමතේ මැරිලා යනවා.

අපි යථාර්ථය කතා කරමු. කිලෝමීටර් ගණන් නගරයෙන් නගරයට පෝලිම. පෝලිම් දීර්ඝම කාලේ මේ ගෙවෙන්නෙ. මිනිස්සුන්ට කුමක් වෙයිද?

හෙට වෙද්දි මොකක්ද වෙන්නෙ කියලා අපි කවුරුත් දන්නෙ නෑ. හැමෝම ඉන්නේ බයෙන්. ඉස්සරහට කන්න නැති වෙනවා. පාරට බහින්න විදිහක් නෑ. රස්සාවකට යන්න විදිහක් නෑ. දරුවා පාසල් යවන්න විදිහක් නෑ. කවුරුත් ඉන්නෙ ලොකු  අවිනිශ්චිතභාවයකින්. භීතියකින්. අනිත් ප්‍රශ්න වැඩිවෙලා. මිනිස්සු ඉන්නෙ කැකෑරෙන කෝපයකින්. ඒ නිසා ඇත්තම ගත්තොත් අනාගතය අවදානම් තත්ත්වයකට පත්වෙනවා. හැමෝම අවදානමේ ගොදුරක් බවට පත් වෙලා. ඒ නිසා කොයි වෙලාවේ මේක මහා පිපිරීමක් දක්වා යාවිද කියන්න දන්නේ නැහැ.

දැවැන්ත පිපිරීමක් ප්‍රචණ්ඩත්වයක් අත ළඟ කියලා දේශපාලනඥයෝ බහුතරයක් කියනවා. කලින් සිතුවාට වඩා මේ පාර බරපතළ වෙයි කියලත් කියනවා. එහෙම වෙයිද?

ඇත්තටම ජනතාවගේ කෝපය විරෝධය හැංගිලා තිබිලා ඒක මැයි (9) වෙනිදා වෙනකොට උච්චස්ථානයට ආවා. නමුත් 9 වැනිදා සිද්ධියෙන් පසු  රනිල් අගමැති වීමත් එක්ක රටේ දේශපාලනයේ  මතුපිටින් පමණක් වෙනසක් පෙනුණා.  ඒක පෙනුමේ පමණයි. දේශපාලනයේ කිසිදු වෙනසක් වුණේ නැහැ. රනිල් ඇවිත් මාසයක් බලන් හිටියා. පෝලිම් අඩුවෙයි කියලා හිතුවා. තෙල් ටික ලැබෙයි කියලා හිතුවා.

රනිල් ඇවිල්ලා මොකක් හරි කරයි කියලා හිතුවා. නමුත් ඒ කිසි දෙයක් නෑ. ඊට වඩා පෝලිම් වැඩියි දැන්. පෝලිම්වල තදබදයත්  වැඩි වුණා. ගෑස් සමාගමේ  අලුත් සභාපති කියනවා ගෑස්වලට තව ඉල්ලුම් කරලාවත් නැහැ කියලා. ගෑස්  එකේ මිලත් වැඩි වෙලා. හොයාගන්නත් නැහැ. ඒ නිසා අනාගතය ගැන හැමෝම ඉන්නේ දැඩි  බියකින්. මේකත් එක්ක ජනතා නැඟිටීම්, පිපිරීම් වැඩි වෙනවා. හැමතැනින්ම ජනතාව පාරට බහිනවා. කුස්සියේ විලාපය දැන් ඇහෙන්න පටන්ගෙන. කාන්තාවන්ට ගෙදර උයන්න විදිහක් නැහැ. උයන්න දේකුත් නෑ. මේක තව තවත් ජනතා නැඟිටීමක් විරෝධයක් දක්වා අනිවාර්යෙන්ම වැඩී යනවා.

මේ පිපිරීම නවත්වන්නෙ කොහොමද?

මේ පාලකයන්ට ප්‍රශ්නවලට උත්තර නැහැ. අර්බුදය තවත් වැඩි වෙනවා. මේ ජනාධිපති ඉන්නකම් අර්බුදය හා ජනතා නැඟිටීම් නවත්තන්න බෑ. ජනතාව පාරට බැසීම වැඩිවෙයි.

මැයි 9 සිද්ධියෙන් අපි දැක්කෙ ආණ්ඩුවේ දේශපාලනඥයන් ඉලක්ක කරමින් කළ පහරදීම්. නමුත් ඊළඟ පිපිරීමේදී හෝ ප්‍රචණ්ඩත්වයේදී පක්ෂ පාට නොබලා පහර දෙයි කියන අදහස සමාජයේ තිබෙනවා?

මිනිස්සු දැන් ප්‍රශ්න එක්ක හිරවෙලා ඉන්නේ. කේන්තියෙන් ඉන්නේ. ඇඟේ කවුරු හරි හැප්පුනත් ගහගන්න යන්නෙ. පෝලිම්වල මරාගන්න යනවා.  මුළු සමාජයම දැන් වෙළා ඇවිළිලා තියෙන්නෙ. මේ තත්ත්වයත් එක්ක හෙට දවසේ කොයි පැත්තෙන් කොයි විදිහට පුපුරයිද කියන්න බැහැ. කාටත් ඒ ගැන බය දැනෙනවා. ලොකු අනතුරක් තියෙන බවයි අපිට පේන්න  තිබෙන්නෙ.

සමාජයේ බොහෝ පුද්ගලයන් සමඟ දේශපාලනය කතා කරන විට ඔවුන් චෝදනා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණත් ආණ්ඩුවක් භාරගන්න කී සැනින් පලාගියා කියලා. ඔබලා විවේචනය පමණක් කරනවා කියලා.  ඇයි එදා භාර නොගත්තේ?

ජවිපෙට ආණ්ඩුව භාරගන්න කියලා කිව්වෙ නෑ. එහෙම එකක් වුණේ නෑ ඇත්තටම. ජවිපෙට ආණ්ඩුව  දීලා අපි භාර නොගෙන හිටියේ නෑ. අපි ඉතා පැහැදිලිව කිව්වා අනුර දිසානායක මේ වගකීම භාරගන්න සූදානම් කියලා. පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් දේශපාලන කණ්ඩායම්වල එකඟතාව තියෙනවනම් අපි හඳුන්වා දෙන කැබිනට් මණ්ඩලයක් නම් කරන්නත් ඒ අයගේ කැමැත්ත තියෙනවා නම් අපි මේක භාරගන්න සූදානම් කියලත් කිව්වා. නමුත් රාජපක්ෂලා ඒකට කැමැති නෑ. ඒ ගොල්ලන්ගෙ ආරක්ෂාව තියෙන්නෙ රනිල් අගමැති කිරීමෙන් පමණයි.

නමුත්  ඔබලාට එදා විවෘත ආරාධනාවක් ලැබුණා නේද ජනාධිපතිගෙන්?

ජවිපෙට විවෘත ආරාධනාවක් කළේ ඒගොල්ලොත් එක්ක එකතුවෙලා ආණ්ඩු කරන්න කියලා. මේ රට මේ ආර්ථික අර්බුදයට වැට්ටුවේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ නඩය. පොහොර, කෘෂි රසායන ටික නැති කරලා ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වට්ටලා, හොරකම් කරලා, නාස්ති කරලා, මහා පරිමාණ කිසිදු වැදගැම්මක් නැති ව්‍යාපෘති කරලා, ඒවට බිලියන ගණන්  නාස්ති කරලා, ඒ ව්‍යාපෘතිය අද නිෂ්ඵල කොන්ක්‍රීට් පමණක් වෙලා. මේ අපරාධ කරපු අයත් එක්ක එකතුවෙලා මේ රට ගොඩගන්න බැහැ.

 ඔහොම දෙකට තුනට බෙදිලා ඉඳලා අන්තිමට අපේ අහිංසක මිනිස්සු නේද මේකෙන් තැලෙන්නේ පොඩි වෙන්නේ?

ඔව් ඒකට තමයි ජනතාවාදී කණ්ඩායමක් පාලනයට ගේන්න ඕනේ. නව පාලනයක් ගේන්න ඡන්දයක් තැබිය යුතුයි.

මේ මොහොතේ ක්‍ෂණිකව ඡන්දයක් තියන්න බැරිනම් මොකක්ද  කරන්නේ?

ඡන්දයක් තියන්න බැහැ කියලා දෙයක් නෑ. ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. හෙට පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කළොත් සති හතක් ඇතුළත ඡන්දයක් තියන්න පුළුවන්.

එතකොට සල්ලි?

ඡන්දය තියන්න ඩොලර් ඕන නෑ. ඡන්දයක් තියන්න යන්නේ රුපියල්. 2020 මැතිවරණය තිබ්බෙ කොරෝනා තත්ත්වය තුළ. කොරෝනා සම්බන්ධ විසබීජහරණය එක්ක මුළු වියදම ගියේ කෝටි 573යි. ඉන් කෝටි 350ක් වියදම් කළේ රජයේ සේවකයන්ගෙ දීමනා හා අතිකාල ගෙවන්න. ඉතින් අපි දන්නවා මැතිවරණ කාලයේ වැඩමුළු පවත්වනවා. ඒවා ඕනෙ නෑ. රූපවාහිනී මාධ්‍යයක් පාවිච්චි කරලා රාජ්‍ය සේවකයන්ට ඡන්දය තියෙන හැටි කියලා දෙන්න පුළුවන්. ඊළඟට  වියදම යන්නේ පොලිසියට. කෝටි 150ක් වියදම් කරලා තියනවා.

  පොලිසිය දැනටත් විසිහතර පැයේම වැඩ. නිවාඩුවක් නෑ. උද්ඝෝෂණ මැඬ පවත්වන්න, ගෙවල් මුර කරන්න යන්නේ. ඒකත් අඩු කරන්න පුළුවන්. රුපියල් කෝටි 300කින් ඡන්දය පවත්වන්න පුළුවන්. මේ අර්බුදයේ ගැලි ගැලී තවදුරටත් යනකොට අර්බුදය තවත්  ඔඩු දුවනවා. ඉතා කෙටි කලක් තුළ මැතිවරණයක් පවත්වා දේශපාලන ස්ථාවරත්වයක් පවත්වාගෙන යන්න ඕනෑ.

ඒ කියන්නේ ඔබ දකින විදිහට ක්‍ෂණික ප්‍රතිචාරය ඡන්දයද?

දේශපාලන අර්බුදයට උත්තරේ ඡන්දය. අලුත් ජනවරමකට ගිහිල්ලා අලුත් කණ්ඩායමකට රට භාර දෙන්න.  ඊට පස්සේ තමයි ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්න ඕනෑ. දේශපාලන අර්බුදය විසඳුවට පස්සෙ තමයි  විදේශගත ශ්‍රී ලාංකිකයෝ ඩොලර්  එවන්නෙ.  දැන් ඔවුන් සල්ලි එවන්නේ නැහැ. ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනටමත් කියලා තියෙන්නේ දේශපාලන ස්ථාවරයක්  හදන්න කියලා. එහෙම වුණොත් තමයි විදේශවලින් සල්ලි ගන්න පුළුවන්, ආධාර ගන්න පුළුවන්.

ඔබ කියන ක්‍රමවේදය හරි. නමුත් ඊට යම් කාලයක් ගත වෙනවා. නමුත් මිනිසුන් එකතැන හිරවෙලා. අපි ගෝත්‍රික යුගයකට ඇවිත් වගේ. ක්‍ෂණික විසඳුම එය නොවෙයි නේද?

එහෙම කියලා තමයි රනිල් ගෙනාවෙ. රනිල් ගෙනල්ලා මාසයක් වුණා. රනිල් අගමැති කළාට කෝ උත්තර? උත්තර  නෑනෙ. අර්බුදය තවත් වැඩි වෙලා. ඒ හින්දා අපි තවත් මේක කල්ගන්න ගියොත් මැතිවරණයකට යන්න තියෙන තත්ත්වෙත් අමාරු වෙනවා. පාරේ යන්න හිටගන්න පණ නැති උනහම තව ඡන්ද පවත්වන්න බැහැ ඒ නිසා ඡන්දයක් පමා කරන්න, පමා කරන්න දේශපාලන ස්ථාවරත්වය තවත් පස්සට යනවා.  අපිට මේක කරන්න බැහැ කිය කිය හිටියොත් අපි තවත් අමාරුවේ වැටෙනවා.

රනිල්  වික්‍රමසිංහ අගමැති ලෙස ගෙනා පසු  ඔහුගේ විදේශ සම්බන්ධතාවලින් යමක් කරයි, එහෙන් මෙහෙන් ණය ටිකක් ගනීවි කියලා හිතුවා. ඔබ එවැනි යම් හෝ සාධනීය දෙයක් අගමැතිවරයාගෙන් දකිනවද?

රනිල් ඇවිල්ලා කරපු එකක් මට කියන්න. මොකුත් කරේ නෑ. එනකොට කිව්වා ඇමෙරිකාව, චීනය, ඉන්දියාව අපිට උදවු කරනවා කියලා. උදවු ගන්නවා කියලා. ඊට පස්සේ කියනවා ඉදිරි මාසෙ මීට වඩා අමාරු වෙනවා කියලා. කන්න නැති වෙයි කියනවා. වේල් දෙකක් කන්න කියනවා. මං දැක්කා ඊයේ පෙරේදා කියනවා මේක ගොඩගන්න බෑ. 2025 තමයි අඩුම ගානේ චුට්ටක් හරි අනිත් පැත්ත හරවා ගන්න පුළුවන් කියලා. හැබැයි රනිල් එනකොට කිව්වේ අලි දෙන්නම්, කොටි දෙන්නම් කියලා. දැන් කියනවා තව අවුරුදු පහක් හයක් යනවා මේක හැරවුම් ලක්‍ෂ්‍යට  එන්න කියලා. රනිල් ඇවිත් මොන කෙංගෙඩියක්වත් කළේ නෑ. ආර්ථිකය කෙසේ වෙතත් රනිල්ට විසිඑක් වැනි  සංශෝධනයවත් සම්මත කරගන්න බෑ. මොකද දැන් 21ටත් බාලගිරි ‍ෙදා්ෂය වගේ. දවස ගාණෙ කල් යනවා.

මිනිස්සුන්ට මේ දේශපාලනයේ කුළල් කා ගැනීම්, ගහ මරා ගැනීම්, විවේචන කිරීම්, අදාළ නෑ. එක වේලක් හෝ හොයා ගැනීමට තමයි මිනිසුන්ගේ මනස ක්‍රියාත්මක වෙන්නේ. එවැනි තත්ත්වයක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකම හරියට කරන්නෙ නැත්නම් ඊට ඔබ වඩාත් සුදුසුයි කියලා යෝජනා කරන්නේ කවුද?

අගමැතිකමට සුදුසු  කවුරුත් ඔය පක්ෂවල නෑ. ඒවගේම අගමැති කෙනෙකුට විතරක් තනියෙන්  කරගන්න බැහැ. එහෙම තනියෙන් රට ගොඩ දානවා කිව්වොත් ඒක බොරුවක්. එහෙම ඉන්ද්‍රජාලික බලයක් තනි පුද්ගලයෙකුට නෑ. ඥානක්කගෙ බලයෙන් ඩොලර් ගේන්න බෑ. ඒක පැහැදිලිව පේනවා. ඇත්ත සාමූහික කණ්ඩායමක් ඕනේ. ජනතා විශ්වාසයක් ඕනේ.

ජනතා විශ්වාසයක් නැතිව මේක ගොඩගන්න බැහැ. ගෝඨාභය ගැන ජනතා විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තියෙන්නෙ.  රනිල් සම්පූර්ණයෙන්ම ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ. එවැනි දෙන්නෙක්ගෙන් හෝ කණ්ඩායමකින් මේ රට ගොඩගන්න බැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ අලුත් ජනවරමකින් අලුත් නායකත්වයකින් පමණයි මේ රට ගොඩගන්න පුළුවන්.

ශ්‍රී ලංකාව වගේ රටක ඡන්ද දායකයා යමක් ලැබුනු පසු දේශපාලනඥයන්ට ලොකු බලපෑමක් කරන්නේ නැහැ. ඊට පසු මිනිස්සු  දේශපාලනය අත්හරිනවා?

මේ අර්බුදය ඇතිවුණේ දේශපාලනය විසින්. මේ අර්බුදයට උත්තරේ තියෙන්නෙ දේශපාලනයේම තමයි. දේශපාලනයෙන් තොරව උත්තර නැහැ. කැමති වුණත් අකැමැති වුණත් ජනතාවට උත්තර තෝරන්න වෙන්නෙත් දේශපාලනයෙන්ම තමයි. ඉතින් ජනතාව දේශපාලන උත්තරයක් හොයන්න බල කරන්න ඕනෑ.

මිනිස්සුන්ට කියන්නේ දිගටම අරගල කරන්න කියලද?

ඔව්. ඉතා පැහැදිලිව කියන්නේ මේ අරගලය නැවත ශක්තිමත් කරලා ඉස්සරහට ගෙනියන්න ඕනේ. මේ රාජපක්‍ෂ – රනිල් පාලනය මුළුමනින්ම පෙරළා දානතෙක් අරගලය  ඉස්සරහට ගෙනියන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

හඳුන්නෙත්ති සහෝදරයා කිව්වා අශිෂ්ට ප්‍රතිචාරයකට ශිෂ්ට ප්‍රතිචාර  බලාපොරොත්තු වෙන්න එපා කියලා. 9 වැනිදා උදේ සිද්ධියට හවස  ප්‍රචණ්ඩත්වයෙන් උත්තර දුන් සියලු දෙනා ආරක්ෂා කරන්න කියලා. ඔබත් ඉන්නේ ඒ මතයේමද?

අරගලය සාමකාමීයි. අරගලේ ප්‍රජාතන්ත්‍රවාදීයි. මිනිස්සු පාරට බැහැලා කියන්නේ අපිට ගෑස් දෙන්න, තෙල් දෙන්න, පොහොර  දෙන්න, බෙහෙත් ටික දෙන්න කියලා. ඒ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට තමයි පහර දුන්නේ. ඒ සාමකාමී අරගලය තමයි අපි නියෝජනය කරන්නේ. ඒ නිසා ජනතාවගේ අරගලය තව වැඩි කරන්න ඕනි.

අපි බොහෝ විට ජනාධිපතිවරයා නිලධාරීන් වටකරගෙන විවිධ උපදෙස් දෙනවා දකිනවා. විවිධ සාකච්ඡා වට තිබෙනවා. විය යුත්තේ එයද?

මේ ගෝඨාභය කරන රඟපෑම්වලින් මේ අර්බුදය ගොඩගන්න බෑ. හැමදාම සාකච්ඡා පෙන්වනවා. හැබැයි ප්‍රතිඵලය බින්දුවයි. තව ටික දවසකින් කියයි පොහොර නවත්තපු තීන්දුව වැරදියි වගේම රනිල් අගමැති කරපු එකත් මට වෙච්ච අත්වැරැද්දක් කියලා. එතකොට මේ රටට වෙන්න ඕනේ විනාශය වෙලා ඉවරයි. ගෝඨාභය යන්නෙ නෑ කිව්වට යවන හැටි ජනතාව දැන් දන්නවා.

ජනතාවගේ විරෝධවලින් “ඔයා යන්න” කියලා කිව්වම ගෙදර  ගිය පාලකයො ලෝකෙ පුරාම ඉන්නවා.  ජනතා විරෝධය වැඩි කරන්න ඕනි. සටන වැඩි කරන්න ඕනි. පාලකයන් එළවන්න ජනතා අරගලය ශක්තිමත් කළ යුතුමයි. මහින්ද රාජපක්ෂ අගමැතිකමින් ඉවත් කළේ, කබ්රාල් මහ බැංකු අධිපතිකමින් ඉවත් කළේ, ආටිගල ඉවත් කළේ ජනතා විරෝධතාවලින් තමයි. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අරගලවලින් ඔය යන්නෙ නෑ කියපු පාලකයා යවන්න පුළුවන්.

මේ වාතාවරණය එක්ක මුදල් ටි්‍රලියනයක් අච්චු ගැහුවොත් කුමක් වෙයිද?

මුදල් අච්චු ගහන්න ගහන්න බඩු මිල වැඩි වෙනවා. සේවා මිල වැඩි වෙනවා. උද්ධමනය වැඩි වෙනවා. එතකොට පහුගිය කාලේ මහා බැංකුවේ නව අධිපතිවරයා පිළිගත්තා මුදල් අච්චු ගැහීමෙන් උද්ධමනය වැඩි වුණා කියලා. දැන් මේ වැරැද්ද නිලධාරීන් පිට පටවන්න යන්නේ. ඒකත් අලුත් උපක්‍රමයක්. එකක් අර්බුදය වැඩි කරලා පෙන්වීම, අනිත් එක තමයි අර්බුදයේ වගකීම නිලධාරීන්ට පැටවීම. නිලධාරීන් ඒවා කළේ දේශපාලනඥයෝ කියපු හින්දා. කාගෙවත් පිට පටවලා හරියන්නේ නෑ. දැන් අර්බුදය විසඳන්නේ කොහොමද කියලා කියන්න ඕනේ.

ඔබ කියන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මේ අතිශයෝක්තියකින් අර්බුදය පෙනෙනවා කියලද?

ඔව්. ඒකත් පෙර උපක්‍රමයක්. හෙට රටට අමාරු තත්ත්වයක් ආවම ඒක මං කලින් කිව්වා කියලා රනිල්ට බේරෙන්න පුළුවන්. කලින් කට්ටිය කිව්වේ අර්බුදයක් නෑ කියලා. රනිල් කියන්නේ අර්බුදයක් තියෙනවා කියලා. මේ දෙකම උපක්‍රම. රනිල් බේරිලා වෙන අයට වැරැද්ද පටවන්න  හදන්නේ.

රනිල් විකුණන්න හපනා කියලත් අද ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. අපිට තෙල් ගන්න නම් තියෙන සම්පත් ටික විකුණන්න වෙයි කිව්වොත් ජනතාවට ඒකට ඇහුම්කන් දෙන්න වෙනවා නේද?

ඒක අර ගමේ ඉන්න ගොවි මහත්තයෙක් තමන්ගේ ගෙදර හාමිනේගෙ කරාබු දෙකයි මාලෙයි උකස් කරලා වටේ පිටේ ගෙවල් හැම එකටම ණය වුණාම අපි ඒ මිනිහට කියන්නේ දක්ෂයා කියලා නෙවේ. කාලකණ්ණියා කියලා.  දරුවන්ටවත්, ගෑනිටවත් කන්න දෙන්න බෑ හතර වටේට ණය වෙනවා කියලා කියන්නේ. රනිල් කියන්නෙත් ඒ ජාතියේ කෙනෙක්. විකුණන්නයි ණය ගන්නන් පුළුවන් කියන එක රනිල්ගෙ දක්ෂකම නෙමේ. නොහැකියාව.

පහුගිය 16 වැනිදා අවසාන ඩීසල් නැව ආවා. ඉදිරි සති කිහිපය කුමක් වෙයිද? රටට  මඟ පෙන්වන්නෙක්   නැහැ. ජ.වි.පෙ.ත් චෝදනා කරනවා විතරයි?

ඇත්තටම ගත්තොත් හැමදේම නෑ අද. තෙල් විතරක් නෙමෙයි ගෑස්, කිරිපිටි, පොහොර, ඩොලර් වගේම රටට පාලනයකුත් නෑ. හාල් 210 කියනවා. 210ට කොහෙවත් හාල් නෑ. ඒවගේම පාලන මිලක් නෑ. වෙළෙඳපළේ තව ගාණක්. රට පාලනය කරන්න පාලකයකුත්  නෑ. පාලනයකුත් නෑ. අපි මේ පාලනයට විරුද්ධව වැඩ කරනවා. මහා සාගතයට ආහාර අර්බුදයට අපිට පුළුවන් විදිහට මැදිහත් වෙනවා. අපි ගම්මට්ටමේ ජනතාව එක්ක එකතුවෙලා සමූහ ගොවිපළක් පටන් ගන්නවා.

ඒ සමූහ ගොවිපළවල්වල ස්වභාවය  කොහොමද? ඔබලා පටන් ගන්නේ කොතනින්ද? අවශ්‍ය දේවල් ජනතාවට  සපයනවාද?

අපි ගමේ සාමාන්‍ය ජනතාවත් එක්ක එකතු වෙලා අපේ ක්‍රියාකාරකම් සමඟ පොදු ඉඩම්වල මිනිසුන්ගේ කන්න බොන්න අවශ්‍ය දේවල් වගා කරනවා. ඊට පස්සේ අපි ඒක බෙදා හදා ගන්නවා. එක තමයි මෙහි ප්‍රධාන අරමුණ.

අවශ්‍ය අමුද්‍රව්‍ය සපයනවද?

පක්ෂයට පුළුවන් දේවල් සපයනවා. ජනතාවට පුළුවන් දේවලුත් අපි එකතු කරනවා. මේවට උදවු කරන්න කොටස් ඉන්නවා. මේක බිම් මට්ටමෙන්  පවත්වනවා. ඒක දැනටමත් අපි ආරම්භ කරමින් තියෙනවා. ඒ වගේම අපේ ගම් මට්ටමේ බලය යොදලා සුබසාධන ක්‍රියාවලිය පටන් ගන්නවා. ගැබිනි අම්මලා ඉන්නවා කන්න නැතුව. අම්මලා දරුවෝ ගඟට විසි කරනවා කන්න දෙන්න බැරුව. අපි නැති බැරි අය හොයලා උදවු කරන සුබසාධන වැඩපිළිවෙළක් පටන් ගන්නවා.

වගා සංග්‍රාමයක් ප්‍රායෝගිකව කිරීමේදී ගැටලු තිබෙනවා. අපිට වර්ෂාව ලැබෙන කාලයක් තියෙනවා වගේම වැව් ප්‍රතිසංස්කරණය කරලා නෑ. මේ ප්‍රශ්න බලපානවා නේද?

රටේ තියෙන මහා දැවැන්ත ආහාර හිඟය සම්පූර්ණයෙන්ම නැති කරන්න අපිට බැරි වෙයි. නමුත් අපිට පුළුවන් ආකාරයට යම්කිසි අත්වැලක් දෙනවා. නැතුව රටක් විදිහට මුහුණ දී තිබෙන සමස්ත ආහාර අර්බුදයෙන් ගොඩ ගන්න මේක බලපාන්නේ නැති වෙයි.

ඡන්දයක් තියලා යම් කිසි ආකාරයකට ඔබලට බලයකුත් ලැබුණා කියලා නිගමනයක් කළොත් ඔබලාටත් විශාල කාලයක් යනවා නේද මේ ඔය කියන සත්‍ය මේ රටේ ඉටු කරන්න?

පොඩි කලක් යයි. කෙටිකාලීන, මධ්‍යකාලීන, දිගුකාලීන කියලා කොටස් 3ක් තියෙනවා. හැබැයි මේ පාලකයන්ට තවදුරටත් ඉඩ දුන්නොත් අපේ ජීවිතේ පණ කෙන්දවත්  රැකේද කියලා කියන්න බෑ. ඉක්මනින් මේ පාලනය  වෙනස් කරගත්තොත් අපිට ඉක්මනින් උත්තර හොයන්න පුළුවන්. කෙටි කලක් ඇතුළත මිනිසුන්ට අත්‍යවශ්‍ය ප්‍රශ්න ටික වන ගෑස්, තෙල්, කිරිපිටි, පොහොර ටික දෙන්න උත්තර හොයාගන්න පුළුවන්.

පළමු දේ ලංකාවට දැන් ඩොලර් එවන්නේ නෑ අපේම කට්ටිය. පහුගිය ජුනි සිට අප්‍රේල් දක්වා ඩොලර් බිලියන තුනහමාරක් එව්වේ නෑ. වහාම මැදිහත් වෙලා අදූෂිත පාලනයක් පිහිටුවූ ගමන් අපේ අය සල්ලි එවනවා. එතනින්ම අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න පුළුවන්. එවැනි කෙටිකාලීන මෙහෙයුමක් තුළ දැවෙන ප්‍රශ්න අපි විසඳනවා. ඊට පස්සේ රට ගොඩගන්නවා. ඉන් පසු දිගුකාලීන ආර්ථික මෙහෙයුමක් සිදු කරනවා.

ඒ වගේම බෙහෙත් නැතුව ජනතාව මියැදෙනවා. සර්පයෙක් දෂ්ට කළත්, බල්ලෙක් සපා කෑවත් ඊට අවශ්‍ය බෙහෙත් නෑ. ආහාර අර්බුදය හා සමානවම මේ අර්බුදයත්   බලපානවා නේද?

මේකත් බලපාන්නේ ඩොලර් ප්‍රශ්නය හින්දා.  ඩොලර් හොයන්නේ නැතුව එක ප්‍රශ්නෙකටවත් උත්තර හොයන්න බෑ. මිනිස්සුන්ට කන්න නෑ වගේම බෙහෙත් නැතුව මැරෙනවා. මේ ප්‍රශ්න දෙකේම තියෙන්නේ ඩොලර් ප්‍රශ්නය. ඒක ඉක්මනින් විසඳන්න ඕනේ. ඒක තමයි අපේ කෙටිකාලීන මැදිහත්වීම සිදු කරන්නේ.

ඔබේ පක්ෂයටත් විදේශ සම්බන්ධතා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය නියෝජිතයෝ ඉන්නවා. ඔබේ පාර්ශ්වයේ  එවැනි අයට බැරිද මේ මොහොතේ රටවල්වලින් යම් මැදිහත් කිරීමක් කරවා ගන්න?

රාජපක්ෂලා බලයේ තියාගෙන අපිට උදවු ඉල්ලුවට ඔවුන් උදවු කරන්නේ නෑ.

ඔවුන් ඍජුවම කියනවද රාජපක්ෂ පාලනයට විරුද්ධ බව?

ඔව්. කෙලින්ම කියනවා. විදේශගත ලාංකිකයෝ කියන්නේ රාජපක්ෂලාට හොරා  කන්න අපි ඩොලර් එවන්නේ නෑ කියලා. අදූෂිත පාලනයක් යටතේ අපි සල්ලි එවන්නම් කියලා කියනවා. ලංකාවේ කට්ටිය මැදපෙරදිග, යුරෝපය ලක්ෂ විසිදෙකක් ඉන්නවා. ඒ අයගෙන් එක ඩොලර් 1 ගානෙ ගෙනාවත් ඩොලර් ලක්ෂ විසිදෙකක්නේ. දැනටමත් විදේශගත ශ්‍රී ලාංකිකයෝ විවිධ සංවිධාන හදලා ලංකාවේ අයට උදවු කරනවා. ඒ සල්ලිවලින් තමයි රෝහල්වලට, ළමා රෝහල්වලට කන්න දෙන්නෙ. ඒවා මේ පාලකයන්ට හම්බ වෙන්නේ පොඩ්ඩක්. අදූෂිත පාලනයක්  එක්ක  අපිට මීට වඩා උදවු උපකාර ඔවුන්ගෙන් ගන්න පුළුවන්.

එහෙම කාලයක් උදා වෙද්දී අපේ තරුණ ජීවිත ගත් ගෙවිලා තියෙයි. මිනිසුන්ගේ හොඳ කාලය ඉවර වෙලා තියෙයි නේද?

ඒක තමයි අපි කියන්නේ  මිනිස්සුන්ට හොඳ පාලනයක් හදන්න ඉක්මන් වෙන්න කියලා.

නමුත් ජනතා විමුක්ති පෙරමුණ ගැන තිබුණු ලොකු විශ්වාසය දැන් මිනිසුන්ගේ ඔළුවෙන් අයින් වෙලා නේද?

නෑ එහෙම වෙලා නෑ. මිනිස්සු තාමත් විශ්වාස කරන්නේ බලාපොරොත්තුවෙන් ඉන්නේ ජ.වි.පෙ. ගැන.

ඔබලාටත් පාරේ යනකොට බියක් සැකක් දැනෙන්නේ නැද්ද මිනිස්සු අපිටත් ගහයි කියලා?

කිසිසේත්ම නෑ. අපි එහෙම අපරාධ කරල නෑ මිනිස්සුන්ගෙන් ගුටිකන්න. අපි මහජන දේපළ කොල්ලකාලා නෑ. ජනතාව ළඟට අපි යනකොට ජනතාව අපිව ආදරෙන් පිළිගන්නවා. අර හොරාකාපු දේශපාලනඥයන්ට ජනතාව අතරට යන්න බැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වේ. එනිසා ඔය කියන තත්ත්වය අපිට නැහැ. ජනතාව ඉතා හොඳින් අපිව පිළිගන්නවා.

මෙවැනි අමාරු කාලයක රාජ්‍ය  සේවකයන්ට ගෙවල්වල සිට වැඩ කරන්න අවස්ථාව දීලා තියෙනවා. පාසල් වහනවා. නමුත් පාර්ලිමේන්තුව කැ‍ෙඳව්වත්  ඉන් සාධනීය වෙනස්කම් දකින්න නැහැ. පාර්ලිමේන්තුව විතරක් ඇයි මෙහෙම පවත්වාගෙන යමින් කාලය කා දමන්නේ?

පාර්ලිමේන්තුවේ කාලය වැඩිපුර කා දමන්නේ අනවශ්‍ය දේවල්වලට. ඇත්තටම ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අඩු කාලයක් යොදවන්නේ. ඒ නිසා  රටේ රාජ්‍ය සේවයට නිවාඩු දෙනවා නම් ඉස්කෝල වහනවා නම් පාර්ලිමේන්තුවත් දවස් ගණන් අදිනවා වෙනුවට අත්‍යවශ්‍ය දේවල්  කතා කරලා කාලය කෙටි කළ යුතුයි. නැත්තම් එක එක  මන්ත්‍රිවරුන් එකිනෙකාට බැන ගැනීම් විතරක් සිදු වෙනවා. ඒක වහාම වෙනස් කරන්න ඕනේ.

ඔබ මොකක්ද යෝජනා කරන්නේ?

පාර්ලිමේන්තුවේ පහුගිය කාලෙම අපි දැක්කේ විවිධ අඳෝනා. එකිනෙකාට බනින ඒවා. පාර්ලිමේන්තුව කැඳවීමෙන් ලක්ෂ සියයකට වැඩි මුදලක් දවසට වියදම් වෙනවා. එහෙම නැතුව රටට අත්‍යවශ්‍ය හදිසි පනත් සම්මත කරගෙන තීන්දු තීරණ අරන් පාර්ලිමේන්තු කාලය කෙටි කරගෙන ඉදිරියට යා යුතුයි කියල මම යෝජනා කරනවා.

ඒවගේම 21 ව්‍යවස්ථා  සංශෝධනය ගැන යමක් කතා කළොත් ඒකට දැන් බාලගිරි දෝෂය වගේ නේද?

21 සම්මත කිරීම කෙරෙන්නේ නැහැ. ඒක ඉතා පැහැදිලියි. මොකද 21ට ආණ්ඩුව ඇතුළෙන්ම එකඟතාවක් නැහැ. දැනටම ආණ්ඩුව ඇතුළේ මේකට විරෝධයන් මතු වෙලා තිබෙනවා. ඒ නිසා බොරුවට 21 පෙන්වන්නේ ඇත්ත මිනිසුන්ගේ බඩගින්නෙ ප්‍රශ්නය යටගහන්න. 21 තොරොම්බල් කරනවා. 21දැන් මාතෘකාවක් පමණක් වෙලා. ඒ ගැන වාද විවාද සංවාද කරන එකක් පමණක් බවට පත්වෙලා තිබෙනවා. මේක කෙරෙන්නේ නැහැ. මොකද මේකට ආණ්ඩුවේ ඡන්ද ඕනේ සම්මත කරගන්න  නම් දැන් මේක කරන්න දෙන්නේ නෑ. කකුලෙන් අදිනවා. රනිල් 21 පෙන්නලා ඇත්ත ප්‍රශ්න යට ගහනවා.

අපි පහුගිය කාලෙ දැක්කා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිට ඇත්ත බොරු කියලා ඉවත් වෙන්න සිදු වුණා. ඉන්දියාවේ අදානි සමාගමත් ඒ ප්‍රකාශයෙන් කලබල වුණා. විදේශ මාධ්‍යවලට විශාල ප්‍රවෘත්තියක් වුණා. ජනාධිපතිවරයා මේ විදිහට  පෞද්ගලික සමාගමක් එක්ක ගනුදෙනු කිරීමෙන් අපේ රටේ ස්වෛරීභාවයට වෙන්නේ මොකක්ද?

අපේ රටේ මහා පරිමාණ ව්‍යාපෘති හැම එකක්ම කෙරුණේ ඔය විදිහට තමයි. මේක තමයි පළමු අවස්ථාව. විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිගේ කටින්ම මේක හෙළිදරව් වීම. ඔය අනිත් ව්‍යාපෘතිත් එහෙමයි. අන්තිමට වුණේ නිලධාරියාට ගෙදර යන්න වෙච්ච එක. හැබැයි ඒවට අනුබල දුන් අය ආරක්ෂා වෙලා.  අණපනත් සම්මත වෙනවා. ඒ වගේම තමයි ෆර්ඩිනැන්ඩිගේ ප්‍රකාශයෙන්  ජනාධිපතිවරයාගේ රාජතාන්ත්‍රිකභාවයේ  අපරිණත  බව පැහැදිලි වුණා. මොකද මෝදි තමන්ට යමක් කිව්වා වුණත් ඒක විදුලිබල මණ්ඩල සභාපතිට කියලා ඒක හින්දා මේක කරන්න කියලා කිව්වම ජනාධිපතිගෙන් නොහැකියාව රටටම ඔප්පු වුණා.

ආදානි සමාගමේ වත්කම් ගත්තොත් ඔවුන්ට ලංකාවම වුණත් මිලදී ගන්න තරම් වත්කමක් තියෙනවා. මේ කාරණාත් එක්ක අපි ඉන්න යම් අනතුරක නේද?

ඔව්. අනිවාර්යෙන්ම. අපේ රටේ බල ශක්තිය මුළුමනින්ම අදානි අතට යනවා. ඒක තේරෙන්නෙ තව අවුරුද්දකින් විතර. මේ හදිසි විදුලි පනත සම්මත කළේ ඒකට. අපේ රටේ තියෙන මහා පරිමාණ පුනර්ජනනීය බලශක්තිය සම්පූර්ණයෙන්ම අදානිගේ බලයට යට වෙනවා. අපිට සිද්ධ වෙනවා ඩොලර් දීලා අදානිගෙන් විදුලිය මිලදී ගන්න.

සංවාදය – අනුරාධා හේරත්