සාලයොත් 1000/=යි

0
265

යාන්තම් බතක් උයා ගන්නට වෙහෙසෙන දුප්පත් ගෙදරක මාළු කෑල්ලක් කෑම එදා ඉඳහිට හෝ සිදුවිණි. එදිනෙදා කුලියක් මලියක් කරගත් මිනිහාද සති අන්තයේ හෝ සාලයෝ 500ක් අරන් ගෙදර ගිය කාලයක් තිබිණි. ඒ තරමටම ‘සාලයා’ දුප්පත් මිනිහාගේ කෑමට ඇතුළත් දෙයක් විය. මේ සටහන තබන විට සාලයා කිලෝව රු. 1,000ක් බව රට තොට තොරතුරු විමසා බැලීමේදී පෙනෙයි. ඒ තරමටම පොඩි මිනිහාගේ බත් පතට සාලයාවත් නැති වී ඇත.

“සාලයා කෙසේ වෙතත් හාල් 500ක් ගන්න එකත් අද හීනයක් වේගෙන එනවා. කුලියක් මලියක් කර ගන්න මිනිසා සුදු කැකුළු බතක් උයාගෙන පරිප්පු හොද්දක් හදාගෙන බත් එක ගිල දමනවා. දරු මල්ලන්ටත් කවලා ෂේප් වෙනවා. අද කැකුළු හාල් උයලා පරිප්පු හොද්දක් හදාගෙන බත් ටික ගිල දැමීමත් සිහිනයක්.”

මේ… රටේ තොටේ අන්ත අසරණ මිනිසුන් කියනා දෙයකි. ගමේ ගොඩේ මිනිහට වත්ත පිළේ දෙයක් හොයාගෙන, අඩු තරමේ මැල්ලුමක් මලවාගෙන හෝ බතක් උයාගෙන කන්නට තිබුණු අයිතියත්, හැකියාවත් ඔවුන්ගෙන් ගිලිහී යන්නට වන තැනකය. ඒ හැටි ගණන් නොගත් තුඹ කරවිල කිලෝවක් මේ මොහොතේ රු. 1,380කි. අමුමිරිස් කිලෝව රු. 1,000කි. හුරුල්ලෝ කිලෝව රු. 1,600කි. මෝරා හෝ තලපත් ගැන කතා කරලා වැඩක්ම නැත. මාළු වෙනුවට කරවල හෝ කන්නට හිත හදාගෙන උන්නු ජනතාවට ඒකත් කන්න බැරිවුණු තැනකය. ඒ වුණත් කීරමින් කරවල කිලෝවක් රු. 3,000කි. දුකට සැපට අපට හිටිය හාල්මැස්සෝ කිලෝව රු. 1,800ක් පනින තැනකය. ඒ තරමට හාල්මැස්සාද ගණන් උස්සලාය. කාරල්ලා සුප් එකක් සිහිනයකි. ඒ කාරල්ලා කිලෝව රු. 780 පනින තැනක නිසාය. තලපත් රු. 2,500ත් පැන කෙළවල්ලන් රු. 2,400ත් පන්නලාය.

මේ සටහන් සියල්ලම සමාජයේ ඉතාම අසීරුවෙන් ජීවත්වන ජනතාවට අතිශය සංවේදී වන්නේය. ඒ නිසා අති බහුතරයක් වූ එම පීඩිත ජනතාව වඩාත් අවදානමකය. “හෙට එච්චර කළුවර වෙන එකක් නෑ”ය කියා සිතන්නටවත් එම ජනතාවට ශක්තියක් හෝ හැකියාවක් නැත.

“ජනතාව අන්ත අසරණ වන බව කල්තියා දැනෙන්නට ගත්තාම වෙනත් රටක පාලකයන් නම් ඊට මුහුණ දෙන්න ප්‍රශස්ථ සැලසුම් හදනවා. රටේ බුද්ධිමතුන් කැඳවලා විසඳුම් හොයනවා. නමුත් පුළුවන් තරමක් රට හපයක් වන තරමට හින්දලා, ගසාකාලා, රොඩ්ඩත් හප කරන ගමන් තවමත් බලයේ රැඳී ඉන්නයි මේ හදන්නේ. ඒ පාලනය ජනතාවට කොයි තරම් එපා වුණත් බලයේ රැඳී ඉන්නයි හදන්නේ. ඒ මොකටවත් නෙවේ ඉතිරි කාලයත් මේ රට හප කරලා රටින් පැන ගන්න පාරක් හදාගන්නයි. ඒකට ඕනෑම දෙයක් මේ උදවිය කරනවා.”

උණුසුම්ව කකියන අදහස් ඇති තරුණ ප්‍රජාව දැන් දැන් රට තොටේ නිතර කතාවෙන්නේ එවැන්නකි.

“ආණ්ඩුව ගෙදරම යවන්න තීරණය කළ ජනතාවගේ විරෝධය හුදු දේශපාලන පක්‍ෂයකට, පාටකට ගොනු කරලා ඒක දියාරු කරදාන්න ආණ්ඩුව වෙහෙසෙන වෙලාවක්. එයාලට ඕන “අරගල භූමියෙන් උපන් ජන විරෝධය” ආණ්ඩු විරෝධයක් නොවේ රාජපක්‍ෂවරුන්ට එරෙහි විරෝධයක් නොවේ සුළු පිරිසකගේ ප්‍රචණ්ඩකාරී උත්සාහයක් කියලා නම් කරලා වනසන්නයි.

එහෙම කළාම ජන උද්ඝෝෂණ නැතිවේවි කියලා ආණ්ඩුව හිතනවා. ඒකට උදවු වෙන්න තමයි බිත්තියට හේතු කරපු ආණ්ඩුව ඒ මර උගුලෙන් බේරගන්න රනිල්ව අගමැති කළේ. මිනිහා දැන් යස අගේට හීන් නූලෙන් අරගල භූමියේ මතවාදයටත් ජන විරෝධයටත් බැට දෙමින් ඉන්නවා. කතාව නම් මහා ප්‍රජාතාන්ත්‍රිකයකුගේ වගේ. ඒත් වැඩේ දෙන්නේ හීන් නූලෙන්. රනිල් හරහා රාජපක්‍ෂවරු සියලු බාධා තුරන් කරගෙන බංකරයෙන් එළියට එන්නත් කඳවුරෙන් පාර්ලිමේන්තු එන්නත්, පාර්ලිමේන්තුවේදී උපාසක කතා කියන්නත් පටන් අරන්. රාජපක්‍ෂවරු රනිල් නමැති කුලී හේවායා ලවා ජන විරෝධය නැති කරලා ඩෝසර් කරලා යහතින් රටින් පැනගන්න හෝ යළි බලයට එන්න හෝ අවසන් උත්සාහයක යෙදෙනවා.”

රට තොටේ, පෝලිම් ගානේ දහදුක් විඳින මිනිසුන් අතරේ යමක් දැනුම් තේරුම් ඇතිව හිතන්නට හැකි මධ්‍යස්ථ මතධාරීන් කියන්නේ එවැනි කතාවකි.

මෙහිදී තරුණ ප්‍රජාව වඩාත් අපේක්‍ෂා භංගත්වයට පත්වීමත් ඔවුන් රට හැර යන තැනට විකල්ප සෙවීමත් වේගවත් වෙමින් තිබේ. “හෙටක් නැති රටක්” ඔවුන්ට ඕනෑ නැත. ඒ නිසාදෝ අගමැති රනිල් යම් ෂේප් වීමක් සඳහාදෝ ඔවුන් අමතමින් සූම් තාක්‍ෂණය ඔස්සේ සංවාදයක යෙදෙන්නට ගත් උත්සාහයක්ද අපට දැකගන්නට පසුගියදා හැකිවිය. රනිල් තරුණ ප්‍රජාවට කීවේ මොනවද යන්න මෙහිදී මතුකළ යුතුය.

“2019 බඩු මිලට අපට යළිත් යන්න බෑ. ඒත් 2024දී විතර අපට බලාපොරොත්තු ඇතිකර ගන්නන පුළුවන් වේවි කියලා හිතනවා.”

රනිල්ගේ කතාවේ සාරාංශගතය එසේය. එයින් අදහස් කරන්නේ තවත් වසර 2ක්වත් දහදුක් විඳින්නට වන බවය. රාජපක්‍ෂවරු වෙනුවෙන් දහදුක් විඳින්නටත්, බල තුලනයක් ඇති කරන්නටත්, ජන මතය වෙනස් කරවන්නටත් රනිල් කපටි වෘතයක සිටිනවාද යන්න තදින් දැනෙන මොහොතක් උදාවී ඇති බවක් පෙනෙයි.

මේ සියල්ල අතර ඉදිරි සති 2දී රට ඉතාමත් දුෂ්කර තැනකට මුහුණ දෙන බවට වන වටපිටාව සකස් වෙමින් පවතී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ලබා ගැනීමටද මේ වසරේ අවසානය තෙක් බලා සිටීමට සිදුවන තත්ත්වයක් පෙනෙයි. ඊට කලින් ණය මුදලක් ලැබෙන බවක්ද පෙනෙන්නට නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ළඟදී පැමිණෙන අතර එහිදී ගිවිසුමක් අස්සන් කෙරුණද එම ගිවිසුමෙන් ණය නොලැබෙන බවත් ණය ලබා ගැනීමට නම් එම අරමුදලේ ප්‍රධාන මණ්ඩලය ගිවිසුමට අස්සන් කළ යුතුය. ඒ සඳහා රජයේ ආදායම ඉහළ නැංවීම, සහනාධාර සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්නද, ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පිළිගත හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අප විසින් කළ යුතු වන්නකි. එහිදී රජයට මහත් විවාදයට තුඩුදිය හැකි අසීරු තත්ත්වයකටද මුහුණපෑමට සිදුවනු ඇත.

ඒ අනුව ඉදිරි සතියේ පටන් රට තව තවත් අර්බුදයට යන්නේ ඉන්දීය ණය ආධාර වැඩපිළිවෙළ යටතේ ලබාදුන් ණය මුදලද හමාර වෙමින් තිබෙන නිසාය. ඉන්පසු සිදුවෙන්නේ කුමක්ද යන්න පිළිබඳ බොහෝ අය විමසන්නට වූහ. අපට ආධාර කරන්න කිසිදු රටක් තවමත් සක්‍රිය ලෙස ඉදිරිපත් වී නැතිවීම නරක තත්ත්වයකි. ඊට ප්‍රධානම හේතුව දූෂිත රාජ්‍ය පාලනයක් ගෙන ගිය ආණ්ඩුවේ පාලන තන්ත්‍රය මෙහෙය වූවන්ම තවමත් ආණ්ඩු කිරීම නිසා බැව් කියැවේ.

දැනගන්නට තිබෙන ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගයකට අනුව ආණ්ඩුවට ඉන්දියාවෙන් තවත් ණය මුදලක් ඉල්ලා ගන්නට සිදුවන්නේය. ඒ ඉදිරි මාස 4 සඳහාය. එම මුදල්වලින් අත්‍යවශ්‍ය දෑ සඳහා කටයුතු කරන්නට වනු ඇති බව අගමැති කියන්නේ නිකමට නොවන බැව් පෙනෙයි.

ගෑස් මෙටි්‍රක් ටොන් 3,500ක් රැගත් නැවක් පසුගිය 14දා පැමිණ ගෑස් නිකුත් කරන්නට පටන්ගත් පසු මේ කියන අලුත් තත්ත්වය හමුවේ ගෑස් නිකුත් කරන්නට සිදුවන්නේ අත්‍යවශ්‍ය කරුණු කාරණා වෙනුවෙන් බව අගමැතිගේ මතයයි. රෝහල්, හෝටල්, ආදාහනාගාර වැනි ආයතනවලට ප්‍රමුඛත්වය දෙනු ලබන අතර සෙසු කොටස ජනතාවට නිකුත් වීමේදී දැඩි දුෂ්කරතා තවදුරටත් ඇතිවනු ඇත. ඒ අනුව අඛණ්ඩව ගෑස් ලබා දිය හැක්කේ දැනට තිබෙන ඉල්ලුම්වලින් 50%ක් ලබා දෙනවා නම් පමණක් බවත් ඔහු කියයි. මෙම පසුබිම මත සමස්ත ජනතාවටම උයා පිහාගෙන කනවා වෙනුවට ගෑස්, හාල් හා සෙසු දෑද සඳහා තවදුරටත් පෝලිම්වල ලගින්නට සිදුවිය හැකිය.

ඒ අතර ඩීසල් හා පෙට්රල් ඉදිරියේදී සලාක ක්‍රමයට දෙන්නට සිදුවනු ඇති බවට විෂය භාර ඇමැති කියන කතාව ඒ අනුවම ඉටු වුවහොත් තව තවත් ජනතාව දැඩි පීඩනයට ලක්වනු ඇති බැව් පෙනෙයි.

රට තුළ රාජ්‍ය ආයතන බොහෝමයකම ක්‍රියාත්මක වීම දැඩි ලෙස අඩපණ වෙමින් පවතින්නේ උද්ගතව ඇති ඩීසල් හා පෙට්රල් හිඟය නිසාය. පෞද්ගලික වාහන මෙන්ම යතුරුපැදි, ස්කූටි මෙන්ම පෞද්ගලික බස් රථ ධාවනයද අඩුවී ඇති තත්ත්වය ඊට තදින් බලපා ඇත. රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික අංශයේ ක්‍රියාකාරිත්වයද මේ නිසා අඩපණව ඇත.

ඒ අතර වාහන හිමියන්ද දැඩි අර්බුදයකට පත්ව ඇති තත්ත්වයක් හමුවේ වාහන හිමියන් ලක්‍ෂ 15ක් ලීසිං ගෙවාගත නොහැකිව මින් මතු ලීසිං නොගෙවන්නට තීන්දු කර ඇත. මෙම තත්ත්වයේ එක් පැතිකඩක කඩා වැටීම මෙසේ වුව සෙසු අංශවලද කඩා වැටීමත් සමඟ මුළු රටම අක්‍රිය වෙමින් තිබීම වළක්වන්නට බැරි වන තත්ත්වයක්ද ඇතැම්හු විග්‍රහ කරති.

“ආණ්ඩුවකට අතමාරුවක් කරගන්න බැරි තරම් රාජ්‍ය පාලකයන් ප්‍රතික්ෂේප වී ඇත්නම් ඒ රටට ඉස්සරහට යන්න බෑ. දූෂිත පාලකයන්ය කියන ලේබල් එක යටතේ ජනතාව ගැන හිතලා රටවල් ණය දෙන්නේ නෑ. ඒ නිසා අලුත් පාලනයක් පිහිටුවලා ජනමතයෙන් පත්වන නායකයන් විධිමත් සැලැස්මක් ඉදිරිපත් කළොත් හැම රටක්ම ඒ අනුව උදවු කරාවි. අඩු තරමේ මේ විපතින් මිදෙනතුරුවත්. එහෙම තැනකයි දැන් රට තියෙන්නේ.”

මෙරට සමාජ – ආර්ථික හැසිරීම පිළිබඳව පොදුවේ බොහෝ විද්වතුන් එසේ පවසන නිසා එම මතය බැහැර කරන්නට බැරි තැනක තිබේ. ඒ නිසා අර්බුදයෙන් මිදීමට වත්මන් ජනමතය පිළිබිඹු වන ආණ්ඩුවක් ඕනෑ කර තිබේ.

සජිත් රෝහිත ලියනගේ