සංචාරක ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන සිවුදින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තෙවැනි දිනය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නවතා දමන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු ‘ඒ’ පිල කඩුලු 5කට ලකුණු 212ක් ලබා සිටියේය.
ඒ අනුව මේ වනවිට ඕස්ට්‍රේලියානු පිල ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා කඩුලු 5ක් අතැතිව ලකුණු 317ක් ඉදිරියෙන් පසුවෙයි.
පෙරේදා දිනයේදී කඩුලු 8කට ලකුණු 250ක් වූ ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 24ක් එකතු වෙද්දී ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 105ක් පසුපසින් සිට ශ්‍රී ලංකා පළමු ඉනිම නිමාවට පත්විය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 105ක් ඉදිරියෙන් සිට දෙවැනි ඉනිම ඇරැඹූ ඕස්ට්‍රේලියානුවන්ගේ කඩුලු 3ක් ලකුණු 67ක් තුළ බිඳ වැටී තිබුණද නික් මැඩිසන් සහ ජොෂ් පිලිප්ස් එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක සබඳතාවක් එක්කරමින් ඕස්ට්‍රේලියානු ඉනිම පිළිසකර කළහ.
එහිදී ජොෂ් පිලිප් ලකුණු 69 ක් හා නික් මැඩින්සන් ලකුණු 59 ලබාගත් අතර, පන්දුවෙන් දස්කම් දැක්වූ ලක්ෂිත මනසිංහ කඩුලු 2ක් දවාගත්තේය. අද තරගයේ අවසන් දිනයයි.
ලකුණු සාරාංශය
ඕස්ට්‍රේලියානු (ඒ) පළමු ඉනිම _ 379
(ජොෂ් පිලිප් 94, නෙදන් මැක්ඇන්ඩෘ 92, ආරොන් හාර්ඩි 62, මාක් ස්ටේකී 47, ට්‍රැවිස් හෙඩ් 39, දිල්ෂාන් මධුසංක 62/4, ලක්ෂිත මනසිංහ 115/3, සුමින්ද ලක්ෂාන් 59/3)
ශ්‍රී ලංකා (ඒ) පළමු ඉනිම _ 274
(නුවනිඳු ප්‍රනාන්දු 86, ළහිරු උදාර 50, ලක්ෂිත මනසිංහ නොදැවී 35, පබසර වඩුගේ 30, සධීර සමරවික්‍රම 29, ටොඩ් මර්ෆි 67/4, මාක් ස්ටේකී 3/51, මැතිව් කෙන්මන් 41/2)
ඕස්ට්‍රේලියානු (ඒ)
දෙවැනි ඉනිම _ 212/5
(ජොෂ් පිලිප් 69, නික් මැඩින්සන් 59, මනසිංහ 2/83, සුමින්ද ලක්ෂාන් 1/16, දිල්ෂාන් මධුසංක 1/43, ප්‍රභාත් ජයසූරිය 1/25)
විචිත්‍ර වීරසිංහ