පළමු තරගයේදී සිදුවූ වැරදි නිවැරදි කරගනිමින්  දෙවැනි තරගය ජයගත හැකි වේවි – මෙන්ඩිස්

0
28

ඕස්ට්‍රේලියාව සමඟින් පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී ශ්‍රී  ලංකා පන්දු යවනන්නන්  මෙයට වඩා යම් තරමක පාලනයකින් යුතුව පන්දු යැව්වා නම් තරගයේ තීරණය වෙනස් කරගැනීමේ හැකියාව තිබූ බවත්, ඕස්ට්‍රේලියානු ඉනිම අතුරතුර ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට පිතිකරණය පහසුවීමත් පරාජයට හේතුවක් වූ බවත්  ශ්‍රී  ලංකා පිලේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පැවැසීය. ඔහු මේ බව සඳහන් කර සිටියේ පළමු තරගයෙන් අනතුරුව අන්තර් ජාලය ඔස්සේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී පරාජය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළකළ කුසල් මෙන්ඩිස්, “ඕස්ට්‍රේලියානු ඉනිමේ වර්ෂාව ඇදවැටෙන අවස්ථාව වන විට තණතීරුවේ යම් දඟ කැවීමක් පැවතුණා. නමුත් වර්ෂාවත් පින්නත් හේතුවෙන් තණතීරුව පිතිකරුවන්ට හිතකර බවක් දැක්වූවා. එම කරුණුවලට අපිට දෝෂාරෝපණය කරන්න බැහැ. අපි මීට වඩා පාලනයකින් යුතුව ඔස්ට්‍රේලියානුවන් වෙත පීඩනයක් එල්ල කරමින් පන්දු යැව්වා නම් අපට ඔවුන්ගේ සියලු පිතිකරුවන් දවා ගැනීමේ හැකියාව තිබූ බව මා සිතනවා. කෙසේ වෙතත් ක්‍රීඩාංගණයේ පැවැති පින්න සහිත ස්වභාවය හමුවේ දඟ පන්දු යවන්නන්ට පන්දු යැවීමේ යම් අපහසුවකුත් පැවැතියා.” යනුවෙන් පැවැසීය.

 එමෙන්ම තම පිතිකරණය සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු දැක්වූ කුසල් මෙන්ඩිස් කියා සිටියේ මෙවැන්නකි. “දස්කම් අතරට ඇවිත් මගෙන් කණ්ඩායමට අවශ්‍ය උපරිම දායකත්වය පිත්තෙන් සැපයීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටට පත්වෙනවා. ඒ වගේම පෙර අවස්ථා කිහිපයකදීම මම කඩුලු රකින්නාගේ වගකීම් ඉටු කර තිබෙනවා. ජාතික තලයට පැමිණීමෙන් පසු කණ්ඩායම තුළ කඩුලු රකින්නන් කිහිපදෙනකු සිටීම නිසා එම අවධියේදී මට කඩුලු රකින්නාගේ වගකීම හිමිවුණේ නැහැ. දැන් ඒ වගකීම මට හිමි වී තිබෙන නිසා එය විශේෂ දෙයක් ලෙස මම සලකනවා. එමෙන්ම කඩුලු රැකීම තුළින් පිතිකරණය සඳහා යම් වාසි සහගත තත්ත්වයක් මට හිමිව තිබෙනවා.”

තවද වනිඳු හසරංගගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් දැක්වූ කුසල් මෙන්ඩිස් “විශාල ආබාධයක් නැහැ කියලා මම සිතනවා. පාදයේ අපහසුතාව හේතුවෙන් ඔහුගේ පන්දුවාර සියල්ල නිමා කිරීමෙන් අනතුරුව ඔහු නැවතත් ක්‍රීඩාගාරයට ගියේ දෙවැනි තරගය සඳහා ක්‍රීඩා කිරීමට අවශ්‍ය නිසයි. වනිඳුට මීළඟ තරගය ක්‍රීඩා කර හැකි වේයැයි මම සිතනවා.” යනුවෙන් සඳහන් කළේය.

 එමෙන්ම දුනිත් වෙල්ලාලගේ පිළිබඳවද මෙහිදී අදහස් පළකරමින් කුසල් පැවැසූයේ මෙවැන්නකි. “මෙය දුනිත්ගේ පළමු තරගය වුණත් ඔහු නිර්භීතව තරගයට මුහුණ දුන් අයුරු මම දැක්කා. මෙයට පෙර ඔහු සමඟින් කණ්ඩායමේ ක්‍රීඩා කර නොතිබුණත් ඔහු ශ්‍රී  ලංකා යොවුන් පිලේ ක්‍රීඩා කරනවා මම දැක තිබෙනවා. ඔහුට පවරන වගකීම නිසි ලෙස අවබෝධ කරගනිමින් එය ඉටු කිරීමට තම උපරිමය ලබා දෙන බවත් මම දැක්කා. ඉදිරියේදී ඔහු තවදුරටත් ශ්‍රී  ලංකාව වෙනුවෙන් වැඩි දස්කම් දක්වනු ඇති බව මා විශ්වාස කරනවා.”

දෙවැනි තරගයේ සැලසුම් සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු දැක්වූ කුසල් මෙන්ඩිස් “පළමු තරගයේ ධනාත්මක සාධක රැසක් තිබෙනවා. ඒ අනුව පළමු තරගයේදී සිදුවූ අත්වැරදි නිවැරදි කරගනිමින් තරගය ජයගත හැකි වෙතැයි විශ්වාස කරනවා. මෙම තරගය ජයගතහොත් කොළඹදී ඔවුන්ට දැඩි අභියෝගයක් එල්ල කළ හැකි වෙතැයි මා විශ්වාස කරනවා.” ලෙසින්ද අවසන් වශයෙන් අදහස් දක්වමින් පැවැසීය.

මේ අතර ශ්‍රී  ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (16දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම දිවා-රාත්‍රි තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයා.

කෙසේ වෙතත් පළමු තරගයේ ජයත් සමඟින් අද පැවැත්වෙන තරගය සඳහා ඕස්ට්‍රේලියානුවන්ට අමතර ශක්තියක් සපයනු නොඅනුමානය. එමෙන්ම මෙම තරගයද ජයගෙන තරගාවලියේ ඉතිරි තරග සඳහා 2-0ක් ලෙසින් මුහුණදීමටත් ඕස්ට්‍රේලියානුවන් තම උත්සාහය දරනු ඇත.

මෙහිදී ඕස්ට්‍රේලියානු ප්‍රබල පිතිකරණ ලැයිස්තුව පාලනය කිරීම වෙනුවෙන් වඩාත් සාධනීය සැලසුමකින් යුතුව ශ්‍රී  ලංකා කණ්ඩායම පිටියට පිවිසීම අනිවාර්යය සාධකයකි. එසේ නොවුවහොත් පළමු තරගයේ ප්‍රතිඵලයම අත්විඳීමට ශ්‍රී  ලංකාවට සිදුවෙයි.

තවද පිතිකරුවකු ලෙස දසුන් ශානකගේ සාර්ථකත්වය ශ්‍රී  ලංකාවේ ජයග්‍රහණයට තීරණාත්මක සාධකයක් වීම හේතුවෙන් සංයමයකින් යුතුව තම ඉනිම ගොඩනැඟීමත් ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගෙන ප්‍රතිවාදීන්ට උපරිම හානිය සිදු කිරීම දසුන්ගේ වගකීමය.

එසේම පසුගිය කාලයේ අති සාර්ථක පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර නැවතත් සුපුරුදු රිද්මයට ළඟා වීමත්, චාමිකගෙන් ශ්‍රී  ලංකාවට ලැබිය යුතු දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම කෙරෙහිත් පූර්ණ අවධානය යොමු කළ යුතුව තිබේ.

මේ අතර පසුගිය එක්දින තරගයේදී ආබාධයකට ගොදුරු වූ වනිඳු හසරංග අද පැවැත්වෙන දෙවැනි තරගයෙන් ඉවත්කර ඇතැයි වාර්තා වේ.

ගමිත දෙහිපිටිය