ආසියාවෙ මාරක තැන  රුසියන්-චීනා රඟදේ  කොරියන් උතුරේ ‘කිම් උන්’  අඩව්වකට යළි සැරසේ

0
113

උතුරු කොරියාව තමන්ටම ආවේණික දේශපාලන ගමනක යන අතර රට තුළ තනි ආණ්ඩුවක, තනි පුද්ගලයකුගේ අධිපතිත්වය හමුවේ පාලනය කෙරෙන තත්ත්වයක් පවතී. එය අනුමත කරන ජනතාවක් උතුරු කොරියාව තුළ සිටින නිසා එහි නායක කිම් ජොන්ග් උන් කියන්නේ බටහිර බලවේග කියන හැටියට තමන්ගේ රට තුළ ඒකාධිපති පාලනයක් නැත කියාය. තමන්ගේ ජනතාව ඉතා හොඳින් සමෘද්ධිමත්ව වෙසෙන බව ඔහුගේ ප්‍රකාශවලින් පිළිබිඹු වෙයි.

උතුරු කොරියානු නායකයා එසේ කීවත් එරට ජනතාවට ඔය කියන සමෘද්ධියක් නැත. ඒ වෙනුවට ඉතා දුක්බර ජීවිතයක් ඔවුන් ගත කරන බව ඇමෙරිකානු ප්‍රමුඛ යුරෝපා හවුලේ සහ ඊට යාවූ රටවල පොදු මතයයි.

“කිම් ජොන්ග් උන් කියන්නේ උන්මත්තක පාලකයෙක්. එරට කොමියුනිස්ට්වාදයෙන් පාලනය කරනවාය, රට සමෘද්ධිමත්ය කීවාට රට තුළ තිබෙන්නේ බලහත්කාරයෙන් එරට ජනතාව පාගාගෙන තිබෙන තත්ත්වයක්. රට බාහිර ලෝකයෙන් වැහිලා. ජාත්‍යන්තරය හා සබඳතා නෑ. රටේ නිෂ්පාදන ආර්ථිකය වෙනත් රටවලට සමගාමීව දියුණු තත්ත්වයක  නෑ. දකුණු කොරියාව වේගයෙන් කාර්මිකකරණයෙන් ඉහළ තැනකට යද්දී කිම්ගේ උතුරු කොරියාව

යල්පැනගිය ප්‍රාථමික උත්සාහයන් හරහා එක තැන පල්වෙන ආර්ථික මොඩලයක. රටේ ජනතාවට බාහිර ලෝකය හා ගනුදෙනු කරන්න බැහැ. ඒ නිසා රටින් පිට මොනවද වෙන්නේ කියලා ජනතාව දන්නේ නෑ. එය හරිම කනගාටුදායක තත්ත්වයක්. උතුරු කොරියාව හා ගනුදෙනු කරන්නේ එරට ඒ තත්ත්වයෙන් තිබිය යුතු යැයි කියන්නේ චීනය හා රුසියාව පමණයි. රුසියාවත් චීනයත් එක්ක ලෝකය දිනාගෙන ඉදිරියට යන්න බැහැනේ. ඒ නිසා කිම් ජොන්ග් උන් උන්මත්තකයෙක් වගේ යුද අවිවලට මහත් ධනස්කන්ධයක් වැය කරමින්, අවි නිපැයුමෙන් ලෝකය දිනන්න හදනවා. හැබැයි රට එක තැන පල්වෙනවා.”

උතුරු කොරියාව පිළිබඳව පර්යේෂණය සිදුකරන එරට තුළ වන දේ ලෝකයට කියන්නට වෙහෙසෙන බටහිර මාධ්‍ය කිහිපයක මධ්‍යස්ථ මතධාරීන් කියන්නේ එවැනි කතාවකි. එහි කිසියම් සත්‍යයක් තිබෙන අතර උතුරු කොරියාව එරට ජනතාව ලෝකයෙන් වහන්කර ගෙන වුව කෙසේ හෝ කෘෂිකර්මාන්තයෙන් ඉදිරියට යමින් තවමත් ජීවත් කරවීම

විස්මයජනක දෙයකැයි කියන රටවල්ද නැතිවා නොවේ.

උතුරු කොරියාවේ මේ ක්‍රමය කෙසේ හෝ බිඳ දමා, එහි පාලනය වෙනස් කොට, එහි නායක කිම් ජොන්ග් උන් වනසා දමා හෝ කිසියම් තෙරපීමක් කළ යුතු යැයි ඇමෙරිකානු යුද විශේෂඥයන් බොහෝ කලක සිට සැලසුම් කරමින් සිටිති. එහි එක් උත්සාහයක් වූයේ උතුරු කොරියාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමය. එය ඉතා තදින් බලපෑ මුත් තවමත් රට කරගෙන යන්නට කිම්ගේ අධිපතිවාදී පාලනයට හැකි වී ඇත.

ඇමෙරිකානු උපාය මාර්ගවලට අනුව උතුරු කොරියාව කොටු කර රට තුළින්ම ජන විරෝධය ඇති කිරීමට තවමත් හැකිවී නැත්තේ උතුරු කොරියානු නායකයාගේ මිලිටරි බලය හා යුද ශක්තියේ වර්ධනය බැව් කියැවේ. ඊටත් වඩා උතුරු කොරියාව වෙනුවෙන් නිරතුරුවම රුසියාවත් චීනයත් ඉදිරිපත් වීම එරටට තවත් ශක්තියකි. තවත් පැත්තකින් උතුරු කොරියාවේ පිහිටීම අනුව රුසියාවත් චීනයත් ඔවුන්ට ඉතා කිට්ටුය. ඇමෙරිකානු අතපෙවීම් සිදුකර ගැනීම පහසු නොවන එක් හේතුවක් වන්නේද එයය. ඔවුන් දකුණු කොරියාව ඒ සඳහා පාවිච්චි කිරීමට උත්සාහ කළද එයද එතරම් සාර්ථක වී නොමැත. දේශසීමා ආරක්‍ෂාව ඒ තරම්ම ශක්තිමත්ය. එහෙව් වටපිටාවක ඇමෙරිකානු ආධිපත්‍යය පතුරුවන්නට ලෙහෙසි නැත. පහසු නැත.

පසුගියදා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයේදී උතුරු කොරියාවට එරෙහිව නව ගෝලීය සම්බාධක පැනවීමට තීරණය විය. එහිදී ඊට එරෙහි වෙමින් චීනය සහ රුසියාව ඉදිරිපත් වෙමින් හේතු කියන්නට වූයේය. ඊට පාදක වූ හේතුවක්ද තිබුණේය. එනම් උතුරු කොරියාව විසින් නව බැලැස්ටික මිසයිල මාලාවක් දියත් කිරීමය. ඒ නිසා නව ගෝලීය සම්බාධක පැනවිය යුතු බව ඇමෙරිකාවේ උත්සාහය විය. නව ගෝලීය සම්බාධක පැනවීමට පෙර සමුළුව නිශේධ බලය ඇති සාමාජික රටවල් කැඳවා තිබුණේය. එම බලය තිබුණු රුසියාවත් චීනයත් ඒ අනුව උතුරු කොරියාව රැක ගන්නට පෙරට ආවේය.

එක්සත් ජාතීන්ගේ සන්ධානය වෙනුවෙන් චීනය පත් කළ තානාපතිවරයා වූයේ ෂැං ජුන්ය. ඔහු එහිදී කියා සිටියේ,

“අද කොරියානු අර්ධද්වීපයේ ඇති වී තිබෙන තත්ත්වයට මූලික හේතුව ඇමෙරිකාවේ වෙනස් ප්‍රතිපත්ති ක්‍රියාකිරීමයි. ඒ නිසාම උතුරු කොරියාව මත පනවා තිබෙන සම්බාධක ඉවත් කළ යුතුයි” කියලාය. ෂැංගේ කතාවේ තවත් තැනක මෙසේද සඳහන් කරන්නට ඔහු අමතක නොකළේය.

“උතුරු කොරියාවේ සමහර ප්‍රදේශ සඳහා සම්බාධක ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම දකුණු කොරියාව සමඟ සිදු කරන හමුදා ක්‍රියාන්විත අවසන් කළ හැකියි. එවැනි පූර්ව ක්‍රියාමාර්ග ගතහොත් සාකච්ඡා මඟට පිවිසි උතුරු කොරියාවට නිදහස දිනාගත හැකියි”

ඔහුගේ තර්කය වූයේ පූර්ව කොන්දේසි ඉදිරිපත් කරමින් සාකච්ඡාවට ඒම දුර්වල කරමින් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර හවුල මීට වඩා ඉදිරි පියවරක් තැබිය යුතු බවය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් රුසියාව පත්කර ඇති නියෝජ්‍ය තානාපතිනි ඇනා එව්ස්ටිග්නීවාද පැවැසුවේ උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බවය. එසේම සැබෑව නම් මේ මොහොතේදී උතුරු කොරියානු ජනතාව ගැන සිතන්නේ නම් එම ජනතාවට විශාල වශයෙන් මානුෂීය ආධාර අවැසි වන මොහොත මෙය බවය. එනිසා උතුරු කොරියාවට බැනවැදීම නතර කර කළ යුතු වන්නේ එරට ජනතාවට සහාය වීම බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය.

ඇමෙරිකාව මේ මොහොතේ ඊසානදින ආසියාවේ තමන්ගේ විරුද්ධවාදීන්ට එරෙහි අභියෝගවලට මුහුණදෙමින් සිටියි. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත්, තායිවාන් සමුද්‍ර සන්ධිය මත චීනයේ මිලිටරි බලය ගොඩනඟමින් තිබීමත්, උතුරු කොරියාව මිසයිල අත්හදා බලමින් තිබීමත් යන කරුණු ඇමෙරිකාව හිස ගිනිගන්වන ගැටලුය.

උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ප්‍රකාශ කළ ආකාරයට ඔවුන්ගේ ස්ථාවරය වී තිබුණේද රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සාධාරණ බවය. මේ අනුව රුසියාව නිරතුරුව උතුරු කොරියාව ශක්තිමත් කරමින් සහාය වෙයි. එක්සත් ජනපදයේ බලපෑම වැඩි වෙත්ම චීනයද උතුරු කොරියාව රකින තැනකට තල්ලු වෙයි. ඇමෙරිකාවේ ඔළුව ගිනිගෙන තිබෙන්නේ චීනයත්, රුසියාවත්, උතුරු කොරියාවත් යන බල ත්‍රිත්වය මතින් නැඟී එන උපාය මාර්ගික ත්‍රිකෝණයක්.

එම තත්ත්වය එසේ තිබියදී ඔබගේ අවධානයට ලක් කළ යුතු විශේෂ කාරණාවක් තිබේ. එනම් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් 2021දී කොරියානු කම්කරු පක්‍ෂයේ අට වැනි මධ්‍යම කාරක සභා රැස්වීමේදී කළ සුවිශේෂී කරුණු දැක්වීමය. හෙතෙම එම කතාවේ තැනක මෙසේද කීවේය.

“2022 විදේශ ප්‍රතිපත්ති පිළිබඳ දිශාව හෝ ප්‍රමුඛතාවන්, වෙනස්වන ජාත්‍යන්තර දේශපාලන තත්ත්වයට මුහුණ දීම සඳහා ඇති විය හැකි ප්‍රතිපත්තිමය ගැටලු සහ ඒ සඳහා වන උපාය මාර්ග පිළිබඳ අප සමාලෝචනය කළ යුතුයි.”

එම කතාවේ සාරාංශයට අනුව කිම් ජෝන්ග් උන්ගේ සැලැස්ම වනුයේ “බලය සඳහා බලය” අලුතින් අත්පත් කර ගැනීමටය. එසේම ඒ සඳහා “ඉදිරි පෙරළිය” ක් කළ යුතු බවය. ඒ අනුව නව දේශපාලනික යථාර්ථයන්ට අනුව උතුරු කොරියාව ඊට සරිලන සේ හැඩගැසෙන්නට යන බව පෙනෙයි. කෙසේ වෙතත් රුසියාවත් – උතුරු කොරියාවත් අතර ද්විපාර්ශ්වික වෙළෙ¼දාම් ඇති කිරීමට මේ වනවිට අර්ධ වශයෙන් යළි ඇරැඹීම සඳහා සූදානම් වන බව පෙනෙයි. කෙසේ වෙතත් උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් හා මිලිටරිමය නිමැවුම්වල ප්‍රවණතාව පිළිබඳ රුසියාවේ සහ චීනයේ මතය එතරම් පැහැදිලි නැත.

කෙසේ හෝ උතුරු කොරියාව රකිමින් චීනයත්, රුසියාවත් අල්ලන්න යන අඩව්ව අලුත් ප්‍රවණතාවක ඇරැඹුමක්ද ඉන් එහා ගිය ක්‍රියාන්විතයක උත්සාහයක්ද යන්න දැන ගත හැකි වනුයේ ඉදිරියටය. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටය කිව්වේ නිකමට නොවේ.