ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් පන්නන මහා මිනිස් ජාවාරමක්

0
330

ඔස්ට්‍රේලියාවට යවන බව කියමින් නොයෙකුත් පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් අයකර ඔවුන් බෝට්ටුවලට ගොඩකර ගැනීමෙන් අනතුරුව පොලිසියට හෝ නාවික හමුදාවට ඒ ගැන ඔත්තු දී එම පිරිස් කොටුකර දීමේ මහ පරිමාණ ජාවාරමක් ආරක්ෂක අංශ විසින් අනාවරණය කර ගනු ලැබ තිබේ.

රටේ පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාවට හෝ වෙනත් යුරෝපීය රටවලට පැන යාමට උත්සුක වන පිරිස් එන්න එන්නම වැඩි වෙමින් පවතී.

එහෙත් මෙම පිරිස් රැගෙන ඔස්ට්‍රේලියාවට යාමට නොහැකි බව දන්නා ජාවාරම්කරුවන් ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ ගණන් අය කර බෝට්ටුවල නැංවීමෙන් පසු හෝ බෝට්ටු මගින් මුහුදේ ගමන් කරමින් සිටියදී පොලිසියට හෝ නාවික හමුදාවට දුරකතන මාර්ගයෙන් ඔත්තු ලබා දෙන බව අනාවරණය වී තිබේ.

මේ නිසා බොහොමයක් පිරිස් සිය ඇඳිවත පමණක් හිමිව පොලිසියට හෝ නාවික හමුදාවට කොටු වී රිමාන්ඩ් බන්ධනාගාරගත වන අතර ඔවුන් විසින් ජාවාරම්කරුවන්ට ගෙවූ රුපියල් ලක්ෂ ගණන් මුදල් ද අහිමිව අසරණව ඇතැයි වාර්තා වේ.

සමහර ජාවාරම්කරුවන් මෙලෙස බෝට්ටුවකට දෙකකට ලක්ෂ ගණනින් මුදල් අය කර ඔවුන් බෝට්ටුවක් ආධාරයෙන් මහ මුහුදට යැවීමෙන් අනතුරුව අතුරුදන් වන බව ත් ඔවුන් කවුදැයි නම් ගම් ස්ථිර වශයෙන් මෙම පිරිස් සතුව නැති බවත් පොලිස් පරීක්ෂණවලදී පෙනී ගොස් තිබේ.

හලාවත, මීගමුව, මඩකළපුව සහ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් මෙම මිනිස් ජාවාරම ක්‍රියාත්මක වන බව පොලිසිය කියයි.

එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 7 සිට ලක්ෂ 15 දක්වා මුදලක් මෙම ජාවාරම්කරුවෝ අය කර ගනිති.

සමහර ජාවාරම්කරුවන් පවසන්නේ, ඔස්ට්‍රේලියාවට යාමට සූදානම් කර ඇති යාත්‍රාව ගැඹුරු මුහුදේ නතර කර ඇති බැවින් ඒ සඳහා කුඩා බෝට්ටුවක හෝ යාත්‍රාවක නැගී ගැඹුරු මුහුදට පැමිණෙන ලෙසය.

ජාවාරම්කරුවන්ට රැවටෙන පිරිස් කෙසේ හෝ ඔස්ට්‍රේලියාවට පැන ගැනීමේ අදහසින් වෙරළ තීරවල ඇති කුඩා බෝට්ටු යාත්‍රා මගින් මහ සයුර වෙත ගොස් ඔස්ට්‍රේලියාවට යැවෙන අධිබලැති බෝට්ටු හා ට්‍රෝලර් යාත්‍රා සෙවූව ද එවන් බෝට්ටුවක් නොමැති බව වටහා ගැනීමෙන් පසු දැඩි අසරණතාවට පත්වන බව ද වාර්තා වී තිබේ.

මේ අතර, මෙලෙස මහ සයුර මැද නතර කර ඇති බව කියන එවන් බෝට්ටු වෙත ගෙන යාම සඳහා කුඩා බෝට්ටු හා යාත්‍රා හිමියන් ද සූදානමින් සිටින බව ත් ඔවුන් ඒ සඳහා එක් ගමනකට රුපියල් 80,000 සිට රුපියල් ලක්ෂයක පමණ මුදලක් අයකරන බවත් ඔවුන් ද මෙම සේවය සපයනුයේ මහ පරිමාණ ජාවාරම්කරුවන් සමග සබඳකම් පවත්වමින් බවත් නාවික හමුදා සහ පොලිස් බුද්ධි තොරතුරු පවසයි.

මෙලෙස ඔස්ට්‍රේලියාවට යාමට තැත් කළ බෝට්ටු 250කට ආසන්න සංඛ්‍යාවක් මේ වසර තුළ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, මේ සම්බන්ධයෙන් නාවික හමුදාව පවසන්නේ ඔස්ට්‍රේලියාවට මෙලෙස ඇතුළු වීමට එරට බලධාරීන් කිසි විටෙකත් ඉඩ නොදෙන බවත් මෙලෙස නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට යන පුද්ගලයන් යළි මෙරටට පිටුවහල් කරන බවත් ය.