බදු වැඩි කරන විට ගෙවන්නේ පොදු ජනතාවයි

0
263

ආර්ථික දුෂ්කරතාවෙහි තරම පැහැදිලිය. පොදු ජනතාව පමණක් නොව ආණ්ඩුවද ගැටලු සහගත තැනෙක පසුවෙයි. රාජ්‍ය ආදායම නංවන උපායක් වශයෙන් බදු වැඩි කරන තීරණයක් ප්‍රකාශයට පත් කර ඇත. ජනතාවගේ අතමිට ද හිඟ කාලයකි. තමන්ගේ දරුවාට බිත්තරයක්, යෝගට් කෝප්පයක් මිලදී ගන්නටත් දෙවරක් කල්පනා කරන්නට සිදුවී තිබේ. ආදායම වැඩි කරගන්නට අනුගමනය කළ යුතු උපායමාර්ග ගැන නොසලකා ජනතාවට බදු පනවන පැත්තට හැරෙන්නට තීරණය කිරීම ගැන නැවත සලකා බැලිය යුතුය. රටට වහාම අවශ්‍ය අලුත් ආයෝජන රටාවකි. ව්‍යවසායකත්වය නැංවීමකි. මොනවා හෝ නිපදවන්නට ඉඩ සැලසෙන වැඩපිළිවෙළකි. නිපදවන රටක පැවැත්ම වෙනස්ය. ආණ්ඩුවේ සූදානම තිබෙන, සම්පත්වලින් දැවැන්ත හිඟය පියවා ගැනීම බව පෙනේ.

ජනතාව උග්‍ර අර්බුදයකය. ගාලුමුව‍ෙදාර අඛණ්ඩ විරෝධතාව දක්වා වර්ධනය වූ අරගලයට හේතුවක් තිබිණි. ඔවුහු එකහෙළා ඉල්ලා සිටියේ අය – වැය හිඟය පියවන ලෙස නොවේ. ජීවත්වන පහසුව ඇති කරන සේ, ඔවුහු රාජපක්ෂ ආණ්ඩුවට බල කළහ. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉල්ලා සිටියහ. තාවකාලික ආණ්ඩුවක් සඳහා එකඟ වී සිටින ජනී ජනයා තළා පෙළා අන්තිම සතය ද හූරා ගැනීම සම්බන්ධයෙන් නැවතත් සිතා බැලීම සුදුසුය.

සාමාන්‍ය පාරිභෝගික ජනතාවට බදු ගෙවන්ට සිදුවීම

අලුත් යෝජනා අනුව වැට් බදු වැඩි කෙරේ. රජයට වැට් බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතුව තිබුණු මිලියන 300ක වාර්ෂික පිරිවැටුම, මිලියන 120ක් උපයන ව්‍යාපාර දක්වා වෙනස් කර ඇත. මෙතෙක් වැට් නොගෙවන ලද විශාල ව්‍යාපාර හා කර්මාන්ත ප්‍රමාණයක් ආවරණය කරන්නට වනු ඇත. එහි අවසාන ප්‍රතිඵලය ගැනද යමක් සඳහන් කරන්නට අවශ්‍යය. සංශෝධිත එම බද්ද, අවසානයේදී ගෙවන්නේ පාරිභෝගිකයාය. නිෂ්පාදනයට හෝ සේවාවට එකතු වන බදු ගෙවන්නේ සාමාන්‍ය පාරිභෝගිකයන් වන අතර ජනතාවට බරක් නොදැනෙන පරිදි ව්‍යාපාරිකයන්ට බදු පනවන බවට කරන ප්‍රකාශ මිථ්‍යාවකි.

දුරකථන බදු සියයට 13 සිට 15 දක්වා වැඩි කෙරෙනු ඇත. අන්තර්ජාලය භාවිත කරන සමාජයට මෙම බදු ගෙවන්නට සිදුවේ. දවසකට රුපියල් සියයක් රීලෝඩ් කර තමන්ගේ සන්නිවේදන අවශ්‍යතා සපුරා ගන්නා පිරිස වහාම රුපියල් පහළොවක මුදලක් කෙළින්ම ආණ්ඩුවට ගෙවන බව දැනගත යුතුව ඇත. අද පවතින තාක්ෂණික යුගය අනුව සන්නිවේදනය අත්‍යවශ්‍ය සාධකයකි. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අන්තර්ජාල පහසුව කොපමණ වැදගත් කාර්යයක්ද? රට ලොක්ඩවුන් වනවිට අත්‍යවශ්‍ය දේ ගෙන්වා ගත්තේ අන්තර්ජාලයෙනි. රජයේ කාර්යාලවල කටයුතු අන්තර්ජාලයෙන් කර ගන්නට සිදුවන අවස්ථා ඇත. සේවය පහසු වන අතර එයට ගෙවන වන්දිය වැඩි කිරීම හිරිහැරයකි. දුම්කොළ හා මද්‍යසාර බදු වැඩි කරන ආකාරයට සන්නිවේදන බදු නැංවීම යුක්ති සහගත ද යන්න සලකා බැලීම වටී.

ආදායම් බදු ප්‍රතිශත ද වෙනස් කර ඇති අංශයකි. මාසයකට ලක්ෂ එකහමාරකට වඩා උපයන සියලුම දෙනා ආදායම් බදු ගෙවන්නෝ බවට පත්වෙති. සාමාන්‍යයෙන් රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සේවය කරන ඉහළ නිලධාරීන්ට ඉන්ධන දීමනාව වශයෙන් ලීටර 200ක් ලැබේ. අලුත් ආදායම් බදු සීමාව අනුව මුළු රටම ආදායම් බදු ගෙවන තැනට හැරවීමක් බව පෙනේ. ආනයනය කරන ද්‍රව්‍යවලට ද සියයට 12.5ක වැට් බදු පනවන අතර එයට අමතරව නියම කර ඇති බදු ශේ‍ර්ණිවලට යටත් විය යුතු බව දැක්වේ. සූදු හා ක්‍රීඩා බදු නැංවීමටද යෝජනා කර ඇති තවත් අංශයකි. මේවා සාධාරණ බව දැනෙන්ට කරන ඉඟියක් පමණකි. විශාල ආදායමක් රටට එන්නේ නැත. මාසයකට සංචාරකයන් නවසියයක් එන රටක සූදු බදුවලින් ලැබෙන සොච්චමක් නැත. ආණ්ඩුවේ ආර්ථික අපහසුතා සාමාන්‍ය ජනතාව වෙත පවරන මෙම බදු සංශෝධනවල විපාක ඉදිරියේදී මහජනතාව නඟන වේදනාවෙන් හ¾දුනාගත හැකිවනු ඇත.

ආයෝජන නංවන පියවරකට ආරම්භයක්

මහජනතාව මත බර නොදැනෙන අන්දමට රජයේ ආදායම වැඩි කර ගැනීමට රටට හැකියාවක් තිබේ. අලුත් කර්මාන්ත සහ ව්‍යාපාර බිහි කිරීමෙන් එය කළ හැකිය. බදු වැඩි කරන අතරතුර දෙස් – විදෙස් ව්‍යවසායකයන්ට ඉඩදෙන පසුබිමක් රට තුළ ඇති කරන්නට අවශ්‍යය. එයට ගැළපෙන යෝජනා අධ්‍යයනය කළ යුතුය. එයින් විනා රටට යහපතක් සැලසෙන්නේ නැත. අලුත් කර්මාන්ත සහ ව්‍යාපාර ආරම්භ වුවහොත් ඒවා ද රටට බදු ගෙවන තත්ත්වයකට පත්වෙයි. ජාත්‍යන්තර ප්‍රජාව හතරවැනි කර්මාන්ත යුගයක් ගැන සාකච්ඡා කරමින් සිටී. කොවිඩ් වසංගතයෙන් පසු ඇතිවන අලුත් වෙළෙඳපොළ ක්‍රමයෙහි අවස්ථා උත්පාදනය වෙමින් පවතී. මේවා ගැන වහාම පියවර ගන්නා බළකායක් ඇති කළ යුතු අතර එය රටට විශාල සේවයක් සපයනු ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැකිළී තිබේ. පසුගිය කාලයේ ඍණ අගයකට පත් ආර්ථිකය පුළුල් කළ යුතුය. තාවකාලිකව ආණ්ඩුව භාරගත් අසංවිධිත කැබිනට් මණ්ඩලයකින් සාරගර්භ යෝජනා අපේක්ෂා කළ නොහැකිය. රට ගොඩනඟන්නට අලුත් දර්ශනයක් අවශ්‍යය. බලශක්ති පිරිවැය අඩු කරන, රාජ්‍ය සේවය ශක්තිමත් කරන, ව්‍යවසායකත්වය නංවන, අපනයනය ඉලක්කය කරගත් නිෂ්පාදනය ක්‍රියාවලියක් ගොඩනැඟීම එයින් සමහරක් විය හැකිය. ඉන්දියාවෙන්, චීනයෙන්, ජපානයෙන් හෝ තවත් රටවලින් ලැබෙන ණය ආධාර අඛණ්ඩ පැවැත්මකට හේතුවක් නොවේ.

දැනට ගෙන ඇති අලුත් ණය පවා ආපසු ගෙවන්නට සිදුවේ. රුපියල් බිලියනයක් දේශීය වෙළෙඳපොළෙන් ගන්නට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත. ධනය ඉපැයීමක් රහිතව ඒවා ආපසු ගෙවන්නට හැකියාවක් නැත. දෙස් – විදෙස් ණය ගෙවන්නට උත්පාදන වැඩපිළිවෙළක් ආරම්භ නොකළහොත් ඒවායේ බර ද පාරිභෝගික සමාජය වෙත පැටවෙන බව අමතක කළ යුතු නොවේ.

මහජනතාව අධික බදු බරකින් පෙළෙන අතර එයින් නිදහස් කරන්නට තරම් දැවැන්ත දර්ශනයක් පාලකයන්ට අවශ්‍යය. අය – වැය පියැවීම වෙනුවට උත්පාදනය ගැන වෙහෙසෙන පිළිවෙළකට නැඹුරු නොකළහොත් ශ්‍රී ලංකාව තවත් අවදානම් තැනකට ගොදුරු වන බව සඳහන් කළ යුතු කරුණකි. අප නිපදවන්නේ මොනවාද? පිටරට පැටවිය හැකි දේ කුමක්ද? යන්න සැලකිල්ල යොමු කළ යුතු විෂයයකි. රටට ආදායමක් ලැබෙන්නේ එතැනින්ය. ජීවත්වන්නට වෑයම් කරන ජනතාවගේ පසුම්බිය හිස් කිරීමෙන් රටේ අය – වැය පියවා ගැනීම කිසිසේත් උචිත පියවරක් නොවේ. ලෝකයේ රටවල් දියුණු වූයේ ආයෝජනවලින්ය. නිෂ්පාදන නැංවීමෙන් හා ඒවා අපනයනයෙන්ය. දැනට පවතින විනිමය අනුපාතිකය හා ලෝකයේ අනුකම්පාව හොඳ අපනයන වෙළෙඳපොළ සැලැස්මක් සඳහා පදනමකි. ඒවා ගැන වෙහෙසීම වෙනුවට බදු නැංවීම වැනි ඉතාම පහසු මාර්ගය තෝරාගැනීම මෙම අවස්ථාවේ නොකළ යුතුවම තිබුණු දෙයකි.

බදු නංවන යෝජනාව මූල්‍ය අරමුදලේ එකක් විය හැකිද?

ශ්‍රී ලංකාවේ ආර්ථීක බිඳ වැටීම සලකා බලා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තාවකාලික ණය සංචිතයක් සම්පාදනයට සූදානම්ය. ඒ සඳහා අවශ්‍ය මූලික සාකච්ඡා සිදුවේ. ප්‍රතිසංස්කරණ සඳහා ආකෘතියක් යෝජනා කර තිබේ. බදු වැඩි කරන සේ එහි කියැවේ. විශේෂයෙන් වැට් බදු ආදායම ප්‍රමාණවත් නැති බව සඳහන් කරයි. එහෙත් ජනී ජනයා දුප්පත් වී ඇති තරම මූල්‍ය අරමුදල දක්වන ඉතා වැදගත් කරුණකි. සාමාන්‍ය ජනතාවගේද ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයන්ගේද ආදායම සියයට හතළිහකින් පමණ පහත වැටී ඇති බව මූල්‍ය අරමුදල නිකුත් කර ඇති වාර්තාවක කියා තිබේ. එම පිරිස තෝරා සහන සැපැයිය යුතු බව පළමු

වතාවට මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇත. එය වැදගත් අවකාශයකි. රට ගොඩනඟන්නට නිසි වැඩපිළිවෙළක් හා එම අසීරු කාර්යය ඉදිරියේ පීඩාවට පත්වන පිරිසට සහන සැලැසිය යුතු බව ප්‍රදානක ආයතන විසින් පිළිගෙන ඇත.

මෙම තීරණාත්මක අවස්ථාවේදී රටට නැති සැලැස්ම ජාත්‍යන්තරයෙන් හෝ ලබාගත යුතුව තිබේ. මූලික රාමුවක් අවශ්‍යය. රටට අවශ්‍ය ඉන්ධන පවා ආනයනයට විනිමය නැති අවස්ථාවක පසුවන බව අමතක කළ යුතු නැත. පළමුවෙන් විනිමය සංචිතයක් උපයා ගන්නා අතර පසුව සංචාර කර්මාන්තය දියුණු කරන නැඹුරුවක් අවශ්‍යය. ලෝකයේ අනෙක් රටවලට වඩා පිරිවැය අඩු ආකර්ෂණීය තැනක් බවට හැරවිය යුතුය. දනට ඇති අවිනිශ්චිත හා ගැටුම් සහගත වාතාවරණය කිසිසේත් උචිත තත්ත්වයක් නොවේ. එහෙත් ත්‍රස්තවාදී කලබල පැවැති රට තුළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ සිද්ධි අතරතුර පවා ශ්‍රී ලංකාවට ලක්ෂ ගණනින් සංචාරකයෝ පැමිණියහ.

බදු වැඩි කළ පසු රට තුළ පවතින තත්ත්වය ගැන, උද්ධමනය ගැන අදහසක් ආණ්ඩුවට තිබිය යුතුය. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද දත්ත අනුව මැයි මාසයේ උද්ධමනය පසුගිය වසරට සාපේක්ෂව සියයට 39.1කි. ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පමණක් සියයට 57.4ක් බව දැක්වේ. මේවා පාර්ලිමේන්තුව දැනගත යුතු ඉලක්කම්ය. හාල්, සීනි, පරිප්පු, පොල්තෙල්, එළවළු මිල ගණන් මහජන නියෝජිතයන් නොදන්නවා නොවේ. බෝංචි කිලෝවක් රුපියල් දහසකට අධිකය. උඩරට එළවළුවල සාමාන්‍ය මිල කිලෝව රු. දහස ඉක්මවා ඇත. ජනාධිපතිවරයා අඩු මිලට දුන් සැමන් ටින් එකක් දැන් රුපියල් හත්සියයක් වන අතර පරිප්පු කිලෝවක් රුපියල් හයසිය ගණනකි. බදු ගෙවිය යුතු මෙම මිලට ආහාර මිලදී ගත හැකි ජනතාවගෙන් බව අවධාරණය කළ යුතුය.

සමෘද්ධි සහන ලබන ජන කොටස වෙත ගෙවන සහනාධාරයෙන් මිලදී ගත හැකි පාන්පිටි රාත්තල් ගණන සීමිතය. දුප්පත් ආහාර වේලකින් පෝෂණයක් නොලැබෙන අතර අනාගතයේදී සෞඛ්‍ය පිරිවැය ඉහළ යන්නට ඉඩ ඇත. වෛද්‍ය පර්යේෂණ වාර්තා දක්වන පරිදි හෘද, දියවැඩියා, පිළිකා ඇතුළු බෝ නොවන රෝග හයක් රට තුළ අවදානම් සහගත ලෙස වර්ධනය වෙයි. එය ආහාර රටාවේ වරදක් බව දැක්වේ. කුසගිනි නිවාගන්නට සිය ආදායම අනුව ගන්නා ආහාර රට පත් කරන තැන ගැන බදු වැඩි කරන්නට යෝජනා කරන පාලකයෝ අවධානය යොමු කළ යුතුය.

1995 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 20.4ක බදු ආදායමක් උපයා ගත හැකි වී තිබේ. 2021 වනවිට රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සලකන විට සියයට 8.7 දක්වා පහතට වැටී තිබේ. එම බදු ප්‍රතිශතය සියයට 15-16 අතර ගණනක් දක්වා නංවන්නට රජයට වුවමනා වී ඇත. බදු වැඩි සංශෝධනය එහි පියවරකි. මේවායෙන් ගණන් හදා පෙන්විය හැකිය. එහෙත් ගෙවන්නේ අඩු ආදායම් ලබන පීඩාවට පත්ව සිටින ජන කොටස බව නොවැටහෙන්නේ ඇයි? ආර්ථික අර්බුදය පිළිගත හැකිය. ප්‍රශ්න තිබේ. ඒවා විසඳා ගන්නට ගත හැකි උපාය ගැන රටට ඇති දැක්ම කුමක්ද?

ශාමින්ද වත්තේගෙදර