පොසොන් වන්දනාවට අනුරපුරට මිහින්තලේට මහ පිරිස්

0
138

තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ආදියෙන් බැටකන ජනතාව ඒ සියලු කරදර කම්කටොලු මඳකට අමතක කොට පොසොන් වන්දනාව සඳහා ඊයේ (14දා) අනුරාධපුර හා මිහින්තලේ පුදබිම්වලට පැමිණ සිටිනු දක්නට ලැබිණි.

ඊයේ දිනට යෙදී තිබුණු පොසොන් පුර පසළොස්වක පෝ දිනයේ අනුරාධපුර හා මිහින්තලේ පුදබිම්වලට සැලකිය යුතු සැදැහැවතුන් පිරිසක් එක් රොක් වී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට එක්වී සිටි ආකාරය දක්නට ලැබිණි. ජීවන ගැටලු කෙතරම් පැවැතියද බස්නාහිර හා වයඹ පළාත්වලින් සැලකිය යුතු පිරිසක් අනුරාධපුර හා මිහින්තලේ පුදබිම්වලට පැමිණ තිබිණි. කුරුණෑගල ප්‍රදේශයෙන් පැමිණි වන්දනා නඩයක අයකු ප්‍රකාශ කළේ පසුගිය දින කිහිපයේම දිවා රෑ තෙල් පෝලිම්වල දුක්විඳ ලබාගත් ඩීසල් යොදා තම අත්ට්‍රැක්ටරයෙන් පවුලේ උදවිය සමඟ අනුරාධපුරයට පැමිණි බවයි.

ජය ශ්‍රී  මහ බෝධීන් වහන්සේ අබියස විශාල පිරිසක් පෙහෙවස් සමාදන්ව සිටි අතර රුවන්වැලි සෑ රදුන් අබියස බත් දන්සල් කිහිපයක්ද ක්‍රියාත්මක වේ. වෙනදා මෙන් පොසොන් වෙළෙඳසල් විශාල වශයෙන් දක්නට නොමැති වුවත් වෙළෙන්දන් පවසන්නේ 2021 වසරට වඩා මෙවර වන්දනාකරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

මිහින්තලේ – සුමේධ කරුණාරත්න, අනුරාධපුර – පර්සි කුරුනේරු